Saturday, August 15, 2026
HomeNEWSශ්‍රී ලංකා ජනපති සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

ශ්‍රී ලංකා ජනපති සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

ශ්‍රී ලංකා ජනපති සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහතා අද (29) සවස දුරකථන සංවාදයක නිරත වෙමින්, සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත්, බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ෂී ජිං පින් ජනාධිපතිවරයාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. 

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හය ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම ගැන ද ජනාධිපතිවරයාගේ ස්තූතිය පුද කෙරිණි.

ළඟදී උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් පුද කරමින් කථා බහට එක් වූ චීන නායකයා කොවිඩ්-19 ප්‍රබල අභියෝගයක් වූවා සේම චීන ශ්‍රී ලංකා සබඳතා නව අවධියකට ඔසවා තැබීමට එය ඉවහල් විණැයි සඳහන් කළේය.

“කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය  ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකවීමට විශාල විභවතාවක් ඇති ව්‍යාපෘති දෙකක්. ඒවා කඩිනමින් නිම වනු දැකීම අපේ අපේක්ෂාව. වරාය නගරය, විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත්. එය රැකියා විරහිතභාවයටත් විසඳුමක්” යනුවෙන් චීන ජනාධිපතිවරයා පවසා තිබේ.

හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුටුදායක ලෙස ඉදිරියට යමින් තිබෙන බව සඳහන් කළ රාජපක්ෂ මහතා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නැයි චීන රජයෙන් ඉල්ලා සිටිබව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

සිය ධූර කාලයේ ඉතිරි සිව් වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සමෘද්ධිය උදෙසා කළයුතු දේ කිරීම සිය අපේක්ෂාව බව කී රාජපක්ෂ මහතා. “දිළිඳුකම තුරන් කිරීම අපේ ප්‍රධාන පරමාර්ථයක්. ඒ සඳහා අපට චීනය ආදර්ශයට ගන්න පිළිවන්” යනුවෙන් පැවසූ බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සඳහා උදව් කිරීමට කැමැත්ත පළකළ චීන නායකයා ගත වූ වසර කිහිපය තුළ තම රටේ අනූ ලක්ෂයක් දෙනා දිළිඳුකමින් ඉවතට ගැනීමට හැකි වූ බව පැවසීය.

තමා 2014 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාව සිහිපත් කළ ෂී ජිං පින් මහතා, රාජපක්ෂ ජනාධිපතිවරයා චාරිකාවක් සඳහා හැකි ඉක්මණින් චීනයට එනු දැකීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බව සඳහන් කළේය.

සැලසුම් කළ පරිදි චීනයේ චාරිකා කිරීමට කොවිඩ් වසංගතය නිසා නොහැකි වූ බව කී රාජපක්ෂ ජනාධිපතිවරයා දෙපාර්ශ්වයටම පහසු අවස්ථාවක චීනයට පැමිණීමට අපේක්ෂා කරන බව පැවසීය.

චීන – ශ්‍රී ලංකා සබඳතාවන්හි උපාය මාර්ගික ප්‍රවේශය දෘශ්‍ය ප්‍රතිඵල ලැබෙන අයුරින් තවත් දියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ චීන ජනාධිපතිවරයා දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කළයුතු බව ද පෙන්වා දුන්නේය.

චීන මහජන බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිරිනැමුණු හුවමාරු මූල්‍ය පහසුකම අගය කළ රාජපක්ෂ මහතා එය ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට නිසැකවම ඉවහල් වනු ඇතැයි කීය.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හම්බන්තොට තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ස්ථාපනයට චීනයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කළ රාජපක්ෂ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් සිය සුභාශීංසන පුද කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img