- ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමට කොරියාවෙන් සැලසුම් ….
දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා තම රට කටයුතු කරන බව කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී මහත්මිය පවසයි.
කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී මහත්මිය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්
2023.07. 25 දින අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේදී මේ බව ප්‍රකාශ විය.
ජල පිරිපහදුව, සනීපාරක්ෂාව, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති සහ වියළි කලාපීය කෘෂිකර්මාන්තය පිළිබඳ ව්‍යාපෘති සඳහා සහය වන ලෙස අග්‍රාමාත්‍යවරයා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කෙරෙනු ඇත.
ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නය හේතුවෙන් ඇණහිට ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නැවත ආරම්භ කිරීමට ඵලදායී පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව නැවත ව්‍යාපෘතිය ආරම්භ කරන බව කොරියානු නව තානාපතිවරිය සඳහන් කළාය.
කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, පුනර්ජනනීය බලශක්ති සහ ධීවර ක්ෂේත්‍ර වැනි නව ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කිරීමට කොරියාවට දැන් අවස්ථාව ලැබී ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සංස්කෘතික හා ආගමික සබඳතා, අධ්‍යාපනික හුවමාරු සහ මිනිසුන් අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ද කටයුතු කරන බවත්, දැනට කොරියාවේ ශ්‍රී ලාංකිකයන් 25,000ක් සේවය කරන අතර, මේ වසරේ තවත් 7,000ක් සේවයට එක්වන බවත් තානාපතිවරිය පැවසුවාය.
සෘතුමය කෘෂිකාර්මික සේවක යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම පිළිබඳව තම රජය සලකා බලන බවට තානාපතිනිය සහතික විය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න සහ කොරියානු තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් Sohngyee Jung යන අය ද එක්ව සිටියහ.
අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය.






















