ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි
ලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ
ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා
ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබා දීමේ වැඩසටහනේ පළමු වැඩසටහන අද (19) දිනය පුරා රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
නොමිලේ ඇස් පරීක්ෂා කර කාච ලබා දීමද මෙහිදී සිදු කෙරුණු අතර පෞද්ගලික අංශයේද දායකත්වය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මේ අනුව ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග ලෙස ලැබී ඇති ඇස් කණ්ණාඩි රාමු පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ අඩු ආදාම්ලාභී පුරවැසියන් වෙත නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේ රටේ සියලු දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අපේක්ෂාව බවත්, ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්ය.
මේ වන විට ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ රටේ සියලු දරුවන්ට සහ එහි ප්‍රතිලාභ හිමි විය යුතු පිරිස් වෙතම හිමි වන බව පෙන්වා දුන් රෝෂන් ගමගේ මහතා යහපත් කළමනාකාරීත්වය නිසා ජනාධිපති අරමුදල පසුගිය වසර දෙක ඇතුළත 50%කින් ශක්තිමත් වී තිබෙන බවද පෙන්වා දුන්නේය.
විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය ලබා දුන් සියලුදෙනා වෙත ස්තූතිය පළ කිරීමටද රෝෂන් ගමගේ මහතා මෙහිදී කටයුතු කළේය.
රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (ශිෂ්‍ය සේවා) ඩී.එම්. ජයකොඩි මහත්මිය
සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2026-09-19
























