Tuesday, August 18, 2026
HomeNEWSපිටරට දේ සිරිසැප දේ සිට සියරට දේ සිරිසැප දේ දක්වා

පිටරට දේ සිරිසැප දේ සිට සියරට දේ සිරිසැප දේ දක්වා

දේශීය කර්මාන්ත  සහ කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ කොළම දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන පසුගිය ඉරිදා (2021.03.07) සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.   එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක් වූ සීතාවක ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

පිටරට දේ සිරිසැප දේ

1977 ඉදන් අපේ රටේ බිහි වුණා අලුත් සංස්කෘතියක්. පිට රට දේ සිරි සැප දේ.  භාණ්ඩයක් ගත්ත ගමන් බලන්නේ “මේඩ් ඉන්” (Made in) කොහෙද කියලයි. මේඩ් ඉන් ජර්මන්,  එහෙම නැත්නම් අපට නොතේරෙන අකුරු ටිකක් ගහලා තියෙනවා නම් අපිට හරිම සන්තෝෂයි. මේක අහවල් රටේ හදලා තියෙන්නේ කියලා අපි පෙන්නනවා, කියනවා. සමහර විට කෝප්පෙන් තේ එක දෙන්නෙත් මේඩ් ඉන් කියන එක පේන්න. ඕක මේ අපේ රටේ එකක් නෙවෙයි, ජපානෙ. මේක ජර්මන් මැෂිමක්. අපි හරි ආඩම්බරයෙන් කිව්වේ. ඒ ආඩම්බරය කොච්චර ඔළුවට ගැහුවා ද කියනවනම් අපි පාසල් යන කාලේ ඇමරිකානු කොඩිය සහ බ්‍රිතාන්‍ය කොඩිය එකට තියන ගමන්මල්ලක් තමයි පාසල් යන දරුවන්ගේ ගමන් මලු  අතර ජනප්‍රියම ගමන් මල්ල. අපි හරි ආඩම්බරයි අපේ ජාතික කොඩියට වඩා ඇමරිකානු ජාතික කොඩියක් අපේ පිටේ එල්ලිලා තියෙනවා දකින්න. අපිව යටකරගෙන පාගගෙන හිටිය සුද්දගෙ ජාතික කොඩිය අපි හරි ආඩම්බරයෙන් තමයි ගහගෙන හිටියෙ. ඒකට තමයි පිට රට දේ සිරි සැප දේ කියන්න. 

මෙහෙම දීර්ඝ කාලයක් පැමිණී නිසා අද කුණු කාණුවේ හැදිච්ච කංකුං ටිකත් ගේන්නේ පිටරටින්. වතුර ටිකත් පිටරටින් ගේන තත්වෙට අපේ රට ඇදගෙන වැටිලා තියෙනවා. මෑතකදී අභිමානවත් ලෙස අපේ නිදහස් උත්සවය සැමරුවා. අභිමානවත්  ලෙස අපි නිදහස සමරද් දී ගුවනේ ලෙළ දෙන්නේ නම් චීනයේ හදපු ජාතික කොඩිය. වෙසක් උත්සවයට අපි එල්ලන්නෙත් චීනයේ හදපු වෙසක් කූඩු. අපි අපි ගැනම ලැජ්ජා  හිතෙන මට්ටමට පිට රට දේ සිරි සැප දේ කියන තැනට පත්වුණා. 

ඒ නිසා අද අපි ලොකු ආර්ථික අර්බුදයකට පත් වෙලා.  2019 වර්ෂය දී  අප පිටරට බඩු විකුණලා හම්බ කරල තියෙන්නේ ආසන්න වශයෙන් ඩොලර් බිලියන 12 යි. නමුත් පිටරටින් බඩු ගෙන ඒමට අප වියදම් කරලා තියෙනවා ඩොලර් බිලියන 20ක්. ඩොලර් බිලියන 8 ක පරතරයක් තියෙනවා. කොහොමද අප මේක පියවා ගන්නේ.  අපේ රටට සංචාරකයින් ආවා. විදේශ ආයෝජන ආවා. බුරුතු පිටින් ණයත් ගත්තා. පිටරට ඉන්න අය අපට වසරකට ඩොලර් බිලියන හයක් අටක් අතර ගණනක් එව්ව. ඒවායින් තමයි අප මේ පරතරය පියවා ගත්තේ.  ඊට අමතරව ඩොලර් බිලියන 6ක විතර ණය අපට ආපසු ගෙවන්නත් තියෙනවා. නමුත් 2020 වසරේදියි වසන්ගතය නිසාම පිටරටව ඉන්න අයගේ රැකියා අහිමි වෙලා දස දහස් ගණනින් ලංකාවට එන්න පටන් ගත්තා. මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් පැමිණ ඒ වගේම පැමිණෙන්නන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. සංචාරකයන්ගේ ගේ පැමිණීම විදේශ ආයෝජන බිංදුවට වැටුණා.

සිරිලක දේ සිරි සැප දේ

අන්න එවිට තමයි අපට මතක් වුනේ සිරිලක දේ සිරි සැප දේ කිව්වා නම් මීට වඩා හොඳයි නේද කියලා. පිටරටින් ගේන එක සීමා කරන්න ආණ්ඩු ඉතා වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. මුලින්ම තීරණය කළා අනවශ්‍ය දේවල් පිටරටින් ගේන එක නතර කරන්න. අපේ රටේ හදන්න පුළුවන් සෑම දෙයක්ම පිටරටින් ගේන එක අප සීමා කළා. අපේ රටේ නිෂ්පාදනයට අප යොමු වෙන්නට ඕනෑ.  නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් හදන්න අපේ අය හිතන්නට පටන් ගත්තා. අපට එහෙම සිතිය යුතු යැයි බල කරන්නට කොරෝනා පැමිණ පණිවුඩයක් දුන්නා. 

දැන් අපේ කට්ටියගෙ ලොකු මැසිවිල්ලක් තියෙනවා අලුත් වාහනයක් දැක්ක කාලයක් මතක නෑ කියලා. වසරකින් විතර පිටරටින් වාහන ගෙනල්ල නෑ නේද කියලා. තවත් නොයෙකුත් භාණ්ඩ පිටරටින් ගෙන්වීම සීමා කරලා.  සමහරු අහනවා තව කොතරම් කාලයක් අලුත් වාහනයක් නොගෙන ඉන්න වෙයිද ? වෙළෙඳපොළට ගිහිල්ලා පිටරටින් එන ඇතැම් භාණ්ඩ ගන්න තව කොච්චර කාලයක් ඉන්න වෙයිද ?  කියලා. අවාසනාවට තවත් සෑහෙන කාලයක් බලා ඉන්න නම් සිද්ධ වෙනවා. පිටරටින් බඩු ගේන එක සඳහා පනවා ඇති සීමා නුදුරු අනාගතයේ ඉවත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. පසුගිය වර්ෂයේ ආනයන සීමා කරලා ඩොලර් බිලියන 20 සිට ඩොලර් බිලියන 16 දක්වා පමණයි අඩු වෙලා තියෙන්නේ. ඉතුරු කරල තියෙන්නෙ ඩොලර් බිලියන 4යි.  අපනයන ආදායම ලොව බිලියන 10 දක්වා ඇදගෙන වැටිලා තියෙනවා. මේ අනුව තවත් ඩොලර් බිලියන 6ක පරතරයක් තියනවා. ණය ගෙවා දැමීමට තවත් ඩොලර් බිලියන 7ක් අවශ්‍යයි. දැන් මේ ඩොලර් බිලියන 13 හොයා ගන්නේ කෙලෙසද? ඉතින් රටින් පරණ පුරුදු විදිහට බඩු ගෙන ඒමට අවස්ථාවක් ලබාදීමට හැකියාවක් නෑ. ඒ තමයි තිත්ත ඇත්ත. 

ඒ නිසාම අපට යළිත් අපේ පරණ නිෂ්පාදන ආර්ථිකය මතක් වෙලා තියෙනවා. මුළු රටම එදා පිට රට දේ සිරි සැප දේ කියද්දි  වාසනාවට  තමුන්නාන්සේලා අපේ මේ දේශීය නිෂ්පාදන සහ කර්මාන්ත රැක ගෙන හිටියා. රජයන් විසින් ඒවා අමතක කරලා තියෙද්දි තමුන්නාසේලා අමතක කළේ නැහැ.  ඒ නිසා අප ආපසු හැරිලා බලද්දී අපට අල්ලා ගන්නට දෙයක් ඉතුරු වෙලා තියෙනවා. පටන් ගන්න තැනක් තියෙනවා.  ඒ අවස්ථාව ජාතිය වෙනුවෙන් ඉතුරු කිරීම සම්බන්ධයෙන් තමුන්නාන්සේලාට අපේ ප්‍රණාමය පුද කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

කොරෝනා දෙවන රැල්ලේ දී රට වසා නොදැමුවේ ඇයි ?

2020 අපට අතිශය දුෂ්කර වසරක් වුණා. කොරෝනා පළමු රැල්ල අප රට වහලා පාලනය කළා. සමීක්ෂණ වාර්තා අනුව අප එය ඉතා සාර්ථකව ඉටු කර තිබුණා.  දෙවන රැල්ල ආවා.  අපි මාස දෙකහමාරක් රට වහගෙන හිටියේ නැහැ. රට වැහුවේ නැහැ නෙවෙයි රට වහන්නට බැහැ. පලවෙනි රැල්ලට රට වැහීම නිසා ආර්ථිකය කඩා වැටුනා. ලක්ෂ ගණනක් ජනතාවට රැකියා නැති වුණා. අපට එහෙම යළි යළිත් රට වහගෙන ඉන්න පුළුවන් මට්ටමට මේ රටේ ආර්ථිකය නැහැ. වසර පහක් කාබාසීනියා කරපු ආර්ථිකයක් අපට තියෙන්නේ. වාහනයක නම් වාහනය වලක වැටුනහම එය ඇඟට නොදැනෙන්න ෂොකැබ් සෝබර් සවිකරලා තියනවා. ෂොකැබ් සෝබර් ගිහාම වාහනය වලකට වැටුනහම එය ගමන්කරන්නාට දැනෙනවා.  දැන් මේ ආණ්ඩුවෙත් ෂොකැබ් සෝබර්  ගිහිල්ලා තමයි තියෙන්නේ.  දරා ගැනීමේ හැකියාව නැහැ.  ඒ නිසා ජනාධිපතිතුමන් ඉතාම අභීත තීන්දුවක් ගත්තා. ඒ තමයි රට වහන්නෙ නැතුව කොරෝනා වලට මුහුණ දෙනවා කියන එක. රෝගය ටිකක් පැතුරුණු බව නම් ඇත්තයි. නමුත් එය කැමැත්තෙන් කළ දෙයක් නොවේ. 

අප දැකලා තියනවා හෘද රෝග  සැත්කම් කරද්දි වැඩ කරන හදවතට තමයි සැත්කම් කරන්නේ.  මේක ටිකක් අමාරු වැඩක්. දිනක් මෝටර් රථ කාර්මික ශිල්පියෙක්   හෘද ශල්‍ය වෛද්‍යවරයෙකුට කියනවලු “ වෛද්‍යතුමනි මම කැඩිච්ච වාහනයක එන්ජිම අලුත්වැඩියා කරනවා.  ඔබතුමා රෝගී වෙච්ච හදවතක් අලුත් වැඩියා කරනවා. නමුත් මම  වාහනයක එන්ජිම අලුත්වැඩියාවට ගන්නෙ රුපියල් දහ දොළොස් දාහ නම් ඔබතුමා හෘද සැත්කම සඳහා  ලක්ෂ ගණනින් අයකරනවා.  ඇයි එච්චර  ගන්නේ ?”  හෘද  සැත්කම් වෛද්‍යවරයා කියනවාලු “ඔබ වාහනයේ එන්ජිම ක්‍රියාවිරහිත කරලයි එහි අළුත්වැඩියාව සිදු කරන්නේ. මම හෘදය ක්‍රියාවිරහිත කරලා සැත්කම කරන්න ගියොත් ආපහු පණ ගන්න නම් බැහැ.  පන ගැහෙන හදවතේයි මම සැත්කම කරන්නේ. ඒකයි මගේ ගාන වැඩි “ යි කියලා.  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කළෙත් ඒ වගේ ක්‍රියාවක්.  රට වසා දමන්නේ නැතුව කොරෝනා පාලනය කිරීම. රට වැඩ කරන ගමන් කොරෝනා පාලනය අතිශයින්ම අභියෝගාත්මක කටයුත්තක්. අද ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ ආයතනයක් කියනවා කොරෝනා දෙවන රැල්ලට හොඳින්ම මුහුණදුන් රටවල් අතුරෙන් ශ්‍රී ලංකාවට 10 වන තැන ලැබෙන බව. එ රටවල් 203ක් අතරින්. 

අපි අද අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. නමුත් අද අපි 2020 /  21 වසරවල් සංසන්දනය කරන්න අවශ්‍ය 2019 වසරක් එක්ක නෙවෙයි. 2020 ලෝකයේ අනිත් රටවල් එක්ක. ගිය අවුරුද්දේ අපේ ආර්ථිකය -4%  දක්වා හැකිලුණා. නමුත් මහා බලවත් අපේ අල්ලපු රටේ ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය -10% ට පහළ බැහැලා. ලෝකයේ අනෙක් රටවල් සමඟ බලද්දී ලංකාව මේ වසංගතයට හොඳින් මුහුණ දුන්නා කියලා ජාත්‍යන්තර විශේෂඥයන් පවසන්නේ ඒ නිසයි. අපටත් අමාරුයි තමයි. නමුත් මේ වසංගතයට මුහුණ දුන් වෙන රටවල් සමඟ බලද්දී අප තවමත් හොඳ ජීවිතයක් ගත කරනවා. 

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් රුපියල් බිලියන හතරක් කොරෝනා නිසා වසා දැමූ ප්‍රදේශ වල ජනතාවට සහන දෙන්න 2020 වර්ෂයේ වියදම් කරලා තියෙනවා. අනෙක් දිස්ත්‍රික්ක වල එලෙස කටයුතු කරල තියනවා.  පීසීආර් පරීක්ෂණ සඳහා, නිරෝධායනය කටයුතු ආදී කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 100 කට අධික මුදලක් වියදම් කර තියෙනවා. ජනතාවට ලබාදුන් සහන සමඟ ගත්තොත් රුපියල් බිලියන පන්සීයකට අධික මුදලක් අපි අපි මේ කොරෝනා වෛරසය වෙනුවෙන් සිදු කරන සටනට වියදම් කරලා තියෙනවා. කොරෝනා වයිරසය නිසා සිදුවූ මේ හානිය රුපියල් බිලියන පන්සීයක් ගොඩගහලා ගිනි තිබ්බා හා සමානයි. ඒ වියදම් හරහා රටේ ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබෙන්නේ නැහැ. අද ලෝකයේ ධනවත් රටවල් වත් නිරෝධායනය වනු කියල කිව්වට නිරෝදායනය වන විට කන්නේ කොහොමද බොන්නෙ කොහොමද බලා හොයලා බලලා වඩු ගෙදරට ගෙනත් දීමේ සංස්කෘතියක නැහැ. මුදල් දීමේ සංස්කෘතියක් නැහැ. 

ආර්ථිකය කඩා වට්ටපු විපක්ෂය අපි මේ ආකාරයෙන් ආර්ථිකය කළමනාකරණය කරගෙන ජනතාවට සහන ලබා දෙන එකත් විවේචනයට ලක් කරනවා. මදි කියලා කියනවා.  එතුමන්ලා වසර පහක් රට පාලනය කලේ නැත්නම් ඊටත් වඩා දෙන්න තිබ්බා.  පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් හත් දෙනෙකුට ම කොරෝනා හැදුනා. මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් ජනතාව හමුවනවා. එමගින් වැඩිදෙනෙකුට බෝවීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම  පළමු ආශ්‍රිතයන් විශාල පිරිසක් ඇති වෙනවා. ඔවුන්වත් නිරෝධාන කරන්නට සිදු වෙනවා. ජන ජීවිතය කඩා වැටෙනවා සමාජ අර්බුද ඇති වෙනවා.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනේ අපිට එන්නත් ගහන්න කියලා ඉල්ලන්නට ගියේ නෑ.   කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය මන්ත්‍රීවරුන්ට  එන්නත  ලබා දීමට තීරණය කළේ  ජනතාවගෙන් මන්ත්‍රීවරුන් බේරාගැනීමට නෙවෙයි. මන්ත්‍රීවරුන්ගෙන් ජනතාව බේරා ගැනීමටයි. සෞඛ්‍ය අංශ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත තීරණයක්. 

සමහර මන්ත්‍රීවරුන් අපි දැක්කා චන්ඩි කතා කියනවා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා අපි නම් ගහ ගන්නේ නැහැ කියලා.  අටලුගම පැත්තෙත් ඔය වගේ ම කට්ටියක් හිටියා. නිරෝධායනය නීති යටතේ පරීක්ෂාවට ලක් වෙන්න කිව්වහම මට බෑ කියපු කට්ටිය, ධාරීන්ට කෙල ගහපු කට්ටිය අටලුගම හිටියා.  මේ මන්ත්‍රිවරුත්ඒ විදිහටයි හැසිරෙන්නට හදන්නේ. ඒ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරපු විදිහටම මේ චන්ඩි කතා කියලා මාධ්‍ය ඉදිරියේ ලකුණු දාගන්න උත්සාහ කරන ඒ මන්ත්‍රීවරුන්ටත් නිරෝධායන නීතිය යටතේ දඬුවම් කළ යුතු යැයි මා නම් විශ්වාස කරනවා. 

කවුරු හරි ගිහිල්ලා බලහත්කාරයෙන් එන්නත් ලබාගෙන තියෙනවා නම්.  තමන්ගේ පවුලේ අයට හිතමිත්‍ර අයට එන්නත් ලබා දීලා තියෙනවා නම් එයට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.  නිලධාරීන්ගේ කටයුතුවලට මැදිහත් වෙනවා නම් ඒ අයට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනවා නම් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඔබ එන්නත විද ගත යුතුයි කියලා මට විදින්නට එපා කියලා චන්ඩි කතා කියමින් එන්නතට බයේ පසුබසින කවුරුහරි ඉන්නවනම් ඒ අයට ද රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ඉතින් මේ නිෂ්පාදන ගම්මාන වලටම නුදුරු දිනයක අප එනවා.  ගැටලු හඳුනා ගන්නවා. මේ රටේ නිෂ්පාදනය රැකගැනීම වෙනුවෙන් අප ඔබට ණය ගැතියි. මේ නිෂ්පාදන ඉහළ නංවන්න ඔබව රැකගන්න කළ හැකි කළ යුතු සෑම දෙයක්ම අප කරනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම්  ප්‍රදීප් යසරත්න,  සීතාවක ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ නියෝජ්‍ය සභාපති නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ හිටපු පළාත් සභා මන්ත්‍රී සුමිත් සොයිසා සීතාවක නගර සභාවේ නගරාධිපති රණවීර කුරුකුලආරච්චි යන මහත්වරුන් සහ සීතාවක ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ නිලධාරීන් ප්‍රදේශයේ නිශ්පාදන ගම්මානයන්හි කර්මාන්තකරුවන්, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

හිටපු ඇමති රාජිතගේ සොහොයුරු මහිල් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොහොයුරා වන ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ (2010-2012) මහිල් සේනාරත්න අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමගම බොරතෙල් මිල යළි ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සාකච්ඡා සදහා බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිගෙන් අනතුරු ඇගවීමක්.යලිත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img