සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා
සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි
රිසානා නෆීක් සිදුවීමේ අත්දැකීම් සිහිපත් කරමින් ශක්තිමත් නීතිමය ආරක්ෂාවක් ඉල්ලයි
සවුදි අරාබියේදී බරපතල නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම නීතිමය වශයෙන් කඩිනම් සහ ප්‍රබල මැදිහත්වීමක් සිදු කිරීමේ කාලීන අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙන්වා දෙයි. රටක ස්වෛරීභාවයට හා නීතියට ගරු කරන අතරම, තම පුරවැසියකු වෙනුවෙන් කළ හැකි උපරිම නීතිමය හා මානුෂීය පියවර ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතාව විය යුතු බව ඒ මහතා අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ෆයිසර් මුස්ථාපා මහතා මෙසේද ප්‍රකාශ කරයි.
නඩුවේ පසුබිම සහ අභියාචනා තත්ත්වය
නාර්පිට්ටිමුනෙයි ප්‍රදේශයේ පදිංචි අනෝජන් සවුදි අරාබියේ සේවය කරමින් සිටියදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමින් අත්අඩංගුවට පත්විය. පසුගිය ජූලි 15 වනදා සවුදි අධිකරණයකින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ රියාල් මිලියන තුනක දඩයක් නියම කෙරුණු අතර, ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයකින් අනතුරුව එම දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇති බවට ඔහුගේ නීතිඥවරයා විසින් රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාචිකව දැනුවත් කර තිබේ.
කෙසේ වෙතත්, අදාළ තීන්දුවේ නිල ලිඛිත පිටපත මෙතෙක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ පිළිබඳව අදහස් දක්වන ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන්නේ, තීන්දුවේ නීතිමය පදනම නිවැරදිව තේරුම් ගැනීමට එම ලිඛිත ලේඛනය කඩිනමින් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බවත්, නීතිඥ උපදෙස් අනුව ඉදිරි මාසයක කාලසීමාව තුළ සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමේ අවස්ථාව ප්‍රමාදයකින් තොරව ප්‍රයෝජනයට ගත යුතු බවත්ය.
කරුණාව අයැදීම සහ ඉස්ලාමීය දහමේ මූලධර්ම
අදාළ මතභේදාත්මක ප්‍රකාශය පළ කර සුළු වේලාවකින් එය ඉවත් කර අනෝජන් විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති බව වාර්තා වේ. එම කරුණ පදනම් කරගනිමින්, පසුතැවිලි වීම, සමාව දීම සහ දයාව පෙරදැරි කරගත් ඉස්ලාමීය මූලධර්මයන්ට අනුකූලව සවුදි බලධාරීන්ගෙන් මානුෂීය සහනයක් හෝ රාජකීය සමාවක් ඉල්ලා සිටීමට ශක්තිමත් පසුබිමක් නිර්මාණය වන බව ෆයිසර් මුස්තාපා සඳහන් කරයි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය උපයෝගී කරගනිමින්, ඉහළම රාජ්‍ය මට්ටමින් සාකච්ඡා මාර්ගයට පිවිසීම තුළින් මෙම තරුණයාගේ ජීවිතය රැකගැනීමට ඉඩකඩ පවතින බවත්, රජය මෙන්ම විපක්ෂයද පක්ෂ පාට භේදයකින් තොරව මේ වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
රිසානා නෆීක් සිදුවීමෙන් ගත යුතු පාඩම්
මීට වසර කිහිපයකට පෙර සවුදි අරාබියේදී මරණ දඬුවමට මුහුණ දුන් රිසානා නෆීක් සිදුවීම සිහිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන්නේ, නිසි නීතිමය උපදෙස්, විශ්වාසනීය නියෝජනය සහ නිවැරදි භාෂා පරිවර්තන නොමැති වීම නිසා අතීතයේදී දැරීමට සිදු වූ මිල අතිශය වේදනාකාරී බවයි. විදේශ රටක මෙවැනි බරපතල නීතිමය ගැටලුවකට මුහුණ දෙන ඕනෑම පුරවැසියකුට ආරම්භයේ සිටම නිසි නීතිමය උපදේශනය සහ රාජ්‍ය තාන්ත්‍රික රැකවරණය අඛණ්ඩව හිමි විය යුතු බව එම අත්දැකීමෙන් තහවුරු වන බව ඔහු අවධාරණය කරයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් විසින් මෙම අභියාචනා ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිඥ නියෝජනය සහ ලිපි ලේඛන හුවමාරුව පිළිබඳව යම් ප්‍රශ්න මතු කර ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරන්නේ පවතින රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රණය ඔස්සේ අදාළ තරුණයාට අවශ්‍ය උපරිම කොන්සියුලර් සහය ලබා දෙමින් සිටින බවයි.
විදේශගත ශ්‍රමික ආරක්ෂාව සහ වගකීම
විදේශගත ශ්‍රමිකයන් සඳහා විදේශයන්හිදී සුදුසු නීතිඥ සහාය ලබා දීමේ විධිමත් පද්ධතියක් පවත්වා ගැනීම, පවුල්වලට නිවැරදි නීතිමය උපදෙස් සැපයීම මෙන්ම, ශ්‍රමිකයන් විදේශ රටවල නීති පද්ධතීන් සහ සමාජ මාධ්‍ය භාවිතයේ සීමාවන් පිළිබඳව කල්තියා දැනුවත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරේ.
මේ මොහොතේ මූලිකම අවධානය යොමු විය යුත්තේ කිසිදු කාල ප්‍රමාදයකින් තොරව ලිඛිත තීන්දුව ලබාගැනීම, සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රබල නීතිමය අභියාචනයක් ගොනු කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික මාවත ඔස්සේ අනෝජන්ගේ ජීවිතය රැකගැනීම සඳහා උපරිම උත්සාහයක් ගැනීම බව නීති විශාරදයෝ පෙන්වා දෙති.






















