හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය නිවස සම්බන්ධයෙන් මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශ්‍රාම යාමෙන් පසුවද කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ලබාදීමට එවක කැබිනට් මණ්ඩලය ගත් තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ,
අදාළ සාකච්ඡාවේදී ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බව ඔහු පැවසීය.
“උසාවි තීන්දුව අනුව ඉදිරි කටයුතු සිදුවෙයි. හිටපු ජනාධිපතිතුමාට ඉන්න තැනක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.
“හිටපු ජනාධිපතිවරයෙක් විදිහට එතුමාට පොළොන්නරුවට ගිහින් ඉන්න බෑනේ.”
“ඒ නිසා මේ පිළිබඳව අපි ඉදිරියේදී ගතයුතු තීරණ මොනවාද කියලා සාකච්ඡා කරනවා.”
අදාළ කැබිනට් තීරණයට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඉදිරිපත් කළ පෙත්සමක් අද සලකා බැලු අවස්ථාවේදී මෙම නියෝගය දී තිබුණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු සිය නිල නිවස ලෙස භාවිතයට ගත්තේ කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි නිවසය.
මීට පෙර පැජට් පාර ලෙස නම්කර තිබු මෙම මාවතේ පිහිටි නිවස හිටපු විධායක ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ විශ්‍රාම නිවස ලෙසත්, තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකුට අයත් වෙන්වූ නිවාස 02 ක් ලෙසත් පැවතියේය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නිවස තෝරා ගැනීමත් සමඟ එය ජනාධිපති නිල නිවස ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 180ක් පමණ වැය කර තිබුණු බව පසුගියදා මාධ්‍ය වාර්තා පළවුණි.
අනතුරුව හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසුවද එම නිවස ඔහුගේ වාසය සඳහා ලබාදීමට 2019 ඔක්තෝම්බර් 15 වනදා යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.
අදාළ පෙත්සම අද සලකා බැලුනේ ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.






















