• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්.
• ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා ගැනීමට පවතින අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ (14) පෙරවරුවේ කොළඹ, ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවති 36 වන ජාතික සමථ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි.
තවදුරටත් අදහස් පළ කළඅමාත්‍යතුමා මෙසේ ද සඳහන් කළේය.
36 වන ජාතික සමථ දිනය නිමිත්තෙන් පැවැත්වෙන මෙම වැදගත් සැමරුම් උත්සවයට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා ඉතා සතුටට පත්වනවා. ජාතික සමථ දිනය යනු හුදෙක් දින දර්ශනයේ සටහන් වන තවත් එක් දිනයක් නොවෙයි. එය අපගේ සමාජයට ඉතා වැදගත් පණිවිඩයක් ලබාදෙන අවස්ථාවක්. එම පණිවිඩය වන්නේ ආරවුලක් ඇති වූ සෑම අවස්ථාවකම විසඳුම විය යුත්තේ ගැටුම නොව, සාකච්ඡාව, අවබෝධය සහ සාමකාමී එකඟතාවය බවයි. අප රටක් ලෙස ඉදිරියට යාමට නම්, ආර්ථික සංවර්ධනය පමණක් නොව නීතියේ ආධිපත්‍යය සුරැකෙන, සමානාත්මතාවය රජයන, සෑම පුරවැසියෙකුටම නීතියට සමාන ප්‍රවේශයක් සහතික වන සාධාරණ සමාජයක් අප ගොඩනැගිය යුතුයි. ඒ නිසාම, සෑම පුරවැසියෙකුටම නීතියේ ආරක්ෂාව සහ සාධාරණත්වය ලැබීම අපගේ ප්‍රධාන වගකීමක් වෙනවා. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී සමථකරණ ක්‍රියාවලියට හිමි වන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක් බව කිව යුතුයි. අපගේ අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ නඩු ප්‍රමාණය වැඩිවීම සහ ඒ හේතුවෙන් ඇතිවන ප්‍රමාදයයි. මෙවැනි තත්ත්වයක් තුළ, සෑම ආරවුලක්ම අධිකරණය වෙත ගෙන යාම වෙනුවට, හැකි සෑම අවස්ථාවකදීම පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාවෙන් හා එකඟතාවයෙන් ආරවුල් විසඳා ගැනීමට අවස්ථාව ලබාදීම ඉතා වැදගත් වෙනවා. අප රටේ සමථකරණ ක්‍රියාවලිය එම කාර්යය ඉතා සාර්ථකව ඉටු කරමින් සිටිනවා. ලක්ෂ දෙකක් පමණ නඩු සමථ මණ්ඩලය විසින් නිරාකරණය කර තිබෙනවා. ඔබ එය නොකර තිබුණා නම් තවත් ලක්ෂ දෙකකින් නඩු සංඛ්‍යාව වැඩි වෙනවා. දිවයින පුරා පිහිටි සමථ මූල මණ්ඩල වෙත වසරකට ආරවුල් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් අලුතින් යොමු වීමෙන්ම, අපේ ජනතාව තුළ මෙම ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය සහ එහි වැදගත්කම පැහැදිලි වෙනවා. මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් අධිකරණය වෙත ගොඩගැසීමට ඉඩ තිබෙන නඩු ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම, 2026 වසර සමථකරණ ක්‍රියාවලිය සඳහා සුවිශේෂී වසරක් ලෙස සඳහන් කළ හැකියි. මෙවර අයවැය මගින් සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහා රුපියල් මිලියන 800 කට අධික ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මෙම ප්‍රතිපාදන මගින් ප්‍රමාද වී පැවති පුහුණු වැඩමුළු පැවැත්වීමටත්, සමථකරුවන් පත් කිරීමේ කටයුතු නිසි පරිදි සහ නිසි කාලයට සිදු කිරීමටත් හැකියාව ලැබෙනවා. එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රජා සමථ මූල මණ්ඩල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අප කටයුතු කර තිබෙනවා.ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් විශේෂ සමථ මණ්ඩල දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පිහිටුවීමට පසුගිය වසරේ අපට හැකියාව ලැබුණා. එමෙන්ම, අධිකරණය වෙත යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා විශේෂ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල හඳුන්වා දී තිබෙනවා.
එහි පළමු අදියර ලෙස කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක 06 ක විශේෂ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. මෙවැනි වැඩපිළිවෙළවල් තුළින් අප බලාපොරොත්තු වන්නේ අධිකරණ පද්ධතියට ඇති පීඩනය අඩු කිරීම පමණක් නොවෙයි. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට ඉක්මන්, සාධාරණ සහ සාමකාමී ආරවුල් විසඳුමක් ලබාදීමයි. ඒ සඳහා තාක්ෂණයද අප භාවිත කළ යුතුයි.
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව, සමථ මණ්ඩලවල ආරවුල් දත්ත කළමනාකරණ පද්ධතියක් හෙවත් Dispute Data Management System එකක් ස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටිනවා.
එහි මුල් අදියර ලෙස විශේෂ ඉඩම් සමථ මණ්ඩල වෙත යොමු වී ඇති ආරවුල්වල දත්ත එම පද්ධතියට ඇතුළත් කිරීම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතිනවා. අපි නවීන තාක්ෂණය භාවිත කළ යුත්තේ ජනතාවගෙන් දුරස් වීමට නොවෙයි. ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහායි. මෙම අවස්ථාවේදී, අපගේ විශේෂ ගෞරවය හිමි විය යුතු පිරිසක් පිළිබඳව සඳහන් කළ යුතුයි.
අප රට පුරා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ඉතාමත් කැපවීමෙන් සේවය කරන 9000 කට අධික සමථකරුවන් ගේ සේවය අගය කළ යුතුයි. තම කාලය, දැනුම සහ අත්දැකීම් සමාජය වෙනුවෙන් කැප කරමින්, ගැටුම් ඇති පාර්ශව දෙකක් අතර සාමකාමී එකඟතාවයක් ඇති කිරීම පහසු කාර්යයක් නොවේ. එබැවින්, මේ මහඟු කර්තව්‍යය වෙනුවෙන් කැපවී සිටින සියලුම සමථකරුවන් වෙත රජයේත්, ජනතාවගේත් ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා. එමෙන්ම, අද දින අපගේ ආරාධනයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මෙහි පැමිණ සිටින සමථ මූල මණ්ඩලවල ගරු සභාපතිවරුන්ගේ සේවයද අපි ඉතා ඉහළින් අගය කරනවා. සමථකරණ ශිල්පීය දක්ෂතා පිළිබඳ පුහුණු වැඩමුළු පවත්වමින්, සමථකරණ සංකල්පය නිවැරදිව සමථකරුවන් වෙත අවබෝධ කරදීමට කටයුතු කරන සමථ පුහුණු නිලධාරීන් වෙතද අපගේ ස්තූතිය හා ගෞරවය පළ කරනවා.එමෙන්ම, දිවයින පුරා පිහිටි ප්‍රජා සමථ මණ්ඩල 332 ක් සහ විශේෂ සමථ මණ්ඩල 31 ක් සම්බන්ධීකරණය කරමින්, මෙම ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සලසන සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපතිතුමා, කොමසාරිස්වරුන්, ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටද මාගේ ස්තූතිය පිරිනමනවා. අපගේ ඉදිරි අරමුණ විය යුත්තේ මෙම පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමයි. සමථකරණය පිළිබඳ ජනතාව තුළ ඇති දැනුවත්භාවය වැඩි කළ යුතුයි. ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා ගැනීමට තිබෙන අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. නඩුවක් ජයග්‍රහණය කිරීමකට වඩා ආරවුලක් සාමකාමීව අවසන් කර ගැනීම සමාජයට වඩාත් වටිනා ජයග්‍රහණයක් ලබා දිය හැකියි. අපට අවශ්‍ය වන්නේ ආරවුල් වැඩි වන සමාජයක් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ ආරවුල් සාකච්ඡාවෙන් විසඳා ගන්නා, නීතියට ගරු කරන, එකිනෙකාට ගරු කරන, සාමය සහ සහජීවනය අගය කරන සමාජයක්. එම සමාජය ගොඩනැගීමේදී සමථකරණ ක්‍රියාවලියට ඉතා විශාල වගකීමක් තිබෙනවා. අද 36 වන ජාතික සමථ දිනය සමරන මෙම අවස්ථාවේදී, අප සියලු දෙනා එක්ව එම වගකීම තවදුරටත් ශක්තිමත්ව ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. සමථකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජනතාවට කාර්යක්ෂම හා සාධාරණ සේවාවක් ලබාදීමටත්, අපගේ සියලුම සමථකරුවන්ට, සමථ මණ්ඩල සභාපතිවරුන්ට, පුහුණු නිලධාරීන්ට සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සියලුම නිලධාරීන්ට ශක්තිය, ධෛර්යය සහ කැපවීම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන්, නීතියේ ආධිපත්‍යය සුරැකෙන, සාමය සහ සාධාරණත්වය රජයන, ආරවුල් සාමකාමීව විසඳා ගන්නා යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද අමාත්‍යතුමා සඳහන් කළේය.
අධිකරණ ක්‍රියාවලිය පහසු කරලීමේ අරමුණින් ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස අධිකරණ වෙත යොමු වන සුළු ආරවුල් විසඳීම වෙනුවෙන් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මඟින් 1990 ජුලි මස 18 වන දින සමථ මණ්ඩල ස්ථාපිත කර ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය අදහස් පළ කරමින් මෙසේ සඳහන් කළාය.
අද අප සමරන්නේ හුදෙක් දින දසුනේ එක් දිනයක් පමණක් නොවේ. අපේ රටේ සාමාන්‍ය ජනතාවට වඩාත් ප්‍රවේශශීලී, කඩිනම් සහ සහනශීලී යුක්ති ධර්මයක් ඉටුකර දීම වෙනුවෙන් කැපවුණු, මෙරට ප්‍රජා මූලික යුක්ති පද්ධතියේ ඇති සුවිශේෂීම යාන්ත්‍රණය ඇගයීමට ලක්කරන ජාතික මට්ටමේ උපහාර දිනයයි.
අප රටේ සාම්ප්‍රදායික අධිකරණ පද්ධතිය දෙස බලන විට, මේ වන විට නඩු ලක්ෂ ගණනක තද බදයක් පැවතීමේ සත්‍යතාවයට අපට මුහුණ දීමට සිදු වෙනවා. එවැනි වටපිටාවක, 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මඟින් ඇරඹි ප්‍රජා සමථකරණ ක්‍රියාවලිය, මෙරට අධිකරණ ක්ෂේත්‍රයට ලබා දෙන්නේ අමිල සහයෝගයක් බව සඳහන් කළ හැකියි. මෙම පනත ක්‍රියාත්මක වීම කරණ කොටගෙන, අධික නීතිඥ ගාස්තු නොමැතිව, දීර්ඝ කාලීන නඩු ප්‍රමාදයන්ගෙන් තොරව, තමන්ගේම ගමේ, තමන් දන්නා හඳුනන පොදු ස්ථානයකදී සුහදශීලීව ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රජා සමථ මණ්ඩල මඟින් සාමාන්‍ය ජනතාවට අවස්ථාව මේ වන විට උදා වී තිබෙනවා.
අද වන විට දිවයින පුරා විහිදුණු ප්‍රජා සමථ මණ්ඩල 300 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. වසරකට ආරවුල් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මේ හරහා සාකච්ඡා කෙරෙන අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් සාර්ථකව සමථයකට පත් කිරීමට හැකි වී තිබෙනවා. මෙය හුදෙක් සංඛ්‍යාලේඛනවලට සීමා වූවක් නොවේ; මෙය ක්‍රියාත්මක වීම හේතු කරගෙන, සමාජය තුළ ඇති වන්නට ගිය වෛරය, ක්‍රෝධය සහ සිත් රිදවීම් ලක්ෂ ගණනක්, රටේ සාමය සහ සහජීවනය බවට පරිවර්තනය කිරීම එමගින් සිදුව තිබෙනවා.
ළමා මිතුරු සමථකරණ (Child-Friendly Mediation) වැඩසටහන්, විශේෂ ඉඩම් සමථ මණ්ඩල සහ මූල්‍ය ආරවුල් විසඳීමේ විශේෂ සමථ මණ්ඩල දිවයින පුරා ව්‍යාප්ත කිරීමට ද අප අමාත්‍යාංශය මේ වන විට සැලසුම් සකස් කරමින් පවතිනවා. අපගේ අරමුණ වන්නේ සමාජයේ සෑම තරාතිරමකම පවතින ගැටලුවලට අධිකරණයෙන් පිටතදී සුහදශීලීව විසඳුම් සෙවීමේ සංස්කෘතියක් (Culture of Mediation) රට තුළ නිර්මාණය කිරීමයි.
මෙම සන්දර්භය තුළ, අප අමාත්‍යාංශය හුදෙක් පැමිණිලි විසඳන තැනකින් ඔබ්බට ගොස්, රටේ ඉදිරි ගමන තීරණය කරන සුවිශේෂී රාජ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියා වලින් ගණනාවක් සමථකරණ පද්ධතිය තුළට බද්ධ කර තිබෙනවා. පළමුවෙන්ම, මෙරට සෑම පුරවැසියෙකුටම සමාන සහ සාධාරණ ලෙස යුක්තියට ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීම අපගේ ජාතික ප්‍රතිපත්තියයි.
ඒ අනුව, අපේ රට ළඟා කර ගැනීමට උත්සාහ කරන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාර්ථයන්හි 16 වැනි ඉලක්කය වන ‘සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන ගොඩනැඟීම’ (SDG 16) සැබෑවක් බවට පත් කිරීමට මෙම ප්‍රජා සමථකරණ ක්‍රියාවලිය සෘජුවම දායක වනවා.
දෙවනුව, අප පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත කරගත් “සිවිල් සහ වාණිජ ආරවුල් සමථකරණ පනත” ” (Mediation – Civil and Commercial Disputes Act) හරහා අමාත්‍යාංශය ලෙස වර්තමාන ලෝකයේ සිදුවන නීතිමය වෙනස්කම් සමඟ සමථකරණ ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගනිමින් සිටිනවා. මේ හරහා වාණිජමය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පවතින ගැටලු ද වඩා විධිමත්, නීත්‍යානුකූල සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සමථ කරණය කිරීමට අවශ්‍ය නව නීතිමය රාමුවක් සකස් වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ ආයෝජන විශ්වාසය තහවුරු කිරීමට සෘජුවම දායක වන්නක් බව කිව යුතුයි. තෙවනුව, අපගේ මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා සමථකාර භවතුන්ගේ දැනුම සහ කුසලතා නූතන ලෝකයට ගැළපෙන පරිදි යාවත්කාලීන කළ යුතුයි. ඒ වෙනුවෙන් සමථකාරවරුන්ගේ වෘත්තීය නිපුණතා සංවර්ධනය සඳහා වූ විශේෂිත පුහුණු ආයතනික ක්‍රම වේදයක්, ජාත්‍යන්තර විශේෂඥයන්ගේ තාක්ෂණික සහ මූල්‍යය සහය ඇතිව වඩාත් විධිමත් කිරීමට අප අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය වශයෙන් සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම, අපේ අමාත්‍යාංශයේ මුලිකම දර්ශනයක් වන්නේ ජාති, ආගම් හෝ කුල භේදයකින් තොරව සැමට සමසේ යුක්තිය ඉටුකිරීමයි. රටේ ජාතික ඒකාබද්ධතාවය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම උදෙසා, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම, එම ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ මව් භාෂාවෙන් සහ ඔවුන්ගේ සංස්කෘතික පසුබිමට ගරු කරමින් කටයුතු කළ හැකි, බහු – සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් සමන්විත සමථ මණ්ඩල ව්‍යාප්ත කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මෙම සමස්ත ක්‍රියාවලියේ සැබෑ නියමුවන් සහ නිහඬ වීරයන් වන්නේ අන් කවුරුත් නොව, අද මෙම සභාවේ අසුන්ගෙන සිටින අපේ ගරු සමථකාර මහත්ම මහත් මිනුයි. වැටුපක්, නිලතල හෝ පෞද්ගලික වාසි අපේක්ෂා නොකර, තමන්ගේ වටිනා, කාලය සහ ශ්‍රමය කැප කරමින්, සමාජයේ සාමය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන 9,000 කට අධික සමථකාර සාමාජිකයන් සමූහයට සමස්ත රාජ්‍යයේම සහ අමාත්‍යාංශයේ ප්‍රණාමය මම මේ මොහොතේ පුද කර සිටිනවා. ගෞරවනීය සමථකාර මහත්ම මහත්මිනි, ඔබ ඉටු කරන්නේ හුදෙක් නීතිමය රාජකාරියක් නොවේ, එය උතුම් මානුෂීය සහ සමාජයීය මෙහෙවරක් බව කිව යුතුයි. සමථ මණ්ඩලයට යොමු වන ආරවුල් වලින් සීයයට 75 ක් සඳහා විසඳුම් ලබා දෙන බව සඳහන් වුණා. සීයයට සීයක ප්‍රතිශතයක් සඳහා තවත් සීයයට 25 ක් තිබෙනවා. ඉන් යම්කිසි ප්‍රමාණයක් සම්පුර්ණ කිරීමට කටයුතු කිරීමට කටයුතු කරන්නේ නම් අතිශයින් වැදගත් වෙනවා
සමථකරණයේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහිදී කවුරුන් හෝ ” පැරදීමක් ” සිදු නොවීමයි. සාම්ප්‍රදායික අධිකරණයකදී එක් පාර්ශවයක් දිනන විට අනෙක් පාර්ශවය පැරදීමට පත්වෙනවා. නමුත් සමථකරණයේදී දෙපාර්ශවයම සාකච්ඡා කර තමන්ටම එකඟ විය හැකි, දෙපාර්ශවයටම ජයග්‍රහණයක් අත්වන “Win-Win” විසඳුමකට එළඹීම සිදු වෙනවා. මෙම සංසිද්ධීන් පවුල් එකමුතු කිරීමට, අසල්වැසි සබඳතා ශක්තිමත් කිරීමට සහ සමස්ත ශ්‍රී ලාංකීය ජාතියේ සංහිඳියාව වර්ධනය කිරීමට මහඟු පිටුවහලක් වෙනවා. සමථ මණ්ඩල පද්ධතිය තවදුරටත් නවීකරණය කරමින්, සමථකාර භවතුන්ගේ යටිතල පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය සියලුම ප්‍රතිපාදන සහ ප්‍රතිපත්තිමය සහයෝගය ඔබට අප විසින් අඛණ්ඩව ලබා දෙන බව මා ප්‍රකාශ කරනවා. අද දින ඇගයීමට ලක්වන, උපහාර ලබන සියලුම දෙනාටම මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර, ශ්‍රී ලංකාව සාමකාමී සහ යුක්තිගරුක දේශයක් කිරීමට කැපවන සියලුම සමථකාර භවතුන්ට, නිලධාරීන්ට සහ සහයෝගය දක්වන සියලුම සංවිධාන වලට, මාගේ හද පිරි කෘතඥතාවය පළ කර සිටිනවා..
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් තිළිණි රත්නසුරිය මහත්මිය පිළිගැනීමේ කථාව සිදු කළ අතර, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රදීප් කීර්තිරත්න මහතා ඇතුළු එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, සමථ පුහුණු නිලධාරීන්, සමථ සංවර්ධන නිලධාරීන්, ප්‍රජා සමථ මුල මණ්ඩල සභාපතිවරුන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය සමථ උත්සවයේ සිදු කළ කථා මේ සමඟ යොමු කර ඇත.
Link – https://we.tl/t-OyA4BoRWRzu8Y9F6
මාධ්‍ය ඒකකය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.






















