වසර 183 ක ඓතිහාසික ඉතිහාසයක් සහිත GOH හෝටලය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම හෙට (18).
වසර 183 ක ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාමකින් යුත් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (GRAND ORIYENTAL HOTEL) ප්‍රතිසංස්කරණයෙන් පසු යළි විවෘත කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) දින සවස 6.00 ට සිදු කිරීමට නියමිතයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සෙලෙන්ඩිවා ඉන්වෙස්ට්මන්ට් ආයතනය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක්ව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය මෙසේ ප්‍රතිසංස්කරණය කර ඇත.
මේ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 225 කි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි එහි තිබෙන පෞරාණිකත්වය ආරක්ෂා වන ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කටයුතු කරන අතර මෙම ඨධ්‍ය හෝටලය මෙසේ ප්‍රතිසංස්කරණය කරන ලද එක් ගොඩනැගිල්ලක් පමණි.
තවත් ගොඩනැගිලි කිහිපයක් ඒවායේ පෞරාණිකත්වය සුරැකෙන පරිදි ප්‍රතිසංස්කරණය කරමින් පවතින අතර කොළඹ උරුමය චතුරශ්‍රයක් ලෙස වෙන ම කලාපයක් වශයෙන් නම් කිරීම මෙහි තවත් එක් අරමුණකි.
විදෙස් සංචාරකයින්ගේ වැඩි අවධානයක් දිනාගැනීමේ අරමුණින් කොළඹ උරුමය චතුරශ්‍රය ගොඩනැංවෙන අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ අධික්ෂණයෙන් GOH හෝටලය යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකෙරිණ.
ශ්‍රී ලාංකික ඉතිහාසයේ සමාජ, දේශපාලන, ආර්ථික වටිනාකමක් උසුලන, වසර 183 ක නිල ලිඛිත ඉතිහාසයක් ඇති, ලන්දේසි ආණ්ඩුකාරවරයෙකු සඳහා වර්ෂ 1875 දී ඉදිකළ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය විනාශ වන්නට ඉඩ නොතබා ප්‍රතිසංස්කරණය කිරීම විශේෂත්වයකි.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන් ද මෙම ප්‍රතිසංස්කරණය කරන ලද ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යළි විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමට නියමිතයි.
කොළඹ කොටුව, යෝර්ක් වීදියේ, අංක 02 දරන ස්ථානයේ පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය නමින් හැදින්වෙන මෙම සිව්මහල් ගොඩනැගිල්ල 1920 දී ප්‍රතිසංස්කරණය කිරීම පළමු වරට සිදුවූ අතර, 2021 වසරේ දී සිව්වන වරට නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.
1966 වසරේදී ප්‍රවීන ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා දෙවන වරට හෝටලය නැවත ප්‍රතිසංකරණය කළ අතර, හොටලයේ තෙවන ප්‍රතිසංස්කරණය 2000 වසරේදී ලංකා බැංකුව මැදිහත්වීමෙන් සිදු කෙරිණ.
තරු තුනේ හෝටලයක් වන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ආණ්ඩුකාර නිල නිවසක් ලෙස පළමුව ඉදිවූයේ තනි මහල් නිවසක් ලෙසයි.
වර්ෂ 1837 දී මෙම නිවස බි්‍රතාන්‍ය හමුදාවේ බැරැක්කයක් ලෙස යොදාගෙන තිබිණ.
ඉන් අනතුරුව 1873 දී එය නේවාසිකාගාරයක් ලෙස භාවිතයට ගැනුණි. යුධ හමුදා නේවාසිකාගාරය හෝටලයක් බවට පත්වූයේ එවකට ආණ්ඩුකාරයාව සිටි ශ්‍රීමත් රොබට් විල්මට් අතිනි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම ඇතුළත් ඉදිකිරීම් ආරක්ෂා කිරීම සහ කොළඹ සංචාරක අවස්ථා සංවර්ධනය කිරීම යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බවයි.
එකල ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ගනුදෙණුකරුවන් වෙත හදුන්වා දීම ද නව ක්‍රමයකට සිදුකර තිබිණ. ඒ, නැගෙනහිරින් ඇති එකම යුරෝපීය හිමිකාරිත්වය සහ අංග සම්පූර්ණ හෝටලය ලෙස සහ පළපුරුදු යුරෝපීයන් විසින් කළමනාකරණය කරනු ලැබේ යන තේමා පාඨ යොදා ගැනීමෙනුයි.
1950 දශකයේ මුල දී එවකට හෝටලයේ හිමිකරුව සිටි බි්‍රතාන්‍ය ජාතික සෑම් ඩී වොස් රුපියල් 625,000 කට හෝටලය ලංකා බැංකුවට විකුණා දමා ඇත.
ලංකා බැංකුව හෝටලය මිලදී ගනු ලැබුව ද, ඇතිවූ නීතිමය බාධාවක් හේතුවෙන් හෝටලයේ නම “තැප්‍රොබේන්” හෝටලය යනුවෙන් වෙනස් කරන්නට සිදුවී තිබිණ. එසේ ම ඒකාලයේ නව සභාපති ලෙස ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ පත් කරන්නට යෙදුණි.
මෙරට පළමු රාත්‍රී සමාජ ශාලාව වූ බ්ලූ දිවියා සමාජ ශාලාව, හෝටලයේ පහළ ම මාලයේ විවෘත කෙරුණේ ද එම කාලයේය.
වර්ෂ 1989 දී හෝටලයේ මුල් නම වන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යන නම යළි භාවිතයට ගැනුණු අතර 1991 ජූලි මාසයේ හෝටලය ප්‍රතිසංස්කරණයකින් පසු නැවත විවෘත කෙරිණ.
හෝටලයේ ඇති ප්‍රධාන විශේෂත්වය නම් 1890 වර්ෂයේ දී රුසියන් ජාතික ලේඛක ඇන්ටන් චෙකොෆ් දින 05 ක් මෙම හෝටලයේ නැවතී සිටිමින් ඔහුගේ “ගුසෙව්” කතාව රචනා කිරීම ආරම්භ කිරීමයි.
හෝටලය මුල් වරට ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කරන ලද පිරිවැය පවුම් 2007 ක් ලෙස ගණන් බලා තිබිණ. එම ඇස්තමේන්තුව යටතේ ම වසරක් ඇතුළත හෝටලය ඉදිකර අවසන් වනවිට පිරිවැය ලෙස වැයවී තිබුණේ පවුම් 1868 ක් පමණි.
ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ මුල් සැලසුම 1874 දී ජේ. ජී. ස්මිත් විසින් නිර්මාණය කර තිබිණ.
මෙවන් ඉතිහාසගත පසුබිමක් ඇති, ආරම්භයේදී ම කොටස් 1000 ක් විකිණී ගිය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය 2016 වසරේ මැයි මාසයේ දී යහපාලන රජය සමයේ දී ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය විකිණීම සඳහා ලංසු නිකුත් කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ප්‍රතිසංස්කරණය කරවා යළි ජාතියට දායාද කරන්නේ එම හෝටලය තවදුරටත් රැක ගතයුතු නිසාය.






















