පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස්
දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප ඒ ගැන කතා කරනවා. ඒ අනුව සාකච්ඡා ගෙන යනවා. අපේ පසුබිම එහි සඳහන් වෙනවා. රටට කරන්න වුවමනා කාරණා කීපයක් තිබෙනවා. අද තිබෙන අර්බුධ තමයි, ලොකුම කාරණාව වන්නේ. ආර්ථික දැක්ම සහ එය ස්ථවර කළ යුත්තේ කෙසේද යන්න, ආයෝජනය ප්‍රවර්ධනය කර රැකියා සෙවීම ආදිය ගැන අවධානය යොමු කළ යුතුය.
රටේ ඇතිවුණ අර්බුධ වලින් පසුව ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. මැද පන්තියත්, පහළ පන්තියට එන තත්ත්වයක් තමයි අද ආර්ථිකයේ තිබෙන්නේ.
මේ සියල්ල සමග අප කොහොමද ඉදිරියට යන්නේ කියන කාරණාව ගැන සාකච්ඡාව මතු වෙලා. විශේෂයෙන්ම මා කියන්නේ ථෙරවාදී ලක්ෂණ සහිත වෙළඳපොළ ආර්ථිකයක් ඉදිරියට ගෙනයන්න කියලයි. මොකද, ලංකාවට මුලින්ම බුදුදහම ගැන කිව්වේ තපස්සු භල්ලුක කියන වෙළඳ දෙබෑයන් දෙදෙනායි. දකුණු ආසියාවේ විශාල වශයෙන් ථෙරවාදී ආර්ථික ක්‍රමයන් තිබුණා. ඒ වගේම හින්දු වෙළඳපොල ක්‍රමයක්ද පැවතුණා. මුස්ලිම් ඒවා ද එකතු වුණා. මේ දේවල් සමගයි අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න ඕනෑ.
විශේෂයෙන්ම ප්‍රධාන ආයෝජන තිබෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ නිවාස ඇති කර ගන්න ඕනෑ. ඊළඟට ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරගන්න ඕනෑ.
අප පළමුවෙන්ම ශ්‍රී ලංකේය අනන්‍යතාවය ඇති කරගත යුතුයි. ඊළඟට විධායක ජනාධිපති ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කළ යුතුයි. කෙටි කාලීන ප්‍රශ්න අද රටට නැහැ.
අවුරුදු විස්සක් පමණ එක දිගට යන පොදු රාමුවක්, සියලු පක්ෂ එකතු වෙලා ඇති කර ගත යුතුයි. ඒ වගේම ඡන්ද ක්‍රමයක් ද යෝජනා කළා. 125 ක් කොට්ඨාශ වලින් පත් වෙනවා, මේ අවස්ථාවලදී කොට්ඨාශ 125ටම නම් කරන ඕනෑම පක්ෂයකින් සියයට 25 ක් කාන්තාවන් විය යුතුයි. ලැයිස්තුවෙන් එන සියයෙන්, 25 ද කාන්තා නියෝජනය පෙන්නුම් කෙරෙනවා. මෙය අනිත් සභාවලටත් ක්‍රියාත්මක කළ යුතුයි.
අධිකරණයේ ව්‍යවස්ථා අධිකරණයක් වෙනම ඇති කරන්න ඕනෑ. දූෂණ විරෝධී ක්‍රියා මාර්ග වෙනුවෙන් අප පෙනී සිටිනවා. අප පටන් ගත්ත IMF විනිශ්චය (Diagnostic) වාර්තාවේ එය තිබෙනවා. අනිත් ඒවාත් ක්‍රියාත්මක කර මෙය ඉදිරියට ගෙනයන්න ඕනෑ.
අප 1975 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලධර්ම අනුව තමයි මේ වැඩ කටයුතු කරන්නේ. මෙය සකස් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරක් නොවෙයි, පැලවත්ත හැර සියලු පක්ෂ සමග අප කතා කරනවා. පුළුවන් තරම් එකඟත්වයකින් සාකච්ඡාවක් ඇති කරගන්න උත්සාහ කරනවා. මා තරුණ පරපුරට මේ වැඩකටයුතු බාර දෙනවා.
මෙය අවසන් එක නොවෙයි, මෙය සාකච්ඡාවට පදනම් වන පත්‍රිකාවයි. සංශෝධනය කරන්න අවශ්‍ය නම් එය කළ හැකියි. එසේම වෙන වෙනම කණ්ඩායම් සමග මේ වැඩකටයුතු කරන්න පුළුවනි යයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.























