“පලස්තීන ජනතාවට ජීවත් වීමට ඉඩ දෙන්න” සමාජවාදී තරුණ සංගමයෙන් සහයෝගිතා වැඩසටහනක්
නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජනතාව එක්විය යුතුයි – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර
නොවැම්බර් 29 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය නිමිත්තෙන් නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජනතාවගේ සහයෝගිතාව ලබාගැනීමේ අරමුණින් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද “Let Palestine Live – පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙන්න!” සහයෝගිතා වැඩසටහන අද (27) පැවැත්විණි. මරදාන සහිරා පල්ලිය අසල දී එම සහයෝගිතා වැඩසටහන පැවැත් විය.
මෙහිදී පලස්තීනයට සහයෝගයට දක්වමින් “සහයෝගිතා බැනරය” අත්සන් කිරීම ද සිදු විය.
මෙම වැඩසටහනට එක්වෙමින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා සඳහන් කළේ පලස්තීනය අද වන විට මිහිපිට අපායක් බවට පත්ව ඇති බවත්, පලස්තීන ජනතාව වෙනුවෙන් ලෝකය පුරා හඬ නැඟුණද එම හඬ යථාර්ථයක් බවට පත් කිරීමට තවමත් නොහැකි වී ඇති බවත්ය.
පලස්තීනයේ පවතින විනාශයේ බරපතළකම පෙන්වා දෙමින් ඔහු සඳහන් කළේ, 2026 නොවැම්බර් 15 වැනිදා වන විට පලස්තීන මධ්‍යම සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (PCBS) දත්ත අනුව පුද්ගලයන් 75,919ක් මියගොස් ඇති අතර 192,090ක් තුවාල ලබා ඇති බවයි. මියගිය පිරිස අතර ගාසා තීරයේ දරුවන් 18,592ක් සහ කාන්තාවන් 12,400ක් සිටින බවත්, මිලියන දෙකකට ආසන්න ජනතාවක් අවතැන් වී ඇති බවත්, තවත් 11,200ක් පමණ අතුරුදන් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම ගාසා තීරයේ නිවාස ඒකක 330,500කට හානි සිදුවී ඇති අතර ගොඩනැගිලි 102,067ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත්, පාසල් හා විශ්වවිද්‍යාල 143ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් 366කට හානි සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය. තවද මුස්ලිම් පල්ලි 828ක් සහ ක්‍රිස්තියානි පල්ලි 3ක් විනාශ වී ඇති බවද ඔහු අවධාරණය කළේය.
පලස්තීනයට සිදුව ඇති දැවැන්ත විනාශය හමුවේ නාමික සාම ගිවිසුම් පැවතිය ද සැබෑ සාමයක් සහ නිදහසක් පලස්තීන ජනතාවට හිමිව නොමැති බව පෙන්වා දුන් ඔහු, ලෝකයේ මනුෂ්‍යත්වය අගය කරන කිසිදු පුද්ගලයෙකුට පලස්තීන ජනතාවට එරෙහිව සිදුවන මෙම තත්ත්වය අනුමත කළ නොහැකි බවද අවධාරණය කළේය.
“පලස්තීන ජනතාවට ජීවත් වීමට ඉඩ දෙන්න. නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජනතාව එකතු විය යුතුයි. මෙය හුදකලා අරගලයක් පමණක් නොවෙයි. පලස්තීන ජනතාව වෙනුවෙන් මුළු ලෝකයම එකතු විය යුතු අරගලයක්.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, පලස්තීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය එක්සත් ජාතීන්ගේ සමුළුවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව සඳහන් කළ එරංග ගුණසේකර සහෝදරයා, තරුණ ව්‍යාපාරයක් ලෙසද පලස්තීන ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියේදී විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළේය.
පලස්තීන ජනතාවගේ නිදහස, මානව අයිතිවාසිකම් සහ සාමකාමීව ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවේ දී සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ, ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ උප සභාපති මහේල අමරසූරිය සහ වෛද්‍ය මොහොමඩ් නාසික් සහෝදරවරු ද මෙහි දී අදහස් දැක්වීය.






















