කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මගීන් සහ ප්‍රභූවරුන් පිටත්වීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව නොමඟ යවන අයුරින් සාවද්‍ය පුවත් පළ වී ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා පුද්ගලික සමාගම පවසයි.
එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, ගුවන්තොටුපොළ භාවිත කරන ඕනෑම සාමාන්‍ය මගියෙකුගේ සිට ප්‍රභූන් දක්වා තම ගමන් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය වන සේ පහසුකම් සැලසීමට සිය සමාගම පියවර ගෙන ඇති බවය.
කෙසේවුව ද ගුවන්තොටුපොළ තුළ ආරක්ෂක කැමරා පද්ධති වෙනස් කිරීම්, ක්‍රියාවිරහිත කිරීම හෝ කිසිදු ආරක්ෂක ක්‍රියාපටිපාටියක් පුද්ගල අවශ්‍යතාවයන් මත ලිහිල් කිරීමට පියවර ගෙන නොමැති බව ජි.ඒ.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
“ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් නොයෙක් දේවල් මාධ්‍ය මගින් සහ අනෙකුත් ක්‍රම මගින් සමාජ මාධ්‍යවල යම් යම් දේවල් ප්‍රකාශ කරනවා. ගුවන්තොටුපොළෙන් ඕනෑම සාමාන්‍ය මගියෙක්ගේ සිට ප්රභූවරයෙක් දක්වා නීතියානුකූල ඡාලයක් තමා මේ ගුවන්තොටුපොළේ තියෙන්නේ. නමුත් මම දැක්කා සමහර දේවල් කියලා තියෙනවා අපි කැමරා පද්ධතිය වෙනස් කරලා යම් යම් අයට යන්න ඉඩසලස්වා දුන්නා කියලා. එහෙම කරන්න බෑ. නීතියට පිටින් මෙහෙ වැඩකරන්න කාටවත් බෑ. සෑම මගියෙක්ම ගුවන්තොටුපොළ අස්සට පැමිණියාට පස්සේ, ඔවුන්ට ආරක්ෂාව ලබාදෙනවා. ඒ එක්කම අවශ්‍ය පහසුකම් ලබාදීම අපගේ යුතුකමක්. ප්රභූවරයෙක් වුණත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් වුවත් ඒ සියලුදෙනා බලාගන්න ඕනේ. අපි කනගාටුවට පත්වුණා අපි එක එක්කෙනාට උදව් කරා කිව්වහම. එහෙම කරන්න බෑ.”






















