ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම් සෙවීම මෙන්ම, 2027 වසරේදී මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයවන්නන්ගේ සංගමයේ (SLAITO) සහ ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ (THASL) විධායක නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්වූහ.
මෙහිදී සංචාරක කර්මාන්තයේ පවතින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව මෙන්ම, 2027 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා මෙම සංගම් දෙක විසින් යෝජනා කරන ලද උපායමාර්ගික වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් හුවමාරු විය.
එමෙන්ම, සංචාරක සංවර්ධන බද්ද (Tourism Development Levy – TDL) අහෝසි කිරීම, විදේශීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සංගම් දෙකෙහි නියෝජිතයෝ සිය ප්‍රසාදය පළ කළහ. විශේෂයෙන්ම, සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීම හරහා සංචාරක ක්ෂේත්‍රයට ලබාදීමට අපේක්ෂිත බදු සහනය සම්බන්ධයෙන් ද ඔවුහු සිය ස්තුතිය පළ කළහ.






















