Sunday, November 22, 2026
HomeNEWSබංකොලොත් වී තිබුණු රට කෙටි කාලයක් තුළ ස්ථාවරත්වයකට ගෙනාවා- ඇමති විජිත

බංකොලොත් වී තිබුණු රට කෙටි කාලයක් තුළ ස්ථාවරත්වයකට ගෙනාවා- ඇමති විජිත

“2048 වෙනකම් හදන්න බෑ කිව්ව රට අපි භාරගෙන කෙටි කාලයක් තුළ පරිවර්තනීය වෙනසක් කරමින් ඉස්සරහට යනවා”- අමාත්‍ය විජිත හේරත්

බංකොලොත්භාවයට පත්ව තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කාලයක් තුළ ස්ථාවරත්වයට පත් කරමින්, ක්‍රමානුකූලව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා නව රජය පියවර රැසක් ගෙන ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

හිටපු පාලනය යටතේ 2048 වන තෙක්වත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවට ප්‍රකාශ කර තිබූ පසුබිමක, 2024 වසර අවසානයේ රට භාරගත් නව රජය කෙටි කාලයක් තුළ ආර්ථිකයේ දිශානතිය වෙනස් කිරීමට සමත් වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2025 මාර්තු මාසයේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල පළමු අයවැය ඉදිරිපත් කරමින් ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනැගීම ආරම්භ කළ බවත්, අඛණ්ඩව ඉදිරිපත් කළ අයවැය තුන තුළම එම ප්‍රතිපත්තිය සහ උපායමාර්ගය පවත්වාගෙන ගිය බවත් ඔහු සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ද්විපාර්ශ්වික ණය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) සම්බන්ධ ක්‍රියාවලීන් අද වන විට 95% ක් අවසන් කර ඇති බව සඳහන් කළ ඔහු 2024 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් නිදහස් වූ බව ලෝකය පිළිගත් බවද අවධාරණය කළේය. ඒ සමඟ ජාත්‍යන්තර විශ්වාසය යළි ගොඩනැගුණු අතර, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශවීය ආයතන සහ ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකාව, රුසියාව වැනි රටවල් වලින් සහනදායී ණය සහ ප්‍රදාන ලබාගැනීමට ද අවස්ථාව සැලසී තිබේ.

ආර්ථිකයේ සිදු වූ වෙනස පිළිබිඹු කරමින්, පාඩු ලබමින් පැවති රාජ්‍ය ආයතන 51ක 2025 වසරේ පළමු මාස අටේ ලාභය රුපියල් බිලියන 307ක් වූ අතර, 2026 වසරේ එම කාලය තුළ එය රුපියල් බිලියන 367 දක්වා ඉහළ නංවා ගැනීමට රජය සමත් වී ඇත. එමෙන්ම, 2025 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදු ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 3,275 ඉක්මවා රුපියල් බිලියන 4,252ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවද ඔහු පෙන්වා දුන්නේය. රාජ්‍ය මූල්‍ය විනය, විනිවිදභාවය, පරිපාලන හා කළමනාකරණ වෙනස්කම් සහ නාස්තිකාර වියදම් අවම කිරීම මෙම ප්‍රගතියට හේතු වී තිබේ.

රාජ්‍ය ආදායම ශක්තිමත් කරන අතරම ජනතාවට සහන සැලසීමද රජයේ ආර්ථික වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, සංචාරක සංවර්ධන බද්ද (TDL) මුළුමනින්ම ඉවත් කිරීම මඟින් සංචාරක ක්ෂේත්‍රයේ ද්විත්ව බදු බර ඉවත් කර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව අවස්ථා විවෘත කර ඇති බව සඳහන් කළේය. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ 2025 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1ක වාර්තාගත මට්ටමකට ළඟා වූ අතර, 2026 වසරේදී එය ඩොලර් බිලියන 9කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීම, ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය වැඩි කිරීම, ගොවීන්ට හා ධීවරයන්ට ඉන්ධන සහනාධාර ලබාදීම, විදේශගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට සහන පොලී නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම සහ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේදී කලත්‍රයාට හා දරුවන්ට අදාළ ගාස්තු නිදහස් කිරීමද රජය ගත් පියවර අතර වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. දේශපාලන අධිකාරියට හිමිව තිබූ වරප්‍රසාද අඩු කරමින් එම ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීම රජයේ අරමුණ බවද ඔහු පැවසීය.

බංකොලොත්භාවයෙන් මිදුණු රට වසර දෙකක් තුළ ලෝක බැංකුව විසින් මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පිළිගන්නා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවත්, ආදායම් බෙදීයාමේ විෂමතාව අවම කිරීම සඳහා අස්වැසුම ඇතුළු සහන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, යුරෝපා සංගමයේ GSP+ බදු සහනය 2028 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ගැනීම රටේ අපනයන ආර්ථිකයට වැදගත් ජයග්‍රහණයක් බව සඳහන් කළ ඔහු, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව නීතිමය ප්‍රතිසංස්කරණ ගෙන ඒමටද රජය කටයුතු කරන බව පැවසීය.

ආර්ථික ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ගලා යාම තහවුරු කරමින්, අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රට පුරා නව නිවාස 2,700ක් ඉදිකර විවෘත කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තවදුරටත් ණය මත යැපීම වෙනුවට රජයේම භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදාගෙන අධිවේගී මාර්ග ඉදිකිරීම ආරම්භ කර ඇති බවත්, රුවන්පුර, කුරුණෑගල–දඹුල්ල සහ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති ඉදිරියට ගෙන යන අතර කඩවත–මීරිගම මාර්ගයේ ඉදිකිරීම්ද යළි ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය. දේශීය ඉදිකිරීම් සමාගම් සහ කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ කරගැනීමෙන් එම සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ දේශීය ආර්ථිකයට සහ ග්‍රාමීය ජනතාවට ලබාදීම රජයේ අරමුණ බවද අවධාරණය කළේය.

අභ්‍යන්තර හා ජාත්‍යන්තර අභියෝග රැසක් මධ්‍යයේ වුවද, මූල්‍ය විනය සහ ස්ථාවර ප්‍රතිපත්ති මත පදනම්ව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත්, සාධනීය විවේචන පිළිගනිමින් මෙම පරිවර්තනීය ගමන සාර්ථක කර ගැනීමට රජය කැපවී සිටින බවත් අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා – විපක්ෂ නායක සජිත්

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි...

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img