රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද?
මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ, මෙරට මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයාට රටේ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් නොමැතිව මෙම අයවැය ඉදිරිපත් කර ඇති බවය.
මුදල් ඇමතිවරයා මෙවර අයවැය කතාව මගින් යෝජනා කරන්නේ ඇතිකොට ගෙන තිබෙන ආර්ථික ස්ථාවරත්වය 2027 දී ආර්ථික පරිවර්තනයක් දක්වා මෙහෙයවීමට අපේක්ෂා කරන බවයි.
එසේ සදහන් කරමින්ම මුදල් ඇමති වරයා කියන්නේ 2026 ඔක්තොම්බර් මස වන විට රටේ උද්දමනය 8.2% වන බවය.
දිනන දකුන සාමුහිකය විසින් මෙවර අය-වැය පිලිබද අපගේ පහත සදහන් ස්ථාවරයන් මගින් උත්සාහ දරන්නේ මුදල් ඇමතිවරයා සදහන් කරනු ලබන ආර්ථික පරිවර්තනය පිලිබද රජයේ අපේක්ෂාව හා ඉහල උද්දමනය අතර පවතින සැබෑ විසංවාදය රටට හෙලිකිරීමටය.
අප සාමූහිකයේ අදහස අනුව, වර්තමාන ආණ්ඩුව මෙවරත් උත්සාහ දරා ඇත්තේ පසුගිය වසර දෙක තුළ අන්ධානුකරණයෙන් අනුගමනය කරනු ලැබූ, රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය යථා තත්ත්වයට පත් කිරීම පදනම් කරගත් සාර්ව ආර්ථික කළමනාකරණ ප්රතිපත්තියම ඉදිරියට ගෙන යාමටය.
අප සාමූහිකය අවධාරණය කරන්නේ මෙවර අයවැය මගින් ද ජනතාවගේ කුටුම්භ ආර්ථිකය මුළුමනින්ම පාහේ අමතක කර දමා ඇති බවය.
අප සාමූහිකයේ අදහස අනුව, මුදල් අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇත්තේ ආර්ථික දත්ත හා සංඛ්‍යාලේඛන මිස ලාංකික පුරවැසියාගේ යහපැවැත්ම නොවේ.
අප කියා සිටින්නේ මෙවර අයවැය මගින් ලාංකික පුරවැසියාගේ යහපැවැත්ම පියවර කිහිපයක් ඔස්සේ වර්තමාන රජය විසින් අත්හැර දමා ඇති බවය.
පළමුව, රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අන්ධානුකරණයෙන් කටයුතු කිරීම හේතුවෙන්, ජනතාවගේ ගෘහස්ථ අයවැය මත පදනම් වූ කුටුම්භ ආර්ථිකය මුළුමනින්ම පාහේ බිඳවැටීමට මෙවර අයවැය මගින් ඉඩ සලසා තිබේ.
ආණ්ඩුව සිතන බව පෙනෙන්නට ඇත්තේ රටේ ජනගහනයෙන් සියයට 10ක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ විට, එය සමස්ත රටටම ලබා දෙන සහනාධාරයක් ලෙස පෙන්වා දිය හැකි බවය.
නමුත් රටේ ජනගහනයෙන් සියයට 80කට ආසන්න පිරිසක් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලට පිළියමක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාට කිසිදු පැහැදිලි අදහසක් හෝ වැඩපිළිවෙළක් නොමැති බව මෙවර අයවැයෙන්ම පෙන්නුම් කරයි.
ආණ්ඩුව සාර්ව ආර්ථික ගිණුම් පොත්වල රාජ්‍ය මූල්‍ය බංකොලොත්භාවය සහ විදේශ විනිමය අර්බුදය සමනය වී ඇති බවට පුරසාරම් දෙඩුවද, ඒ සඳහා සමස්ත වන්දිය ගෙවා ඇත්තේ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය බිඳ දැමීමෙනි.
බදු ආදායම යනු ධනය උත්පාදනය කරන පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් සාධාරණ ලෙස එකතු කරගත යුතු ආදායමකි. නමුත් රජය මෙවර අයවැය මගින් බදු එකතු කරගැනීමට වැඩි වශයෙන් යොමු වී ඇත්තේ ධනය උත්පාදනය කරන්නන්ගෙන් නොව පාරිභෝගිකයන්ගෙනි.
එසේම, ධනය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සහිත පරිසරයක් ගොඩනැගීමටත්, ඒ සඳහා නිසි ආයෝජනයක් සිදු කිරීමටත් මෙවර අයවැය තුළින් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව පෙනෙන්නට තිබේ.
රජය උදම් අනන්නේ රුපියල් ට්‍රිලියන දෙකක ප්‍රාග්ධන ආයෝජනයක් රටට ලබා දෙන බව පවසමිනි. නමුත් සැබෑ තත්ත්වය වන්නේ එම මුදලින් බහුතර ප්‍රතිශතයක් මහාමාර්ග ඉදිකිරීම සඳහා වෙන් කර තිබීමය. අප කියා සිටින්නේ එවැනි ආයෝජන මගින් සාමාන්‍ය ජනතාව වෙත ධනය කාන්දු වීමේ හැකියාව සීමිත බවය.
ආණ්ඩුව තමන් ප්රගතිශීලී ආණ්ඩුවක් බව පවසයි. නමුත් ධනය උත්පාදනය කරන්නන්ගෙන් අය කරගනු ලබන්නේ සමස්ත බදු ආදායමෙන් සියයට 20ක් පමණක් බව පෙනෙන්නට තිබේ.
ඒ අනුව, රටේ බහුතර ජනතාවගේ ජීවන තත්ත්වය බිඳ දැමීමට අමතරව, ඉහළ ආදායම් ලබන ජන කණ්ඩායම් වෙතින් ප්‍රමාණවත් ධන බද්දක් අය කරගැනීමට කටයුතු නොකිරීම තුළින් මෙරට ආදායම් විෂමතාව අඩු කිරීමට ද ආණ්ඩුව අසමත් වී ඇති බව අපි කියා සිටිමු.
රටේ සීමිත ඉහළ ආදායම් ලබන පිරිස වෙනුවට සාමාන්‍ය ජනතාව මත වක්‍ර බදු පැටවීමට කටයුතු කරමින්, භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇති බවට මාලිමා ආණ්ඩුව උදම් අනයි.
නමුත් අප සාමූහිකය පවසන්නේ මෙසේ පිරී ඉතිරී යන්නේ රටේ සැබෑ ධනය නොව සාමාන්‍ය ජනතාවගේ දුක සහ සුසුම් බවය.
දෙවනුව, මාලිමා ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරමින් බදු ආදායම සපයා ගන්නේ රජය විසින් සපයනු ලබන ඉන්ධන, විදුලිය හා ජලය වැනි මහජන උපයෝගිතා සේවාවන් සඳහා අධික මිලක් අය කිරීම තුළිනි.
එම නිසා අප කියා සිටින්නේ රජයේ පිරිවැය පාරිභෝගිකයා මත පටවන මිලකරණ ප්‍රතිපත්තිය මාලිමා ආණ්ඩුවේ දෘෂ්ටිමය දරිද්රතාවේම පිළිබිඹුවක් බවය.
රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කර, එම ආයතනවල පාඩු අවම කරමින් රාජ්‍ය පිරිවැය අඩු කරගැනීමට කටයුතු කරනවා වෙනුවට, එම ආයතනවල පාඩු පියවා ගැනීම සඳහා විදුලිය, ඛනිජ තෙල් හා ජලය වැනි උපයෝගිතා සේවාවන් වෙනුවෙන් ජනතාවට දැරිය නොහැකි පිරිවැයක් නියම කර තිබේ.
ඒ අනුව, උපයෝගිතා බිල්පත්වල පිරිවැය ඉහළ ගොස් ඇත්තේ අදාළ භාණ්ඩ හා සේවාවල සැබෑ පිරිවැය පමණක් එම මිල ගණන් තුළ පිළිබිඹු වන නිසා නොවේ. එය මාලිමා ආණ්ඩුවේ අදූරදර්ශී රාජ්‍ය පාලන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බව අපි කියා සිටිමු.
මෙම අදූරදර්ශී ප්‍රතිපත්තිය පිටුපස ඇති තවත් අපේක්ෂාවක් වන්නේ, අදාළ භාණ්ඩ හා සේවාවල සැපයුම් ඵලදායිතාව ඉහළ නැංවීම වෙනුවට ඒවා සඳහා ඇති ඉල්ලුම මර්දනය කිරීමෙන් ගැටලුව විසඳිය හැකි යැයි සිතීමයි.
නමුත් එමගින් අවසානයේ සිදුවන්නේ ජනතාවගේ ධනය උත්පාදනය කිරීමේ හැකියාව තවදුරටත් පහළ වැටීම බව වර්තමාන රජය අමතක කර තිබේ.
ජනතාවගේ සහ ව්‍යාපාරවල ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව හිතාමතාම දුර්වල කිරීමෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සීමා කිරීමට කටයුතු කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ, විශේෂයෙන්ම රටේ දේශීය නිෂ්පාදනය පහළ වැටීමය. එය අපගේ නිරීක්ෂණයයි.
රජයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය හරහා රුපියල ස්ථාවර කර ගැනීමටත්, උද්ධමන අනුපාතය තනි ඉලක්කමක මට්ටමක පවත්වා ගැනීමටත් මේ වන විට හැකියාව ලැබී ඇත්තේ ජනතාව අන්ත අසරණභාවයට පත් කිරීමෙනි.
රටේ ආනයන වියදම අඩු වී ඇත්තේ දේශීයව භාණ්ඩ නිෂ්පාදනය ඉහළ ගොස් ඇති නිසා නොවේ. ජනතාවට ඉන්ධන, කිරිපිටි හෝ වාහන අමතර කොටස් මිලදී ගැනීමට තරම් මුදලක් තමන් සතුව නොතිබූ නිසාය.
එම නිසා අප සාමූහිකය කියා සිටින්නේ මෙවර අයවැය මගින් සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියාගේ සමස්ත ආදායම මූලික ජීව විද්‍යාත්මක පැවැත්ම සඳහා පමණක් වැය කිරීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය කරමින්, තම ජීවිතය සහ ජීවිකාව පිළිබඳව තීරණ ගැනීමට ඇති නිදහස ඛේදනීය ලෙස සීමා කර ඇති බවය.
මේ වන විට අඩු සහ මධ්‍යම ආදායම් ලබන පවුල් තමන් උපයන මුදලින් සියයට 90ත් 100ත් අතර ප්‍රමාණයක් මූලික ජීවන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැය කරන තත්ත්වයක් තුළ, සියයට 18ක වැට් බද්ද මගින් සිදු වන්නේ ඔවුන්ගේ ආහාර පිඟානෙන්ම කොටසක් කපා ගැනීමකි.
එම නිසා වැට් බද්දේ ප්‍රතිශතය යම් ප්‍රමාණයකින් අඩු කිරීම හෝ ඇතැම් භාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කිරීම පමණක් රටේ ජනතාව මුහුණ දෙන දැවැන්ත ආර්ථික පීඩනයට විසඳුමක් නොවන බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කර සිටී.
මෙවර අයවැය පිටුපස ඇති ආර්ථික චින්තනය දෙස බැලීමේදී පෙනී යන්නේ, මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දීම සඳහා ආර්ථික විද්‍යාව තුළ පවතින ප්‍රධාන මාර්ග දෙකෙන් වඩාත් නිශේධනාත්මක මාර්ගය රජය විසින් තෝරාගෙන ඇති බවය. එනම්, ඉල්ලුම විනාශ කිරීමේ (Demand Destruction) මාර්ගයයි.
නමුත් දිනන දකුණ සාමූහිකය රටට අවධාරණය කරන්නේ අප තෝරාගත යුතු මාර්ගය සැපයුම් පාර්ශ්වය පුළුල් කිරීම බවය.
එනම්, දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම, සැපයුම් දාම කාර්යක්ෂම කිරීම, නිෂ්පාදන වියදම් අඩු කිරීම සහ අපනයන ධාරිතාව වැඩි කිරීම මගින් ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව පුළුල් කිරීමයි.
අවාසනාවකට, මෙවර අයවැය තුළින් එවැනි සැපයුම් පාර්ශ්වය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකට ප්‍රමාණවත් බරක් තබා නොමැති බව අපගේ අවධාරණයයි.
අප විශ්වාස කරන්නේ රාජ්‍යයේ මූල්‍ය ස්ථාවරත්වය අත්‍යවශ්‍ය බවය. නමුත් එම ස්ථාවරත්වය ගොඩනැගිය යුත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය විනාශ කිරීමෙන් නොවේ. ධනය උත්පාදනය කරන, රැකියා බිහි කරන, ආයෝජන දිරිගන්වන සහ පුරවැසියාගේ ක්‍රය ශක්තිය ආරක්ෂා කරන ආර්ථිකයක් ගොඩනැගීම තුළිනි.
රාජ්‍යයේ ගිණුම් පොත් යථා තත්ත්වයට පත් කිරීම ආර්ථිකයේ අවසාන අරමුණ නොවේ. එහි සැබෑ අරමුණ විය යුත්තේ පුරවැසියාගේ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමය.






















