Thursday, November 5, 2026
HomeNEWSබදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය


ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන් මහතා

ජාතික ජන බලවේගයේ (NPP) “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ දූෂණය අවම කිරීමට සියලුම රාජ්‍ය ආයතන ඔන්ලයින් ජාලගත කරමින් “ඩිජිටල් රාජ්‍යයක්” නිර්මාණය කිරීමයි. එහෙත්, මේ වන විට සිදුවෙමින් ඇත්තේ කුමක්ද? ඩිජිටල් රාජ්‍ය පාලනයක් වෙනුවට මහා භාණ්ඩාගාරය දැන් උත්සාහ කරන්නේ වසර 25ක් පරණ තොරතුරු පද්ධතියකට, එනම් ‘ගල් යුගයට’ ආපසු යාමටය.

නව රජය බලයට පත්වීමෙන් පසු ගත වූ වසර දෙක තුළ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ නමින් ජනතාව මත බදු බර වැඩි කළ සංශෝධන 12ක් ක්‍රියාත්මක කර තිබෙනවා. සුරාබදු, මත්පැන්, සිගරට්, දුම්කොළ, පැණිරස බීම සහ මෝටර් රථ ආදී සෑම ක්ෂේත්‍රයක්ම ස්පර්ශ කර ඇති මේ බදු නිසා උද්ධමනය ඉහළ යාම, මුදල් හුවමාරුව සීමා වීම සහ දරිද්‍රතාව ඉහළ යාම සිදුව ඇත.

විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සාපේක්ෂව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මේ බදු සංශෝධන මගින් එල්ල වී ඇති පීඩනය අතිමහත්ය. ආහාර සපයා ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය සහ මාර්ගගත ව්‍යාපාර ආදී සියලු ක්ෂේත්‍රවලට මෙහි අහිතකර බලපෑම එල්ල වී තිබේ.


ආණ්ඩුව බලයට පත්වී ගත වූ මේ වසර දෙක තුළ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් විය. ‘අස්වැසුම’ එකම මාසයේ දෙවරක් ගෙවීම් සිදුවිය. මාර්ග සංවර්ධන අධිකාරියේ ද දෙවරක් ගෙවීම් සිදුවිය. තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් 625,000 ක් (රුපියල් මිලියන 200ක්) අතුරුදන් වී මාස 6ක් ගත වී ඇතත්, කිසිදු මුදලක් පියවා ගැනීමට ආණ්ඩුවට මේ වනතෙක් හැකියාව ලැබී නැත. මේ සියල්ලට මූලික හේතුව වී ඇත්තේ විද්‍යුත් තැපැල් පද්ධතිය සහ ඩිජිටල් යටිතල පහසුකම් යාවත්කාලීන වී නොතිබීමයි.

මෙහි කූටප්‍රාප්තිය වන්නේ, රජයේ මූල්‍ය විනය පවත්වා ගැනීමට ඇති වැදගත්ම ඩිජිටල් යටිතල පහසුකම වන ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS) වසා දැමීමට භාණ්ඩාගාරය සූදානම් වීමයි. 2010 වසරේ ආරම්භ කරන ලද මේ ස්වයංක්‍රීය පද්ධතිය සඳහා රුපියල් බිලියන 15කට ආසන්න මුදලක් (බහුතරයක් ඩොලර්වලින්) වැය කර ඇත.

මේ පද්ධතිය වසා දමා, 1993 සිට පවතින ඕෆ්-ලයින් (Offline) ක්‍රමයක් වන පරිගණකගත ඒකාබද්ධ රජයේ ගිණුම්කරණ පද්ධතියට (CIGAS) නැවත හැරීමට භාණ්ඩාගාරය උත්සාහ දරමින් සිටී. මෙය ඩිජිටල් යුගයෙන් ගල් යුගයට යෑමක් ලෙස හැඳින්විය හැකියි. අද වන විට භාණ්ඩාගාරය යනු පාලනයක් නැති උමං කටක් බවට පත්ව තිබේ. සල්ලි එන වේගයට වඩා වැඩි වේගයකින් මුදල් වාෂ්ප වී යයි.


රටේ සමස්ත ආර්ථිකය ඉතාමත් පසුබෑම් සහගත තත්ත්වයකට පත්ව ඇත. ජනවාරි – සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ දත්ත දෙස බැලීමේදී මේ බව මනාව පැහැදිලි වේ:

සමස්ත අපනයන ආදායම: ඩොලර් බිලියන 10.21 සිට 10.75 දක්වා වර්ධනය වී ඇත්තේ 5.3%ක මන්දගාමී අගයකිනි. සමස්ත ආනයන වියදම ඩොලර් බිලියන 15.39 සිට 18.67 දක්වා 21.3%ක වේගවත් ඉහළ යාමක් පෙන්නුම් කරයි. සමුච්චිත වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 5.2 සිට 7.9 දක්වා පුළුල් වී ඇති අතර, හිඟය ඩොලර් බිලියන 2.7කින් වැඩි වී ඇත.

එපමණක් නොව, 2025 අගෝස්තු – සැප්තැම්බර් කාලය වන විට රුපියල් බිලියන 1,205ක ධනාත්මක මට්ටමක පැවති භාණ්ඩාගාර මුදල් ශේෂය, 2026 සැප්තැම්බර් 30 වන විට රුපියල් මිලියන 420ක සෘණ අගයක් දක්වා පහළ වැටී ඇත. විදේශ සංචිත තත්ත්වය ද ආණ්ඩුව බලයට පත්වන විට තිබූ ඩොලර් බිලියන 6.2 සිට වසරක කාලය තුළ ඉහළ ගොස් ඇත්තේ ඩොලර් මිලියන 400කින් පමණි.


මේ අර්බුධකාරී පසුබිම තුළ, ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමයෙන් 23ක් පමණ සපයා ගන්නා යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ද අවදානමට ලක්ව තිබේ. 2027 අවසාන වන විට මේ සහනය අහිමි වන අතර, අලුතෙන් ලබාගැනීමට ලබන පෙබරවාරි මාසයේදී අයදුම් කළ යුතුය. ආර්ථික නිර්ණායක අතින් ලංකාව ‘අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටක්’ ලෙස සුදුසුකම් ලැබුවද, ජාත්‍යන්තර සම්මුතීන් බලාත්මක කිරීමේ අභියෝගය ප්‍රධාන බාධාවක්ව තිබේ.

නව GSP+ රාමුව යටතේ සම්මුතීන් 32ක් සපුරාලීම අනිවාර්යය කර තිබේ. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනවා වෙනුවට, ඊටත් වඩා බලවත් විධිවිධාන සහිත නව පනතක් ගෙන ඒම හේතුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA), ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම සියලුම දේශපාලන පක්ෂ දැඩි විරෝධය පළ කරමින් සිටී. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ඒකාබද්ධ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදය ද මේ හරහා GSP+ සහනය අහිමි වීමේ අනතුර ගැන අනතුරු අඟවා ඇත.

මේ පනත් සම්මත කර ගැනීමෙන් රටට දරාගත නොහැකි ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදු වනු ඇත. ඩිජිටල් රාජ්‍යයක් තැනීමට පැමිණි පාලකයන් අද භාණ්ඩාගාරය ගල් යුගයට ගෙන යමින් රටේ ආර්ථිකය අගාධයට ඇද දමමින් සිටින්නේ මේ අයුරිනි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය මණ්ඩල සභාපති නීතිඥ පියල් දර්ශන ගුරුගේ මහතා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 26ක් ගොනු වී තිබෙනවා. ආණ්ඩුව බලයට එද්දී දුන්න පොරොන්දුව හොරු අල්ලන එක වුණාට, හොරු අල්ලන්න හෝ දූෂිතයන්ට දඬුවම් දෙන්න මෙවැනි පනතක් අවශ්‍ය වෙන්නේ නැහැ.

මේ පනතේ උපලේඛන දෙස බැලූ විට පෙනී යන්නේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත, සුරාබදු පනත, සූදු නියාමන පනත වැනි සිවිල් සහ සාමාන්‍ය වැරදි පවා මේ පනතට ඇතුළත් කර ඇති බවයි. ඒ අනුව ගොවිතැන් කරන ගොවියෙකුගේ හරකෙකු රක්ෂිතයකට පැන්නහොත් හෝ, අවුරුදු කාලයට විනෝදයට බූරුවා ගැහැව්වත් පොලිසියට පුළුවන් මේ පනත යටතේ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න.

එසේම මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පැය 72ක් පොලිස් භාරයේ තබා ගැනීමටත්, ඉන්පසු මාස දෙකෙන් දෙක, අවුරුද්දක් දක්වා රඳවා තබා ගැනීමටත් මින් ප්‍රතිපාදන සලසා තිබෙනවා. මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළත් ඇප දීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නැති අතර, රක්ෂිත බන්ධනාගාරගත කිරීම හැර වෙනත් යමක් කිරීමට අධිකරණයට ඉඩක් තබා නැහැ. ඇප ලබා ගැනීමට නම් මහාධිකරණයට යා යුතුයි.

මේ පනත යටතේ විභාග වන නඩුවක් අධිකරණයේ අවසරයකින් තොරව වාර්තා කළහොත් මාධ්‍යවේදීන්ට වසර දෙකක සිරදඬුවම් ලැබිය හැකියි. එපමණක් නොව, පුද්ගලයන්ගේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩ විලාසිතා, භාෂා විලාසය හෝ හස්ත මුද්‍රා පදනම් කරගෙන ‘සංවිධානාත්මක අපරාධකරුවන්’ ලෙස හඳුනා ගැනීමේ බලය පොලිස් නිලධාරියා සතු කර තිබෙනවා.

තවද, බුද්ධිමය දේපළ පනත, ප්‍රකාශන හිමිකම් සහ වෙළඳ ලකුණු (Trade Marks) වැනි සිවිල් වැරදි පවා අපරාධමය වැරදි බවට පත් කරමින් පොලිසියට අසීමිත බලතල ලබා දී තිබෙනවා. ඊට අමතරව, අධිකරණ නියෝගයකින් තොරව ඕනෑම අයෙකුගේ පෞද්ගලික දුරකථන දත්ත, පණිවිඩ සහ ඡායාරූප ලබා ගැනීමට පවා මේ පනත මගින් පොලිසියට බලය හිමි වෙනවා.

රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම යන වගන්තිය යටතේ වෘත්තීය සමිති නායකයින්, උද්ඝෝෂකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෝ සෞඛ්‍ය සේවකයින් පාරට බැස්සහොත් ඔවුන් සියලු දෙනාම මේ පනතින් අත්අඩංගුවට ගෙන සිරගත කළ හැකියි. රටේ දැනට පවතින බන්ධනාගාර පිරී ඉතිරී ගොස් ඇති බැවින්, මේ පනත සම්මත වුවහොත් ගෝල්ෆේස් පිටිය වැනි ලොකු පිට්ටනි තාවකාලික සිරමැදිරි බවට පත් කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත.

මෙය ඇත්ත වශයෙන්ම අපරාධ වැළැක්වීමේ පනතක් නොව ආණ්ඩුවේ ඒකාධිපති ගමනට එරෙහි වන සියලු දෙනා සිරගත කිරීමට ගෙන ආ දුෂ්ඨ පනතක් බැවින් මෙය වහාම හකුළා ගත යුතු බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක තීක්ෂණ ගම්මන්පිල මහතා

අද බොහෝම තීරණාත්මක අවස්ථාවකට ලංකාව මුහුණදෙමින් සිටිනවා. මේ අණපනත් ගැන දිහා බලපුවාම මට එක දෙයක් සිහියට එනවා. මගේ අදහස තමා, වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේ දේශපාලනය කියන්නේ කුමක්ද කියා හරියට තේරුම් නොගෙනයි.

දේශපාලනය කියන්නේ කුමක්ද? ඕනම රටක වෙන්න පුළුවන්, ඕනම තැනක වෙන්න පුළුවන්, දේශපාලනය කියන්නේ විවිධ මතවාද තිබෙන, හැල හැප්පීම් තිබෙන දෙයක්. මේ මතවාද තර්ක කර, දිනමින්, පරාජය වෙමින් තමයි දේශපාලනය ඉස්සරහට යන්නේ. නැතිනම් එක කණ්ඩායමකට ඕන මතවාද දිනවන්න විතරක්, එක පක්ෂයකට ඕන විදිහට රට ගෙනියන්න විතරක් දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ.

මේ මර්ධනයට තමයි වර්තමාන ආණ්ඩුව අණපනත් ගෙනල්ලා සූදානම් වන්නේ. ඒ නිසා බොහෝම වගකීමෙන් මම කියනවා මේ දේවල් රටේ ජනතාව තේරුම් ගත යුතුයි කියලා.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වූයේ පන්ති හෝ සමාජ කණ්ඩායම් අතර වෛරය සහ වෛරී ආකල්ප ව්‍යාප්ත කිරීම තුළින්ය. විවිධ තරාතිරම්වල මිනිසුන් එකිනෙකා කෙරෙහි වෛරයෙන් බලන තත්ත්වයක් නිර්මාණය කරමින් ලබාගන්නා දේශපාලන බලය, කාලයත් සමග නැවත කැරකී අවාසිදායක ලෙස බලපාන බව ඉතිහාසය අපට මතක් කර දෙනවා. මහජනතාව යම් වෙනසක් උදෙසා ඡන්දය ලබා දුන්නද, එම බලය රඳවා ගැනීමට නම් වෛරී මෙහෙයුම්වලින් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් පැවතිය යුතුය. නමුත් වර්තමාන ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙලක් නොමැති බව මනාව පැහැදිලියි.

වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු පාලකයන් තමන්ට පැවරී ඇති විධායක බලයේ සහ වගකීමේ ප්‍රමාණය නිසි ලෙස තේරුම් ගත යුතුව තිබෙනවා. මේ නිසාම මා රටේ ජනාධිපතිතුමා වෙනුවෙන් සේවය සඳහා අලුත් සේවකයෙකු බඳවා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම ඔහු ජනාධිපතිතුමා වෙනුවෙන් කළ යුතු වන්නේ සෑම දිනකම උදෑසන ඔබ තමා මේ රටේ ජනාධිපති බව ජනාධිපතිවරයාට සිහිපත් කිරීමය. මොකද අද රටේ ජනාධිපතිවරයාට තමා රටේ ජනාධිපති බව අමතක වී තිබෙනවා.

රටේ ජීවන වියදම පහත හෙළීම, බදු බර අඩු කිරීම සහ ජනතාවගේ දෛනික ආර්ථික ප්‍රශ්නවලට සහන සැලසීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධාන වගකීමයි. රට පාලනය කිරීමේදී කෙටිකාලීන සහ ක්ෂණික විසඳුම්වලට වඩා පුළුල් දැක්මකින් යුතුව සමස්ත ජාතියේම යහපත උදෙසා ක්‍රියාකිරීම පාලකයන්ගේ ප්‍රමුඛතම කාර්යභාරය විය යුතුය.

පසුගිය කාලයේ රට තුළ ඇති වූ මහජන අරගල සහ විරෝධතාවලදී ජනතාව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් හඬ නැගූහ. පවතින පාලනයන් විවේචනය කරමින් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීමටත්, ඉන්පසුව සාමකාමීව ජීවත් වීමටත් හැකි පරිසරයක් රටේ නීති පද්ධතිය තුළ පැවතිය යුතුය. යම් හෙයකින් අලුතින් ගෙන එන අණපනත් මගින් මහජනතාවට තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට ඇති අවකාශය ඇහිරී යන්නේ නම්, එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තදබල පහරකි.

නව අණපනත් සහ නීති රෙගුලාසි හරහා පොලිසියට සහ ආරක්ෂක අංශවලට අත්තනෝමතික ලෙස නීතිය නිර්වචනය කිරීමට බලය ලැබෙන්නේ නම්, එයින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙනවා. කිසිදු පදනමක් හෝ සාක්ෂියක් නොමැතිව පුරවැසියන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම වැනි ක්‍රියාමාර්ග තුළින් රටක් පාලනය කරන්න බැහැ. බලය රැකගැනීමට නීතිමය මර්දනයන් භාවිත කිරීම අවසානයේදී ආණ්ඩුව තවදුරටත් අප්‍රසාදයට පත් කිරීමට හේතුවක් වනවා.

පාර්ලිමේන්තුවේ පවතින තුනෙන් දෙකක හෝ විශාල බහුතර බලය මත පමණක් පිහිටා, සමාජ ගැටලු පිළිබඳ පුළුල් අවබෝධයකින් තොරව පනත් සම්මත කරගැනීම ඉතා අවදානම් සහගතයි. පක්ෂ විනයට යටත්ව, ගැඹුරු අධ්‍යයනයකින් තොරව අත එසවීම මගින් සම්මත වන නීතිවල විපාක සමස්ත ජනතාවටම විඳීමට සිදුවෙනවා. ආණ්ඩුවට හිතවත් පාර්ශ්වයන්ටද මේ මර්දනකාරී නීති අනාගතයේදී පාරාවළල්ලක් වී කැරකී පැමිණෙන බව සියලු දෙනා වටහා ගත යුතුය.

මර්දනකාරී නීති පද්ධතීන් පැනවීම සහ ජනතා අයිතීන් කප්පාදු කිරීම මගින් ජාත්‍යන්තරය තුළ රට ගැන ඇති ප්‍රතිරූපය දැඩි ලෙස හානිවීමට පුළුවන. මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින ලෙස ජාත්‍යන්තර සංවිධාන සහ විදේශීය රටවල් බලපෑම් කරන අතර, එමගින් රටට ලැබීමට ඇති ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සහයෝගයන් පවා අහිමි වී යාමේ අවදානමක් මතු වෙනවා. ආණ්ඩුවක් ලෙස කුඩා පටු රාමුවලින් මිදී ගෝලීය මට්ටමින් සිතා කටයුතු කිරීම අත්‍යවශ්‍යයයි.

විපක්ෂය විසින් කරනු ලබන කරුණු පෙන්වා දීම් සහ විවේචන හුදෙක් දේශපාලන චෝදනා ලෙස බැහැර කිරීම ප්‍රඥාගෝචර නොවේ. ආණ්ඩුව විපක්ෂයට ඇඟිල්ල දිගු කිරීමට පෙර, තමන් සිදුකළ අක්‍රමිකතා, පාරදෘශ්‍යභාවයෙන් තොර ගනුදෙනු සහ අසාර්ථක තීරණ දෙස පසුපස හැරී බැලිය යුතුය. විපක්ෂයේ හඬට සහ මහජනතාවගේ විවේචනවලට සවන් දීමෙන් පමණක් පාලනය නිවැරදි මගකට යොමු කරගත හැකිය.

ජනතාවට අවශ්‍ය වන්නේ තමන්ව එළිමහන් සිරකඳවුරකට ගාල් කරනු ලබන පාලන ක්‍රමයක් නොවේ. රටේ ජනතාව බලපොරොත්තු වන්නේ නිදහසේ සහ සතුටින් ජීවත් විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක්ය. පාලකයන් තමන්ගේ බලය සුරක්ෂිත කරගැනීම සඳහා නීති පද්ධතිය මෙවලමක් ලෙස පාවිච්චි කිරීමට උත්සාහ කරන්නේ නම්, ඊට එරෙහිව ජනතාමාර්ගයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නැගී සිටීම විපක්ෂයේ මෙන්ම පුරවැසියන්ගේද වගකීමකි. රට අරාජිකත්වයට නොයවා ඉදිරියට ගෙන යා හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීමෙන් පමණි.

2026 නොවැම්බර් 05

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

යුරෝපා ගුවන් ගමන් 08ක් බෝම්බ තර්ජනවලට ලක්ව හදිසියේ ගොඩ බායි

කෝපන්හේගන්, මැඩ්රිඩ්, මිලාන් ඇතුළු ස්ථානවලින් පිටත් වූ යුරෝපා ගුවන් ගමන් 08 ක් අද (05) බෝම්බ තර්ජනවලට ලක්ව ඇති අතර, හදිසි ගොඩබෑම් කළත් මෙතෙක් අනතුරුදායක...

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියට සමුදීමට යයි

නොවැම්බර් 17 න් අවසන් වන තරග විරාමයෙන් පසු, ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව, පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිවේදනය කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img