නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ස්ථාන 6ක ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනවලට අනුව අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් වන කොටිකාවත්ත ප්‍රදේශය පදිංචිකරුවෙකු සහ වයස අවුරුදු 36ක් වන මෙගොඩ, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
මුදලින් රුපියල් ලක්ෂ 20 අධික වටිනාකමින් යුතු එම භාණ්ඩ සැකකරුවන් දෙදෙනාගේ නිවාසවල සහ විකුණා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
අදාළ සැකකරුවන් දෙදෙනා දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයන් වන අතර මීට පෙර ද ඔවුන් කොල්ලකෑම් සම්බන්ධව අත්අඩංගුවේ සිට අය බව පොලීසිය පවසයි.
සොයාගත් භාණ්ඩ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය, මුල්ලේරියාව, කඩුවෙල, නවගමුව, මාලඹේ සහ අතුරුගිරිය යන පොලිස් ස්ථානවල එම කොල්ලකෑම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබේ.
සැකකරුවන් අද (15) අලුත්කඩේ අංක 2 දරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






















