කළු එතනගේ ගල් පඩි පෙල දිගේ බින්තැන්නේ මනාලිය සොයා ගිය ගමනක් …..
බිමෙහි තැන්න යන අරුතින් ව්‍යවහාරයට එන මහියංගණය ගැන විවිධ ජනප්‍රවාදයන් ගෙතී ඇත. ඒ සියල්ලක්ම පිළිවෙලින් අරගෙන අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ සියල්ලම එකිනෙකට බැදුණූ දම්වැළක පුරුක් හා සමැව බැදී ඇති සැටියකි. එබැවින් එක් කථාවක් හෝ වෙන් කිරිම යනු අසම්බන්ධිත වු කථාවක් ගෙතීමට උත්සාහ කිරීමක් හා සමාන වේ. මහියංගණය යනු පාලි වදනකි. මහි යනු මිහිකත හැදින්වීමට ව්‍යවහාර වන වදනකි.අංගනය යනු තැනක්, වැදගත් ස්ථානයක් හැදින්වීමට භාවිතා වන වදනකි. ඒ අනුව මහිඅංගණය යනු මහිකත සතු බිමයි. මහියංගණය යන පාලී වදනේ සිහළ උරුව වන්නේ මියුගුණය. මියුගුණ කියන නම පිළිබදව ක්‍රිස්තුවර්ෂ 1215 – 1236 යුගයට අයත් නිශ්ශංකමල්ල රජ දවස කරවු බවට සදහන් මිනිපේ සෙල්ලිපියේ මෙසේ සටහන් කර ඇත.
“මහවැලි ගංබඩ මියුගුණ මා සෑය පිහිටුවා”
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සීමා මායිමට යටත්ව බස්නාහිරින් මහවැලි ගගින් සහ මහනුවර දිස්ත්‍රික්කයෙනුත්, නැගෙනහිරින් මාතලේ සහ අම්පාර දිස්ත්‍රීක්කයෙනුත් වට වුණු ප්‍රාකාරයන් බදු වු කදු බැස ගෙන පිවිසිය යුතු තැනිතලා බිමක තමයි මහියංගණය පිහිටන්නේ. ඒ පිහිටීම අරුත් ගන්වමින් කිස්තූ පූර්ව 03 වන සියවසේදී පාලී භාෂාව අපේ රටට පැමීණීමට සමගාමීව බින්තැන්න කියන සිංහල නම මහියංගණය උනාය කියන විශ්වාශයක්ද පවතී. අපේ වංශකථා සාහිත්‍යයේ පැරැණිම වංශ කථාව වෙන්නේ දීප වංශයයි. එහි මහියංගණය හදුන්වා ඇත්තේ මහියපොක්ඩල ලෙසටයි. බුදුන් වහන්සේ ලක් දිවට වැඩම කර උතුම් සද්ධර්මය දේශනා කළ පින්බිම මහියංගණයයි. එසමයේ අපේ රටේ ජීවත් වුයේ යක්ෂ සහ නාග ගෝත්‍රික ජනයායි. මේ දෙපාර්ශවය අතර සිදු වු ආරවුලක් සංසිදුවීම සදහා සුමන සමන් දෙවිදුන්ගේ ආරාධනයෙන් ගෞතම බුදුන් වහන්සේ ලක් දිවට වැඩම කිරිමට යෙදුණු බව සදහන්ය. බුදුන්ගේ ධර්ම දේශණයට සවන්දී සිටි සුමන සමන් දෙවිදුන් සෝවාන් ඵලයට පත් විය. සුමන සමන් දෙවිදුන්ගේ ඉල්ලීමට අනුව බුදුන් වහන්සේගේ පැමිණීම සිහිපත් වීම පිණිස සෑයක් තැනීම සදහා බුදුන් වහන්සේගේ කේෂධාතු ස්වල්පයක්, බුදු හිමි විසින් හිස පිරිමැද ශ්‍රී හස්තයට ගෙන දෙවිදුන් වෙත පරිත්‍යාග කළ අතර, ඒ ධාතුන් වහන්සේ තැම්පත් කර සත් රියන් උස් වු ඉදුනිල් මිණි සෑය තනවා ඇත. මේ සෑ රජුන් බුදුන් ජීවමානව වැඩ සිටි සමය තුළ ඉදි කළ පළමු චෛත්‍ය සේ සැලකේ.
බුදු සමිදුන් මහියංගණයට වැඩම කර වීමෙන් වසර 45 කට පසුව විජය කුමරුන්ගේ ලංකා ගමනය සිදු වු අතර එහිලා විශේෂි වු සිදු වීම වන්නේ විජය කුමරුන් අපේ රටට ගොඩ බට දිනයේම බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමද සිදු විමයි. කුසිනාරාපුරවරයේ උපවත්තන සල් උයනේ සිදු වු බුද්ධ පරිණිර්වානයෙන් ඉනික්බිති සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයෙක් වු සරභූ නම් මහරහතන් වහන්සේ ගෞතම බුදුන්ගේ පරිනිර්වානයෙන් පසුව ලබා ගත් ග්‍රීවා ධාතුව රැගෙන විත් මහියංගණයේම දොළොස් රියන් සෑයක් කරවු බව සදහන්ය. අනතුරුව විවිධ කාල වකවානුවළදී රට කරවු රාජ වංශකයින්ගේ අනුග්‍රහය මෙම සෑ රජුන් ප්‍රතිසංස්කරණය සදහා ලැබී ඇත. දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරෙක් වන උද්ද චූලාභය රජු මෙම සෑය 30 රියන් උසට තනවා ඇත.
අපේ කතාව සදහා වස්තු විෂය වන කළු එතනගේ ගල් පඩි පෙළ නිර්මාණය වන්නේ දුටුගැමුණු රජ සමය තුළයි. එම නිර්මාණය සදහා හේතුපාදක වු කරුණූ යළිත් පිළිවෙළින් පෙළ ගස්සවා ගත යුතුය. ඒ දුටුගැමුණු රජු සහ එළාර රජු අතර යුද්ධය ආරම්භ වු කාලවකවානුවයි. සටන ආරම්භ කිරීමට රුහුණු රට සිට චතුරාංගණි සේනාව සමග ඉදිරියට එමින් සිටියදි පළමු යුධ ගැටුම ආරම්භ වන්නේ මහියංගණයේදීය. දුටුගැමුණු රජු මහියංගණ පින් බිම එළාරගේ ඡත්‍ර නමැති සෙන්පතියාගේ භාරයෙන් මුදා ගනු වස් මහා සංග්‍රාමයක් සිදු කළ බවද ඉතිහාසයේ සදහන්ව ඇත. දුටුගැමුණු කුමරු, එළාර රජු සමග යුධ වැදෙනු පිණිස තමන්ගේ බලඇණියට අයත් දසමහා යෝධයන් පොරටු කර ගත් චතුරාංගනී සේනාව සමග පෙරටු ගමනේ එද්දි පළමු සටන ලෙසට බින්තැන්නේදී එළාර රපුගේ ඡත්‍ර නමැති සෙන්පති ප්‍රමුඛ සේනාව සමග සටන් වැදී ඇත. ඡත්‍ර කියන්නේ එළාර රජු යටතේ මහියංගණය පාලනය කළ පාලකයායි. බුදුන් පළමු වරට වැඩම කළ මහියංගණය පින් බිම විනාශ කරමින් ප්‍රාන්ත පාලකයා ලෙස වැජඹුණු ඡත්‍ර ප්‍රමුඛ සෝලී සේනාවෙන් මුදවා ගැනීමේ අරමුණින් දුටුගැමුණූ කුමරු ප්‍රමුඛ සොනාව සටන් වැදුණු අතර ඒ සටනින් ජය ගන්න දුටුගැමුණු කුමරු ප්‍රමුඛ සේනාවට හැකි විය. එම ජයග්‍රහණය ඉදිරි සටන් සදහා මහත් වු දිරි ගැන්විමක් සහ ශක්තියක්ද විය. එහි කදවුරු ලා ගත් විජග්‍රාහී සේනාවෝ විනාශ මුඛයට යමින් තිබූ වෙහෙර විහාර බොදු සිද්ධස්ථානයන් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹුහ. දුටුගැමුණු රජුගේ ආරාධනයෙන් තිස්සමහාරාමයේ සිට මහියංගණයට වැඩම කළ සංඝයා වහන්සේ 500 නමක් මේ භූමියේ ඉදි වු ආරාමයන්හි නේවාසිකව වැඩ වසන්නට වුහ. මේ මහා සංඝ රත්නයේ දන්වර සැපයීම මුල් කර ගෙන එම අවශ්‍යතාවය සැපිරීම සදහා ගොවිතැන් බත් කිරීමට වැවක්ද කඩිනමින් ඉදි විය. ඒ වැව හැමෝම අතර දම්බරා වැව නමින් ප්‍රචලිත විය. එයට හේතුව වන්නේ භික්ෂූන්ගේ දන්වර මුල් කර ගෙන මේ වැව බිහි වීමය. දන්වර කියන නම කටට පහසු අයුරින් දන්බර , දම්බර ලෙසට පසු කාලීනව පද පෙරළිය සිදු වී ඇත. යළිත් මහා සටනට පිවිසීමට ප්‍රථම සටනට අදාළව ඉදිරි සැලසුම් සකස් කරමින් මහියංගණ පින් බිමේ ලැගුම් ගත් ගැමුණූ කුමරුන් සංඝයාවාසයන් සමීපයේ ඉදි කර ගත් මාලිගයක තමන්ගේ මව වන විහාර මහා දේවිය සමග නවාතැන් ගෙන ඇති අතර එහි සිට මියුගුණ මහා සෑය යළිත් අසූ රියන් උසට තනවමින් සිදු වන ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණයේ නිරතව සිට ඇත.
මේ වකවානුවේ රජමාලිගයේ සහ සංඝයා වහන්සේ වැඩ විසූ ආරාම සංකීර්ණයට බුලත් මෙහෙවෙර රාජකාරියේ නිරතව සිට ඇත්තේද විසල් සිරුරකින් හෙබි බලතිරාළ නැමැත්තෙකි. ඔහු පදිංචිව සිටියේ උඩුදුම්බර කිරිපට්ටිය නමැති ගමේ වු බැවින් තමන් වෙත පැවරුණු රාජකාරිය සදහා එහි සිට කදු – පල්ලම් – ගිරි දුර්ග තරණය කරමින් දිනපතා මහියංගණය බලා පැමිණ ඇත. මෙසේ එන ගමන් වාරයන් වළදි ඔහු අවට පරිසරයේ භූ පිහිටීම සහ මහවැලි ගගට යාවෙන හද්දත්තා ඔයේ ගැලුම් රටාව අනුව ඒකාන්තයෙන්ම වැවක් නිර්මාණය කළ හැකි බව අවබෝධ කර ගත්තේය. මේ ගැන කිසිවෙකුටවත් නොකී බලති රාළ තම ඇඹෙණිය වු කළු එතනාට පමණක් ඒ ගැන රහසින්ම කියා, තමන්ගේ රාජකාරිය නිම කර ආපසු එන අතර වාරයේ තමන්ගේ සිතේ තිබූ අදහස ක්‍රියාත්මක කිරිමට පටන් ගෙන ඇත. දවස තිස්සේ වෙහෙසෙන ස්වාමියාට බත් මුලකුත් රැගෙන උඩුදුම්බරේ ගිරි දුර්ග පසු කර ගෙන පල්ලම් බසිනා කලු එතනා තමන්ගේ ගමන් පහසුව පිණිස එන මාර්ගයේ ගල් පඩි පෙළක්ද සකස් කර ගත්තේය. කළු එතනගේ ගල් පඩි පෙළ ලෙස ප්‍රකටව ඇත්තේ ඒ අපූරු නිමැවුමයි. මේ දෙදෙනාටම තමන්ගේ එදිනෙදා වැඩ අතර තුරදි මේ කියනා කාර්යයන් සිදු කර ගැනීම නිසා සුපුරුදු දින චර්යාව තුළ ඉටු කළ යුතු වැඩ නම් අතපසු නොවීය.
ඔය අතර වාරයේ යළිත් සටන් පෙරමුණට ගැමුණු කුමරුන් ප්‍රමුඛ යෝධ බලඇණිය ගමන් ඇරඹීමත් සමගම බලති රාළට, බොහෝ දෙනෙක් ඔහුගේ රාජකාරියට හිමි නාමයෙන් ඇමතූ බුලතා යෝධයාට විවේකී කාල සමයක් උදා විය. එය ඔහුගේ සිතෙහි රජකළ අදහස සාක්ෂාත් කර ගැනීමට මහත් රුකුලක්ම විය. හද්දත්තා ඔයේ ජලය බැස යන නිම්නය අතරින් දෙපසට විහිදුණු කුඩා කදු වැටි අතරේ කපොල්ල වසමින් ගල් බැම්මක් ඉදි විය. වහ වහා උදේ පටන් රෑ වනතුරුම වෙහෙස නොබලා වැඩ කළ බුලතා මාස අටක් ඉක්ම යත්ම නිසි ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. වැව ජලයෙන් සංතෘප්ත වත්ම එහි සිට ඇළ මාර්ගයක් ඔස්සේ පහළ නිම්නයට දිය රැගෙන ගොස් නිසරුව පැවැති ගොවිබිම් සශ්‍රික වනු දුටු බුලතගේ සිතෙහි උපන් සතුට මෙතෙකැයි කෙසේ නම් අතඅකුරු කරන්නද?.
බුලතගේ වැවේ වැඩ අහවර විමට සමගාමීව දුටුගැමුණු කුමරු ප්‍රමුඛ සේනාවෝ එළාර – දුටුගැමුණු සටනින් විජයග්‍රහණය ලැබ පෙරළා මහියංගණයට පැමිණියහ. ගැමුණු කුමරු තමන්ගේ උපදෙස් මත ඒ වන විටදී ඉදිව තිබූ අසූ රියන් උස මියුගුණ සෑ රජුගේ කොත් පැළද වීමේ උත්සවය ජයශ්‍රීයෙන් සැමරීමට කටයුතු යෙදුවේය. ඔය අතරේ රජුට බුලතාගේ යෝධ කාර්යය පිළිබදව සැල වුණි. රජු තම මවට මේ බව සැල කර ඇයත් සමගම බුලතාගේ වාපී කර්මාන්තය දැක බලා ගැනීමට පිටත් විය. ඒ යන අතරේ පෙර අහස් දියෙන් අස්වැද්දු බිම් මෙදවස වැසි රහිතවත් හරිත පැහැයෙන් බබළනු දැක මේ කිනම් අරුමයක්දැයි විමසත්ම,
“ බුලතා හදපු වැවෙන් ගලන වතුරින් තමයි මේ කුඹුරු සරු වෙලා ඇත්තේ. ඔබ වහන්සේ සටන් බිමට ගිය මේ කෙටි කාලය තුළදීයි මේ වාපී කර්මාන්තය බුලතා කරලා තියෙන්නේයි …” කියන හැම දන තුඩ තුඩ රැව් දුන් රහස් කසු කුසුව, ඒ විස්මිත රහස රජ තෙමගේ කණ වැකෙත්ම රජු ප්‍රීතියෙන් පිනා ගියේය. එකී වාපී කර්මාන්තය සිය දෙනෙතින් සජීවීව දැක ගන්න තුරු රජුට ඉවසුම් නැති විය. ඉක්මන් ගමනින් වැව අභියසට පැමිණි ගුමුණූ කුමරු ජලයෙන් සංතෘප්තව ඇති වැව දැක නිම් නැති තුටින් පිනා ගියේලු …, ඔය අතරේ රජු සමග එම ස්ථානයට පැමිණි සිටි විහාර මහා දේවියට තවත් ආරංචියක් අසන්නට ලැබුණි. ඒ උඩුදුම්බර කදු අතරේ සිට තම ස්වාමියාට ආහාර රැගෙන ඒම පහසු කරගැනීමට බුලතාගේ ඇඹේණිය තැනූ ගල් පඩි පෙළ ගැනයි. මේ සා විසල් වු වාපී කර්මාන්තයක් කළ බුලතාගේ බරිදගේ ස්වාමී භක්තිය පිළිබදව පැහැදුණු විහාර මහා දේවිය, කළු එතනා සතු නොසැලෙන ගුණාංගයට සහ බුලතාගේ යෝධ වාපී කර්මාන්තය සාර්ථකව නිමා කර ගැනීමට ලබා දුන් සහයෝගයට ගරු බුහුමන් දක්වනු වස් තම කර බැදි මාලය සහ බුලත් වැල් කදුර නමැති ගම් වරය කළු එතනට ලබා දී ඇත.
ඉදින් පෙර සදහන් කළ ඒ අනගි නිමැවුම් දෙකම අද අප අභිමුව මේ අයුරින් විද්‍යාමාන වෙමින් නිහඩව සිටියත් සොරබොර සහ ගල්පඩි පෙළ යන නිර්මාණයන් විසින් සගවා ගත් අතීත කතාන්දරය සැබැවින්ම මනරම්ය. දාගවිල්ලෙන් ආරම්භ කළ කළු එතනගේ ගල් පඩි පෙළේ ගරා වැටුණු ගල් පඩි ගෙවා අපි එහි මධ්‍යයට පැමිණ සිටිමු. මෙහි සිට අවට ප්‍රදේශය කදිමට දර්ශනය වේ. අප ඉදිරියෙන් නේත්‍රා මානයේ දර්ශනය වන්නේ සුවිසල් බින්තැන්නයි. එනම් මහියංගණයයි. සමතලා බිමේ ඈතින් ජලාශයන් දෙකක් නිල් පැහැයෙන් දිස් වේ. ඒ ලොග් ගල් ඔය සහ සොරොබොර වැවයි. අප අබිමුව පසෙකින් විරාජමානව වැජඹෙන්නේ අඹගොල්ලේ කන්දයි. කළු එතනගේ ගල් පඩි පෙළ දිගේ පහළට එද්දි අවස්ථා කිහිපයකදීම වට වංගු ගසමින් ගල් පඩි පෙළට සමාන්තරව ඉහළට දිව යන කරත්ත පාරක නටබුන්ද දැක ගත හැකි විය. ඒ අද අපට දැක ගත හැකි උඩුදුම්බර සිට මහියංගණය දක්වා පල්ලම් බසිනා දහඅට වංගුවේ මුල් ආකෘතිය ලෙස සදහන් කළද එහි ඇති වරදක් නැතැයි මම සිතමි. එනම් මේ කරත්ත පාර සකස් වන්නේ යටත් විජිත සමය තුළදීය. ඒ උඩුදුම්බර සිට මහියංගණය යා කරමිනුයි. සුදු අධිරාජ්‍ය සමය තුළදී මිනිපේ මහවැලි නිම්නය භාවිතයට ගෙන ඇත්තේ ඉංග්‍රිසින්ගේ ආර්ථික වැවිළි බිමක් වශයෙනි. තේ, රබර් වැනි වානිජ වටිනාකමක් සහිත ඵලදාව රැගෙන ඔවුන් ගමනා ගමනය කළ කරත්ත පාර මෙදවස මේ අයුරින් නටබුන්ව ඇත. එසේම එබදු කිසිදු හෝ මං පෙතක් නොතිබුණු කාලයේ කළු එතනා විසින් කළු ගල් උපයෝගී කර ගෙන සකස් කළ ගල් පඩි පෙළ අදටද විද්‍යාමාන වෙමින් පවසන්නේ කාන්තාවක් සතු අභියෝග අබිමුව නොසැලෙන අපිරිමිත ධෛර්යය සහ ස්වාමිභක්තිය පිළිබද පණිවුඩයයි. කාලයාගේ අවෑමෙන් වනය විසින් මේ මං පෙත වසා ගැනීමට දත කෑවත්, එහි ශේෂ වු නටබුන් වනයේ සැගව ගියත්, අදටත් දැක ගත හැකිය. මෙම මාර්ගයේ එක් ස්ථානයකදී විශාල ගල් ගොඩක් ගොඩ ගැසූ ස්ථානයක් දැක ගත හැකිය. ඒ පිළිබදව අපේ ගමනට එක් වු මග පෙන්වන සගයෙක් පැවසූයේ මෙවැනි වු අදහසක්…,
“ බලතිරාළත්, කළු එතනත් සොරබොරට ගියපු සහ ආපු හැම වංගියකදීම ඒ ආගිය වාර ගණන සිහිපත් කරන්න මේන්න මේ ස්ථානයේ ගල් ගෙඩියක් තියලා යන්න අමකත කළේ නැහැයිලු. ආන්න ඒ විදිහට තමයි මේන්න මේ තරම් උසට ගල් ගෙඩි ටික ගොඩ ගැහුණේ. හිතාගන්න පුළුවන්ද? මේ දෙන්නා කොයි තරම් නම් මේ ගල් පඩි දිගේ එහාට මෙහාට යන්න ඇතිද? තමන් වෙනුවෙන් නෙමේ හැමෝම ගැන හිතලයි අපේ ආදි මුතුන් මිත්තෝ කටයුතු කළේ, අද ඈයෝ හැම දෙයක්ම මනින්නේ මුදලේ අගයෙන්. ඒකනේ පවතින දෙයක් බිහි වෙන් නැත්තේ… ආදී මුතුන් මිත්තෝ කළ කි දේවල් අනාගතයට කදිම පාඩම්. රටක් හැටියට හිස ඔසවන්න කදිම මග පෙන්විමක්.”
කළු එතනගේ ගල් පඩි පෙල අවසන් වෙන්නේ මොරයාය කියන සුන්දර ගම්මානයෙන්. කුඹුරු ගොවිතැන ජීවිකාව කර ගත්තු ගැමියන්ගේ නියෝජනයක් තමයි මෙහිදි අපිට හමු වෙන්නේ. මේ හැමෝම බුලතා යෝධයා ගැනත්, කළු එතනා ගැනත් සිහිපත් කරන්නේ ගෞරවය පෙර දැරිවයි. බින්තැන්නේ මනාලිය, සොරබොර ලෙසට නාම මාත්‍රිකව හැදින්වීම ගැනත් ඇත්තේ අපූරු කථාවක්. ඒ කථාව ගැමියන් කියන්නේ රසකරමින්.
මේ යෝධ කාර්යය කරපු බුලතා යෝධයට ළගට අඩ ගහපු දුටුගැමුණු රජු බුලතගේ ක්‍රියාව ගැන ප්‍රශංසා කරමින්, දියවරින් පිරිපුන් වැවේ දසුනින් රජු කොතෙක් සතුටු වුණාද කියනවානම්, බුලතා අමතමින් “ අගෙයි මේ හරබර යෝධ වාපී කර්මාන්තය. මෙතැන් පටන් මේ හරබර කාර්යය සොරබොර වැව ලෙසට මා නම් කරනවා. මේ යෝධ වැඩේ නිම කළ බුලතාට වාරී කර්මාන්තය භාර අමාත්‍ය ධූරය ලබා දෙනවා…” යනුවෙන් නියෝග නිකුත් කරන අතරේ විසුළු සරින් “ බුලතෝ වැව දියන් මට ….. වෙහෙර (මහියංගණ සෑ රදුන් ප්‍රතිසංස්කරණය කළ ගෞරවය) ගන් තොට …. පැවසු බැව් ජනප්‍රවාදිතය. ඒ මහවැලියට යාබද වෙහෙරගම්තොට උපතයි.
……………………………
සදමල් රශ්මී ශ්‍රී බුද්ධික




























