සතියක් ඇතුළත පැමිණි දෙවැනි ගංවතුරෙන්ද කොළඹ යටවීම වළක්වා ගැනීමට මාලිමාවෙන් පාලනය වන වර්තමාන කොළඹ මහ නගර සභාවට නොහැකි වූ බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
ඔහු පෙන්වා දෙන්නේ මෙතරම් වර්ෂාවක් පතිත වී තිබියදී සතියක් ඇතුළත කොළඹ නගරය දෙවරක් ගංවතුරට යටවූයේ කොළඹ මහ නගර සභාව නිසියාකාරව වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කාණු පද්ධතිය පිරිසිදු නොකිරීම හේතුවෙන් බවයි.
මිලිමීටර් 30කට අධික වර්ෂාපතනයක් කොළඹට දරාගත නොහැකි බව වර්තමාන පුරපතිනිය බල්තසාර් මහත්මිය ප්‍රකාශ කළ ද සත්‍යය එය නොවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් එය සංඛ්‍යා ලේඛන සහිතව පෙන්වා දී ඇති බවද යුනුස් මහතා සඳහන් කළේය.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මිලිමීටර් 400 කට වැඩි වර්ෂාපතනද කොළඹ නගරයට ඇදහැලුණු බවත් එහිදී මේ ආකාරයෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු නගරයේ බොහෝ ස්ථාන ගං වතුරට යට නොවූ බවත් ඒ කාලයේදී කාණු පද්ධතිය නිවැරදි ආකාරයෙන් පිරිසිදු කර ඇති නිසා ගං වතුරට කොළඹ නගරය යට නොවූ බවද ඒ මහතා විසින් පෙන්වා දෙන ලදී.
මාස හයෙන් කොළඹ නගරය නියමාකාරයෙන් සකස් කරන බවට පොරොන්දු වූ බවත් එවැනි බොරු පොරොන්දු ලබාදී බලයට පැමිණි අය තවදුරටත් බොරුවෙන්ම කොළඹ නගරය පාලනය කිරීමට උත්සාහ ගන්නා බව ජනතාව මේ වන විට හොඳින් තේරුම් ගෙන ඇති බවද යුනුස් මහතා ප්‍රකාශ කළේය.
අනුන්ගෙන් ඇඳුම් ඉල්ලාගෙන අඳින බවට බල්තසාර් මහත්මිය මැතිවරණයට පෙර ප්‍රකාශ කළ බවත් අනුන්ගෙන් ඇඳුම් ඉල්ලාගෙන ඇන්දාට කමක් නැති බවත් එසේ ඇඳගෙන හෝ කොළඹ නගරයේ කාණු පද්ධතිය නිවැරදි ආකාරයෙන් පිරිසිදු කිරීමට කටයුතු නොකිරීම ගැන ජනතාව තුළ ඇත්තේ දැඩි විරෝධයක් බවද යුනුස් මහතා කියා සිටියේය.
කොළඹ නගරය මෙසේ ගං වතුරට යටවීමෙන් ජනතාවට විශාල අලාභයක් සිදු වී ඇති බවත් එම අලාභය නිවැරදි ආකාරයෙන් ගණන් බලා කොළඹ මහ නගර සභාව විසින් ඒ අදාළ වන්දි මුදල් ජනතාවට ලබා දිය යුතු බවත් ගංවතුරට හසුවු ජනතාව සහ ව්‍යාපාරිකයින් යම්කිසි සාධාරණ වන්දියක් කොළඹ මහ නගර සභාවෙන් බලාපොරොත්තුවෙන් සිටින බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ෂිරාස් යුනුස් මහතා සඳහන් කළේය.






















