Saturday, November 14, 2026
HomeNEWSඅතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව

අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය යුතුද කියා මගපෙන්වූ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු විරුවන්, වීරවරියන් අපෙන් උදුරගෙන වසර 37ක් ගතවී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ අරමුණු, ඔවුන්ගේ අපේක්ෂාවන් සහ ඔවුන් තුළ තිබු ගුණාංගයන් අනුස්මරණය කිරීම සහ අපේ ජීවිතවලට එක් කර ගැනීමේ අරමුණින් අද අපි මෙම සමුළුව පවත්වනවා.

අපේ දේශපාලන ව්‍යාපාරයට දැන් අවුරුදු 60කට ආසන්න කාලයක් සම්පූර්ණ වෙලා තිබෙනවා. අපි දන්නවා ඉන් අවුරුදු 59ක්ම අපි බලය ලබා ගැනීම සඳහා පොරබදපු දේශපාලන ව්‍යාපාරයක්. දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් අපි බලය ලබාගෙන වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක්.

අපේ දේශපාලනයේ විවිධ අවස්ථාවල විවිධ අදියරයන් තිබෙනවා.වර්ෂ 1965දී පක්ෂය ආරම්භය, 1971 අරගලය, නැවත 1978දී අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ප්‍රවිෂ්ට වීම, 1983දී අපේ පක්ෂය තහනම් කිරීම, නැවත 1994 ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුල්වීම, 2024 බලය අත්පත් කර ගැනීම  සාමාන්‍යයෙන් අපේ පක්ෂය දේශපාලන ව්‍යාපාරයක විශාලතම හැරවුමක් ගත් දේශපාලන ව්‍යාපාරයක්.

ඇතැම් පක්ෂ හදනවා. පක්ෂය හදලා එහෙම්ම නැතිව යනවා. අපේ පක්ෂය එහෙම නෙවෙයි. 1965දී අපේ ව්‍යාපාරය හදනවා. 71දී දැවැන්ත මර්දනයකට මුහුණ දෙනවා. අපේ පක්ෂය ගොඩනගපු, වැඩ කරපු බොහෝ දෙනෙකු ඝාතනය වෙනවා, සිරකඳවුරුවලට යනවා. නැවත 1978දී එළියට එනවා. අතුරු මැතිවරණවලට තරග වදිනවා. සංවර්ධන සභා මැතිවරණවලට තරග වදිනවා. ජනාධිපතිවරණයට තරග වදිනවා. නැවත පක්ෂය තහනම් කරනවා. මර්දනය හමුවේ අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නැවත අපේ පක්ෂයේ රෝහණ සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ ශ්‍රේෂ්ඨ වීරවරයන් ඝාතනය කරනවා. නැවත දේශපාලනයට ප්‍රවිෂ්ට වෙනවා. 2024 වසරේ බලය අත්පත් කරගන්නවා. මම හිතන්නේ මෙවැනි විවිධ අවස්ථාවන්ට මුහුණ දීපු දේශපාලන ව්‍යාපාරයක් ලෝකයේ නැහැ, කොහොමත් ලංකාවේ ඇත්තෙම නැහැ.

මොනතරම් හැරවුම් ප්‍රමාණයක්ද? මොනතරම් වෙනස්කම් ප්‍රමාණයක්ද? අභියෝගයන්ගේ විවිධ ආකෘති. මර්දනය එල්ල වෙනකොට එක අභියෝගයක්. තහනම් කරලා තිබෙන විට තව අභියෝගයක්. සිරගෙවල් ඇතුළේ ඉඳන් දේශපාලනය කරනකොට තව අභියෝගයක්. ආණ්ඩු කරනකොට තව අභියෝගයක්. අභියෝගයන්ගේද විවිධත්වයන්, දේශපාලන ක්‍රියාකාරීත්වයන්ගේද විවිධත්වයන් විශාල ප්‍රමාණයකට මේ අවුරුදු 61 ඇතුළත අපේ දේශපාලන ව්‍යාපාරය මුහුණ දී තිබෙනවා.

හැබැයි ඒ කවර තත්ත්වයන් වෙනස් වුණත්, අභියෝගයන්ගේ ස්වභාවයන් වෙනස් වුණත්, මේ මුළු ඉතිහාසයම ගැටගසා තිබෙන හූයක් තිබෙනවා.  ඒකට අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා. ඒක පක්ෂය ආරම්භයේදීද, සිරගෙදරදීද, අපේ සහෝදර සහෝදරයන්ගේ ඝාතනයන්හිදීද, බලය ලබා ගැනීමේදීද, බලය ලබාගත් පසුවද  මේ මුළු ඉතිහාසයම එකට ගැටගහන හූයක් තිබෙනවා, එකට ගැටගහන සබඳතාවයක් තිබෙනවා.

මොකක්ද ඒ සබඳතාවය? මේ මුළු අවුරුදු ‍61ම අභියෝගයන්ගේ විවිධත්වයන්, දේශපාලනයේ ස්වභාවයන් මේ සියල්ල වෙනස් වුණත්, අපේ ව්‍යාපාරයේ වෙනස් නොකර ඉදිරියට ගෙන යන අරමුණු කිහිපයක් තිබෙනවා. ඒක තමයි වැදගත්. අපේ ව්‍යාපාරය ගොඩනගන්නේ ඒ අරමුණ වෙනුවෙන්. 1988/89 පැවති පාලනයන් විසින් අපේ සහෝදරවරු, සහෝදරියන් උදුරාගත්තේ ඒ අරමුණට එරෙහිවයි. මොකක්ද ඒ අරමුණ, ඒ අත්නොහරින අරමුණ තමයි අපේ රටටත්, අපේ රටේ ජනතාවටත් ඉතා හොඳ සමාජයක් නිර්මාණය කර දීමේ අරමුණ.

1965 මර්දනයට මුහුණ දෙන විට තිබූ අරමුණ, නැවත මැතිවරණවලට තරගවදින වන විට තිබුණු අරමුණ, පක්ෂය තහනම් කරන විට තිබුණ අරමුණ, නැවත මේ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අවතීරණය වන විට තිබු අරමුණ බලය අත්පත් කරගන්නා විටත් තිබු අරමුණ මේ සියලු අවස්ථාවල අපි අත්නොහැර රකින අරමුණ තමයි මේ රටටත්, ජනතාවටත් සාධාරණ සමාජයක් නිර්මාණය කර දීමේ අරමුණ. මේ මුළු ඉතිහාසය පුරාවටම අපි ඒ අරමුණින් එකට ගැට ගසා තිබෙනවා.

2024ට පෙර අපි ඒ අරමුණ වෙනුවෙන් බලය ලබා ගැනීම සඳහා පොරබදනවා. 2024න් පසු ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා පොරබදනවා. ඒක තමයි මේ අවුරුදු 61 මුළුල්ලේම අපි අත්නොහැර තිබෙන සබඳතාවය. ඒ අභියෝගයන්ට මුහුණ දෙනකොට අප්‍රතිහත ධෛර්යයක් තිබුණා. අත්නොහරින ගුණයක් තිබුණා. අභියෝගය කුමන ස්වරූපයෙන් පැමිණියද ඒ සෑම අවස්ථාවකම අත්නොහරින ගුණය තිබුණා. මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනගන විට, අපේ සහෝදර සහෝදරියන් ඝාතනය කරන විට අත්නොහරින ගුණය තිබුණා. අපිට දැනුත් එම අත්නොහරින ගුණය තිබෙනවා. නොපසුබසිනා උත්සාහයෙන් යුතුව එම අරමුණු ඉටු කර ගැනීමේ ගුණය අප සතුව තිබෙනවා.

ඒ වගේම දරා ගැනීමේ ගුණය අප පක්ෂය සතුව තිබුණා. මර්දනයට මුහුණ දීමේදී, පක්ෂය තහනම් කිරීම, අවලාද සහ අසත්‍යවලට මුහුණදීම, ව්‍යාපාරයේ සිටි අය කඩාගෙන ගොස් ව්‍යාපාරයට එරෙහිව අවලාද නැගීම, සියයට 3ක ප්‍රතිශතයකට පහත වැටීම, ජනතාවගේ යම් ප්‍රමාණයක් උසුළු විසුළුවලට ලක්වීම, බලය අත්පත් කර ගැනීම මේ සියල්ල හමුවේ මහා දරා ගැනීමක් අප සතුව තිබුණා. මේ පරිවර්තනය සඳහා දරා ගැනීමේ ගුණය අත්නොහැර අප සතුව තිබෙනවා. අපේ දරා ගැනීමේ ඉතිහාසය ගත්තොත් දැන් ඇත්තටම ඉතා සුමට එකක් තිබෙන්නේ. ඇත්තටම දරා ගන්න තරම් දෙයක් නැහැ.

ඒ වගේම මෙම කාර්යය ඉටු කිරීමේදී අප අතර තිබූ සාමුහිකත්වය අපි අත්හැර නැහැ. අපි මේ බලය හොබවන්නෙත්, බලය හසුරවන්නේත්, ජයග්‍රහණය කරා ගෙන යන්නෙත් සාමුහිකත්වයෙන්. එය අපි අත්හැර නැහැ.

ඒ වගේම අපේ මුළු දේශපාලන ඉතිහාසයම පුරාව ජනතාව සමග සමීප සබඳතාවක් තිබෙනවා. ජනතාවට ඇහුම්කන් දීම, ජනතාව වෙනුවෙන් වැඩ කිරීම, ජනතාවගේ ජීවන රිද්මය හඳුනා ගැනීම, ඔවුන්ට සවන් දීම ඒක වැදගත්. ඕනෑම දේශපාල ව්‍යාපාරයකට ඉදිරියට යා හැකිවන්නේ එම ව්‍යාපාරය සහ ජනතාව අතර තිබෙන මහා බැඳීම් සමගයි. ඒ බැඳීම අපි අත්හැර නැහැ.

අපිට ජනතාව සමග සෑමවිටම තිබෙන්නේ සමීප සබඳතාවයක්. එය ගැටුමේදීද, සිරගෙදරදීද, අද අපි ආණ්ඩු බලය හෙබවීමේදීද අපේ ව්‍යාපාරය සහ ජනතාව අතර තබාගත් අන්තර්සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන තිබෙනවා.

කැප කිරීමේ ගුණය, දරා ගැනීමේ ගුණය, සාමුහිකත්වයේ ගුණය, අත්නොහරින ගුණය, ජනතාව වෙනුවෙන් වැඩ කිරීමේ ගුණය, ඒ සියල්ල අපේ අතීත පරම්පරාව විසින් අපිට උරුම කර දී තිබෙනවා. එම අතීත පරම්පරාව තමයි අද අපි අනුස්මරණය කරන්නේ. අපේ රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු අපේ නායක මණ්ඩල, ග්‍රාමීය වශයෙන් කටයුතු කළ අපේ සහෝදර සහෝදරියන් සියලු දෙනා අනුස්මරණය කරන්නේ නම් අපි මේ ගුණාංගයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. එසේනම් මේ අනුස්මරණය සිදු කරන්නේ දිනයකට නොවෙයි. දරා ගැනීම, ගතවන සෑම නිමේෂයක් තුළම අපි දරා ගත යුතුයි. ගතවන සෑම නිමේෂයකම ජනතාව සහ අප අතර තිබෙන අන්තර් සබඳතාව ශක්තිමත් කරගත යුතුයි. ඒ වගේම අද අපි එකට එක්වී සාකච්ඡා කරමින් ගතවන සෑම නිමේෂයකම සාමුහිකත්වය ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම ගතවන සෑම නිමේෂයකම අපි පරිත්‍යාගශීලි විය යුතුයි. අපේ අරමුණ ගතවන සෑම නිමේෂයක් තුළම ආරක්ෂා කරගත යුතුයි. එය ජයග්‍රහණය කරවීම සඳහා අපි පොරබැදිය යුතුයි. එම අරමුණ අනුස්මරණය කිරීම පමණක් නොවෙයි, සෑම විටම අපේ ජීවිත තුළ ආරක්ෂාකරගත යුතුව තිබෙනවා. එසේනම් මෙම නොවැම්බර් 13වනදා අනුස්මරණ දිනයක් පමණක් නොව අපි අඛණ්ඩව පවත්වාගෙන එන ගුණාංගයන් පිළිබඳව නැවත නැවත මෙනෙහි කරමින් නව පරිවර්තනයක් සඳහා අවශ්‍ය වන ජීවගුණය එක් කරගැනීම තමයි අපේ අභිලාෂය වන්නේ. ඒ වෙනුවෙන් අපි සූදානම් විය යුතුයි.

2024 ජනාධිපතිවරණයට පෙර අපිට මතුපිට තලයේ කඳවුරු කිහිපයක් පෙනුනා. අපේක්ෂකයෝ කිහිප දෙනෙක් සිටියා. ඔවුන් බෙදිලා වැඩ කළා. 2024 බෙදිලා වැඩකරපු අයට දැන් එකතු වෙලා වැඩකරන්න සිදුවී තිබෙනවා. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. පසුව ආණ්ඩුව වැටෙන තෙක් බලා සිටියත් වැටෙන පාටක් හෝ කාලයක්වත් පේන්නේ නැහැ. ඒ වගේම අද උස් මිටි භේදයකින් තොරව නීතිය සෑම කෙනා අසලටම ළඟා වෙමින් තිබෙනවා. ඒ නිසා දැන් එකතු වෙන්න බලනවා. දැන් ඔවුන් දන්නවා මේ දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කර තිබෙනවා. එය වට්ටන්න අනාගතයේ දිනයක්වත් පේන්න නැහැ, ඒ වගේම වංචනිකයන්ට, දූෂිතයන්ට ආරක්ෂාව ලැබෙන්නෙත් නැහැ කියලා.

 මීට කලින් අපේ දේශපාලනය දුර්වර්ණයි. ආණ්ඩුව හොයාගන්න බැහැ, විපක්ෂය හොයාගන්න බැහැ, දුර්වර්ණයි. ඇයි? ආණ්ඩුවට කතිරේ ගහනවා, දිනන කාට හරි කතිරේ ගහනවා, පරදින කට්ටිය ඉන්නවා. පරදින කට්ටිය මොකද කරන්නේ දිනන ආණ්ඩුවේ ඇමතිවරු වෙනවා. ආණ්ඩුව හොයාගන්නත්, විපක්ෂය හොයාගන්නත් නැහැ

ගම්වල ජනතාව හිතනවා අපි පරාද කරන්න ඡන්දය දුන්නා, ඡන්දය දීලා මාස දෙකක් එනකොට පරාජය කරපු කෙනා ඇමතිවෙලා. එහි අවසානය වුණේ පරාද කරන්න කියලා කතිරේ ගහපු කෙනාගෙන් ජනාධිපති කෙනෙක් හැදුණා. 2019 කතිරේ ගහනවා එළවන්න, 2023දී ඒ කතිරෙන්ම ජනාධිපති වෙනවා. අලුත් කතිරෙකින් නොවෙයි, ඒ තරමට මේක දෙමුහුන්.

ඒ කාලේ දේශපාලනයේ ආණ්ඩුව හොයන්න බැහැ, විපක්ෂය හොයන්න බැහැ. පෙනුමෙන් විතරක් නෙවෙයි, වැඩවලිනුත් එහෙමයි. වංචා දූෂණවලින් ආණ්ඩුව හොයන්න බැහැ, විපක්ෂය හොයන්න බැහැ ඉස්සර. නීතිය කඩනකොට ආණ්ඩුව හොයන්න බැහැ, විපක්ෂය හොයන්න බැහැ. අපේ රටේ දේශපාලනය දුර්වර්ණවෙලා තිබුණා. අද ආණ්ඩුව නම් ආණ්ඩුව, විපක්ෂය නම් විපක්ෂය තිතට තියෙනව.

ලංකාවේ පළමු වතාවට, ජනතාවගේ ජනවරමේ සැබෑ හරය පාලනය විසින් ආරක්ෂා කර තියෙනවා. ඒක වැදගත්, මීට පෙර සිදු වුණේ ජනතාවගේ සැබෑ ජනවරමේ හරය පාර්ලිමේන්තුවේදී විකෘති වීමයි

ජනතාව කට්ටියකට ආණ්ඩුවක් කරන්න, කට්ටියකට විපක්ෂයක් කරන්න ඡන්දය ලබා දෙනවා. ඒක තමයි ජනවරම. හැබැයි පාර්ලිමේන්තුවේදී ඒ ජනවරම විකෘති වෙනවා. පාලනයේදී ඒ ජනවරම විකෘති වෙනවා. 2024 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාව ඡන්දය දුන්නා මෙන්න ආණ්ඩුව, මෙන්න විපක්ෂය කියලා. දැන් අවුරුදු දෙකක් වෙලා තියෙනවා තිතට ආණ්ඩුව, තිතට විපක්ෂය තිබෙනවා.

අපේ රටේ දේශපාලනය තීව්‍ර පැහැදිලි බෙදීමකට ගමන් කරමින් තිබෙනවා. ඉස්සර මෙවැනි තීව්‍ර බෙදීමක් තිබුණේ නැහැ. අපේ රටේ දේශපාලනය ලංකාවේ දීර්ඝ කාලයකට පසුව තීව්‍ර බෙදීමක් ඇතිවෙලා තිබෙනවා. ආණ්ඩුව සහ විපක්ෂය කියන කඳවුරු දෙකට තමන්ගේම අනන්‍ය වූ ගති ලක්ෂණ තියෙනවා. තීව්‍ර බෙදීම තියෙන්නේ දැන් වාඩි වෙන පැත්තෙන් විතරක් නෙවෙයි. මේ ව්‍යාපාරවල තියෙන ගති ලක්ෂණ වලින් මේ බෙදීම තවත් තීව්‍ර කරනවා.

ඔවුන් දූෂණයේ නිරත වී  තිබෙනවා, ඒවාගෙන් ආරක්ෂා වෙන්න උත්සාහ කරනවා. අපි දූෂණය නතර කරලා තිබෙනවා, දූෂිතයන්ට දඬුවම් දෙන්න උත්සාහ කරනවා. බෙදීම තවත් තීව්‍ර වෙනවා.

ඔවුන් අපරාධ කර තිබෙනවා, මේ රාජ්‍යය අපරාධ රාජ්‍යයක් බවට පත්වෙලා තිබුණා. අපි අපරාධ රාජ්‍යය වෙනස් කරමින් තිබෙනවා. ඒගොල්ලෝ අපරාධ රාජ්‍යය ගොඩනඟපු අය, බෙදීම තවත් තීව්‍ර වෙනවා.

ඒගොල්ලෝ පවුල් කේන්ද්‍ර කරගත්තු දූෂිත පාලනයන් හදනවා. අපි මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරමින් පාලනයන් හදනවා. බෙදීම තවත් තීව්‍ර වෙනවා.

ඒගොල්ලෝ ජාතිවාදය, ආගමික අන්තවාදය උපයෝගී කරගන්නවා තමන්ගේ දේශපාලනය කරනවා. අපි ජාතික සමගිය, පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. බෙදීම තීව්‍ර වෙනවා.

ඒගොල්ලෝ යන්ත්‍ර, මන්ත්‍ර, කටු ගහනවා. අපි නව තාක්ෂණය, විද්‍යාව, දැනුම මත මේ රට ගොඩනැඟීමට උත්සාහ කරනවා. බෙදීම තීව්‍ර වෙනවා.

ඒ නිසා අද ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් ජනතාව ඉදිරිපිට පැහැදිලිව චිත්‍රණය කර තියෙනවා. පැරණි අගතීන්ගෙන් සමන්විත, විනාශකාරීත්වය කරා අපේ රට කැඳවාගෙන ගියපු විනාශකාරී දේශපාලන කඳවුර සහ මේ රට වෙනස් කිරීමේ නව දේශපාලන කඳවුර. මේක තමයි කඳවුරු දෙක.

සමහර මාධ්‍යත් ඒ විදියටම බෙදිලා තියෙනවා. ඒකත් අපි දන්නවා, අර විනාශකාරී කඳවුර නියෝජනය කරන මාධ්‍ය ආයතන තියෙනවා. බෙදීම තීව්‍ර වුණාම මෙහෙමයි, හැමතැනම බෙදෙනවා මෙහෙම.

ඒ වගේම අපේ හාමුදුරුවරුන් වහන්සේලා ඇතුළුව මම දැක්කා සමහර විට එහෙම බෙදීමක් තිබෙනවා. බෙදීම තීව්‍ර වෙලා තියෙනවා. හැබැයි මේ බෙදීම නිකන් 80යි 20යි වගේ.

කොතනද මේකෙ පැවැත්ම තියෙන්නෙ?  අරාජිකත්වයන් මතුවීම වැළැක්වීම තමයි අද අපේ වගකීම.මොකද දුර්වලභාවයට පත්වෙලා තිබෙන ආණ්ඩු විරෝධීන්  ඒ දුර්වලභාවය විසින් අසරණ භාවයට පත් කර තිබෙනවා. ඒ අසරණභාවය විසින් ආතතියට පත් කර තිබෙනවා. ආතතිය විසින් සංයමය බිඳ වට්ටවා තිබෙනවා.

සංමය බිඳවැට්ටුවීම විසින් නොමනා දේ කරන්න ඉඩ තිබෙනවා. මේක තමයි අද අපට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන කඳවුරේ ස්වභාවය. හැබැයි අපි දන්නවා එවැනි අරාජික දුර්වල සටන් ව්‍යාපාර වලට වඩා ඉතිහාසයේ ශක්තිමත් අත්දැකීම් සහිත අපේ ව්‍යාපාරය  ඒ සියල්ල පරාජය කොට මේ ආණ්ඩුවත් මේ පාලනයත් අපේ දෘෂ්ටිවාදයක් ආරක්ෂා කරමින්ඉදිරියට යන බවට අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා.

අද අපට පැවරී තිබෙන වගකීම එයයි. එදා වගකීමට වඩා වෙනස් වගකීමක් අද අපට තිබෙනවා.මා කලින් කිව්වා අපේ පක්ෂයේ ඉතිහාසය බැලුවොත් ඉතිහාසයේ එක් එක් අදියරයන්හිදී අපට පැවරුණ වගකීම සහ  අභියෝගයන් වෙනස්කම් තිබුණා. පක්ෂය ගොඩනැගීම පක්ෂයේ සටන්වලට මුහුණදීම, මර්දනයට මුහුණ දීම, ඡන්ද කිරීම, පක්ෂ තහනම් කිරීම මේ ආදී සියල්ල දෙස බැලූ විට අපේ අභියෝග සහ වගකීම් වෙනස් වී තිබෙනවා.දැනුත් අපේ අභියෝග සහ වගකීම් වෙනස්. අවුරුදු හැටකින් අවුරුදු පනස් නවයක්ම අභියෝග වගකීම් බලය ලබාගැනීම සඳහා කියන පෙරමුණකට  සම්බන්ධ වී තිබුණා. දැන් බලය ලබාගත් පසු එය අපේ අරමුණු ඉටු කර ගැනීමේ දිශාවට යොමු කරගත යුතුයි.  ඒ නිසා අපි වෙනදාට වඩා අලුත් විදියට හිතන, අලුත් විදියට පරිවර්තනය වන, අලුත්  අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන්  මානසිකත්වයකට සහ ක්‍රියාකාරීත්වයකට  පැමිණිය යුතුයි.

අතීතයේ අපි වැඩිපුර වගකියන්නෙ පක්ෂයට. හැබැයි ආණ්ඩු ක්‍රියාවලියේදී අපි ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි.  පක්ෂ ක්‍රියාකාරීත්වයේ දී අපිට පක්ෂය ඇතුළේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. අඩුපාඩුකම් කතා කරගන්න පුලුවන්. වෙනස්වීම් හඳුනගන්න පුළුවන්. වෙනස්වීම් කරන්න පුළුවන්.ඇයි අපේ වැඩි වගකීම තිබෙනවා පක්ෂයට. හැබැයි ආණ්ඩුකරනයේදී අපේ පූර්ණ වගකීම සහ බැඳීම ජනතාව වෙත තිබෙනවා. එනිසා සිදුවන හැම සිදුවීමක්ම ආණ්ඩු කරණයේදී අපි වග කියන්න ඕනෙ. අපට සැඟවෙන්න බැහැ පරණ දේ,අතීතයට හිමි දේ,පරණ කට්ටිය නොකරපු දේ කියලා. මේ මොහොතේ ඉන්න ජනතාවට මේ මොහොතේ වගකියන්න ඕන අපි. ජනතාව අපිට ජනවරමක් ලබා දී තිබෙනවා. ජනතාව අපේ ආණ්ඩුවක් හදලා තිබෙනවා. එහෙනම් මෙ මොහොතේ ජනතාවට වග කියන්න ඕනේ අපි.

අපිට පළාත් පාලන ආයතන තිබෙනවා, සභාපතිවරු ඉන්නවා, ඇමැතිවරු ඉන්නවා,  නියෝජ්‍ය අමාත්‍යවරු ඉන්නවා  ඒ හා බැඳුණු රාජ්‍ය අංශයක් තිබෙනවා. දැන් හැම විටම අපේ   වගවීම මේ  ජනතාව ඉදිරිපිට තිබෙන බව අපි තේරුම් ගන්න ඕනේ. අපේ හැසිරීමක්, ප්‍රකාශයක්, අපි ගන්න ක්‍රියාමාර්ගයක් වෙනදට වඩා වැඩියෙන් අපි හිතන්න ඕනේ. වෙනදට අපේ වැඩිපුර වගකීම අපේ පක්ෂයට. අද අපේ වැඩිපුර වගකීම ජනතාවට.ඒ නිසා ජනතාවට බැඳී තිබෙන සහ ජනතාවට වගකියන තැනට  අපි පරිවර්තනය විය යුතුයි. අලුත් වගකීමේ ස්වභාවය අලුත් අභියෝගයේ ස්වභාවය අනුව අපි ජනතාවට වග කියන්න බැඳී සිටිනවා.   

ජනතාවට වගකියන්න බැඳී සිටින විට ජනතාවට අයිතියක් තිබෙනවා අපිව විවේචනය කරන්න.ජනතාවට අයිතියක් තිබෙනවා අපිට බනින්න. ජනතාවට අයිතියක් තියෙනවා අපිට විරුද්ධව උද්ඝෝෂණය කරන්න. ඇයි? ජනතාවගේ දේ කරන්න අපි බැඳී ඉන්නවා. එහෙම සංස්කෘතියක් අපි හදන්න ඕනෙ .මීට පෙර අපේ සංස්කෘතිය මොකක්ද? පාලකයාට ජනතාව බයයි. පාලකයාට ජනතාව යටත්. ජනතාව පාලකයාගේ වහලුන්.   මෙහෙම තමයි අපේ ඉතිහාසය තිබුනෙ. ප්‍රාදේශීය සභාවේ සභාපතිට ගමේ අය බයයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වටේ අය බයයි. ඇමතිට පළාතේ අය බයයි. නායකයාට රටේ අය බයයි. මෙහෙම තමයි අපේ වගවීම පිළිබඳ බැඳීම තිබුණේ. භය සහ යටත් වීම තමයි පාලකයා හා ජනතාව අතර සම්බන්ධතාවය.මේක තමයි අපේ රටේ ජනතාව සහ පාලකයා අතර දීර්ඝ කාලයක්පැවති සබඳතාවේ ස්වභාවය.මේ සබඳතාවය අපි බිඳින්න ඕනෙ.

අලුත් සබඳතාවය මොකක්ද?ජනතාවට පාලකයා ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. විවේචනය කරන්න අයිතියක් තියෙනවා. ජනතාවට පාලකයාට විරුද්ධව උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනවා. අලුත් පරිවර්තනයක් අපි ඇති කරන්න ඕනකම තිබෙනවා පාලකයා සහ ජනතාව අතරින් අලුත් සබඳතාවයක්. සමහර අයට ඒ සබඳතාවය ගොඩනගන්න හුරු නැහැ. කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට භයවෙලා ඉදලයි පුරුදු වෙලා තිබෙන්නේ. යටත් වෙලා ජීවත් වෙලා පුරුදුයි. එනිසා මේ විදියට ජනතාව සහ පාලකයා අතර සබඳතාවයක් හදනකොට ඒ නිදහස ඒ  නව සබඳතාවය තේරුම් ගන්න බැහැ.

තේරුම් ගන්න බැරි වුණාම හෑල්ලුවට ලක් කරන වෙන තලයකට යනවා ඒවා ගණන් ගන්න එපා. ඒවාට කිසි වලංගුතාවයක් නැහැ. බනින ස්වභාවයේ වචන වෙනස් වෙන්න පටන් ගන්නවා. බනින ස්වරයන් වෙනස් වෙන්න පටන් ගන්නවා. තිබෙන ශිෂ්ට සම්පන්න භාවය බිඳ වට්ටනවා ඇයි?  ඒ කණ්ඩායමට හුරු වෙලා තිබුණා බය වෙලා ජීවත් වෙන්නෙ යටත් වෙලා ජීවත් වෙන්න. පාලකයා ප්‍රශ්න කරන සමාජයකට ඔවුන් හුරු නැහැ. ඒගොල්ලො හුරුවෙලා තිබෙන්නේ පරණ පුරුද්දට. පරණ පුරුද්ද මොකක්ද.  පාලකයාට යටත්වෙලා හිටපු පුරුද්දක් පාලකයාට බයවෙලා හිටපු පුරුද්ද. අපි කවුරුවත් භය කරන්න හෝ යටත් කරන්න සූදානම් නෑ.  අපේ අපේක්ෂාව පාලකයා ප්‍රශ්න කරන ජනතාවක්. පාලකයා විවේචනය කරන ජනතාවක්. එහෙම ගොඩනගන්න යනකොට එහි ශිෂ්ට භාවයක් තිබෙනවා. රාමුවක් තිබෙනවා. ඒ  කොටුව ඇතුලේ ඉන්න ඕන. හැබැයි විවේචකයාට අඩුම තරමේ තමන්ගේ ශිෂ්ට භාවයේ කොටුව රැක ගන්න බැරි වෙලා තිබෙනවා. හැබැයි අපි කලබල වෙන්නේ නෑ. ඒ ශිෂ්ට  සම්පන්න භාවයේ රාමුව ඇතුළේ ඉදිරිපත් නොකරන විවේචන සියල්ලම රටේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. සමහර අය අපට කතා කරලා අහනවා සහෝදරයා එහෙම බනින්න ඉඩ දෙන්නේ ඇයි කියලා. ඔහොම බනින්න ඇති තරම්. ඒවා ශිෂ්ඨ සමාජයක් විසින් පිළිගන්න අනුමත කරන ඒවා නොවෙයි.

එවැනි පරිවර්තනයක් තමයි අපට පාලකයා සහ ජනතාව අතර අවශ්‍ය වන්නේ. අපේ ආර්ථිකයේ නව පරිවර්තනයක් අපට අවශ්‍යයි.  අපේ දේශපාලනයේ අලුත් පරිවර්තනයක් අපට අවශ්‍යයි. ඒ පරිවර්තනය සඳහා අවශ්‍ය ගමන අප ආරම්භ කර තිබෙනවා. ඒ නිසා අපි අවුරුදු හැට එකකට වඩා වැඩි කාලයක් අපේ පරම්පරා ගණනාවක් එකම අරමුණක් වෙනුවෙන් සාමූහිකව  දරාගනිමින්  කැපකිරීම් කරමින් ආපු ගමන අද අපි බලය අත්පත් කර ගැනීමේ තැනට පරිවර්තනය කර තිබෙනවා. මෙන්න මේ බලය අත්පත් කර ගැනීමේදී මුහුණ දී තිබෙන අභියෝගයන්  අලුත් දේ අපි එක් රැස් කරගෙන   ඉදිරියට යාම සඳහා අපි සියලු දෙනාම එකතු වෙමු කියා ආරාධනා කරමින්  මම නතර වෙනවා. බොහොම ස්තූතියි. සියලු දෙනාටම ජය වේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img