ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට නාවික සැතපුම් 38ක් පමණ ඈතින් ගිනි ගැනීමකට ලක්ව ඇති තෙල් නෞකාවේ සිටි තිදෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන මෙරටට රැගෙන එමින් තිබෙන බව වාර්තා වේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ගිනිගනිමින් ඇති නැවේ කපිතාන්වරයා ද ඒ අතර සිටින බවය.
බේරාගත් එක් කාර්යමණ්ඩල සාමාජිකයෙක් බරපතළ ලෙස තුවාල ලබා සිටින බවත් ඔහු තෙල් නෞකාවේ තුන්වැනි ඉංජිනේරුවා බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
තුවාල ලබා ඇති එම පුද්ගලයා නැගෙනහිර පළාතේ පිහිටි රෝහලක් වෙත ගෙනයෑමට කටයුතු සූදානම් කෙරෙන බවත් ඔහු කීය.
තෙල් නෞකාවේ සේවය කරමින් සිට ඇත්තේ පිලිපීන සහ ග්‍රීක ජාතිකයින් බවත් ඉන් 19 දෙනෙක් අද උදෑසන වෙනත් වෙළෙඳ නැවක් විසින් බේරාගෙන තිබේ.
සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක අද (03) උදෑසන 7.45ට පමණ ගින්නක් හටගෙන තිබේ.
ඒ සමගම, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව වහා ක්‍රියාත්මක වී කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා එම තෙල් නෞකාව වෙත සිය යාත්‍රා සහ ගුවන් යානා යවා තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ පැවසුවේ B-200 බීච් ක්‍රාෆ්ට් යානාවක් සහ එම් 17 හෙළිකොප්ටරයක් ගුවන් හමුදාව විසින් ගිනි ගනිමින් පැවති නව තිබු මුහුදු කලාපයට යැවූ බවත් එම යානා මේ වනවිට නැවත පැමිණ ඇති බවත්ය.
ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ පැනමා ධජය යටතේ ලියාපදිංචි කර ඇති “MT NEW DIAMOND“ නම් වූ නෞකාවක් මෙම ගින්න හටගෙන ඇති බවය.
නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන තිබූණි.
එම නෞකාව කුවේට්හි මීනා අල්-අහමඩි සිට ඉන්දියාවේ ඔඩිෂා (ඔරිස්සා) ප්‍රාන්තයේ පැරදිප් නම් වරාය වෙත තෙල් රැගෙන එමින් තිබියදී ගින්න හටගෙන තිබේ.




























