Monday, October 26, 2026
HomeNEWSඅනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි

අනුරාධපුර පූජා භූමි නව සංවර්ධන සැලැස්ම නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමා විසින් ගැසට් මඟින් ප්‍රසිද්ධ කරන්න කටයුතු කරලා තිබෙනවා.
පණිවිඩය තරමටම පණිවිඩකරුවාද වැදගත්ය කියන කියමන අනුව යමින් මේ ගැසට් පත්‍රයේ තිබෙන භයානකකම ගැන සාකච්ඡා කරන්න කලින් මේ ගැසට් පත්‍රය නැත්නම් මේ පූජා භූමි සංවර්ධන සැලැස්ම පිටිපස්සේ ඉන්න චරිත ටික අපි හඳුනාගන්න ඕනේ. අපි දන්නවා ලෝකයේ බලවත් රාජ්‍ය නායකයින් පවා රුවන්වැලි මහා සෑයට පැමිණෙන්නේ තමන්ගේ පාවහන් ගලවලා. ආගම් භේදයකින් තොරව මේ රටේ බෞද්ධයාට කරන ගෞරවයක් විදිහට, බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් විදිහට තමයි අන්‍යාගමිකයන්, නිරාගමිකයන් පවා මහා සෑයට එන්නේ තමන්ගේ පාවහන් ගලවලා. හැබැයි අනුර දිසානායක ජනාධිපතිවරයා පාවහන් සහිතව මහා සෑය වඳින්න යන වීඩියෝ පට, ඡායාරූප අද ලැව් ගින්නක් වගේ සමාජ මාධ්‍යවල පැතිරෙමින් තිබෙනවා.

ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීම ගෝත්‍රිකයි කියලා රටට කිව්ව බිමල් රත්නායක ඇමතිවරයා තමයි නාගරික සංවර්ධන ඇමතිවරයා විදිහට මේ පූජා භූමි සංවර්ධන සැලැස්ම ගැසට් මගින් රටට ප්‍රසිද්ධ කරන්නේ. ඒ විතරක් නෙවෙයි රුවන්වැලි මහා සෑය පරම පූජනීය පූජා වස්තුවක් විදිහට, බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතූන් තිබෙන එකම ස්ථානය, ලොව එකම ස්ථානය විදිහට සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව පරම පූජනීය වස්තුවක් විදිහට දකිද්දී එය හුදු ස්මාරකයක් විදිහට තමයි බුද්ධ ශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මැතිතුමා දකින්නේ. එතකොට ජනාධිපතිතුමා කවුද, නාගරික සංවර්ධන ඇමති කවුද, බුද්ධ ශාසන ඇමති කවුද කියලා අපි අඳුනගත්තා. දැන් අපි ඊළඟට හැරෙමු මාලිමා ආණ්ඩුව කෙතරම් බෞද්ධ විරෝධීද කියන එක හඳුනගන්න.

ඒ සඳහා අපි පහුගිය කාලයේ මාලිමා ආණ්ඩුව කරපු බෞද්ධ විරෝධී වැඩ කීපයක් මතක් කරගමු. අනුර ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වෙලා හාපුරා කියලා මල්වතු මහා නායක ස්වාමීන් වහන්සේ බැහැදැක්කම උන්වහන්සේ ජනාධිපතිතුමාගේ අතේ බැන්ද පිරිත් නූල එතනින් පිටත්වෙලා ඇවිද්දී ගලවලා විසික් කරලා දැම්මා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මංගල සැසියට ජයමංගල ගාථා කීම මේ රටේ එදා මෙදා තුර පැවති චාරිත්‍රයක්, ඒ චාරිත්‍රය කඩකරමින් ජයමංගල ගාථා කියන එක නතර කරලා දැම්මා. ඒ වගේම රාජ්‍ය උත්සව වල, පළාත් පාලන ආයතන වල වැඩ ආරම්භ කිරීමේදී පන්සිල් සමාදන් වීම නතර කරලා දැම්මා. ලාල් කාන්ත ඇමතිතුමා මිහින්තලේ නායක හාමුදුරුවන්ට ප්‍රසිද්ධියේ අපහාස කළා. විසිදෙවන සංශෝධනය පිළිබඳ මහා නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිතුමාට යැවූ ඒකාබද්ධ ලිපිය ආණ්ඩුවෙන් හැංගුවා විතරක් නෙවෙයි, උන්වහන්සේලාට අද වනතුරුම පිළිතුරු ලිපියක් යවන්න ජනාධිපතිතුමා කටයුතු කරලා නෑ. කොටින්ම කියනවා නම් මහා නායක ස්වාමීන් වහන්සේලාගේ ලිපිය මේ ආණ්ඩුව ගණන් ගත්තේ නෑ. බෞද්ධයන් උතුරේ වන්දනාවට යන්නේ ජාතිවාදය අවුස්සන්නයි කියලා ජනාධිපතිතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. ත්‍රිකුණාමලයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට බුදුරජාණන් වහන්සේව අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මුතු කුඩයක් කැඩෙනතුරු පොලීසියෙන් භික්ෂූන් වහන්සේලාට පහර දුන්නා. නැගෙනහිර ඓතිහාසික බොදු උරුමය සුරකින්න කැපවීමෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේලාව අත්අඩංගුවට අරගත්තා විතරක් නෙවෙයි, උන්වහන්සේලාට ඇප ලබාදීමට පොලීසිය විරුද්ධ වුණා.

මෑතකදී බෞද්ධ නොවන ආගමික නායකයින් සමග ජනාධිපතිතුමා සාකච්ඡාවක් කළා, නමුත් භික්ෂූන් වහන්සේලාට පමණක් ඒකට ආරාධනා කළේ නෑ. මේ සියල්ලටම වඩා බෞද්ධ සමාජය කැලඹීමට පත්වුණේ, කම්පාවට පත්වුණේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පරසුද්දන්වත් නොකරපු ආකාරයට භික්ෂූන් වහන්සේලා ගිහිවෙස් ගන්වලා මහා පාරපුරා ප්‍රදර්ශනය කිරීම. මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි සියලුම වර්ගයේ අපරාධකරුවන්ට ජනාධිපති සමාව ලබා දී ඇති අනුර දිසානායක ජනාධිපතිවරයා, ඥානසාර හිමියන්ට නම් ජනාධිපතිවරයාගේ නිදහස ලැබෙන්නේ නෑයි කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා.

එතකොට ඒ කියන්නේ මේ ආණ්ඩුව පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින් යුගවලදී සිදුකළාටත් වඩා මහා දැවැන්ත බෞද්ධ විනාශයක් කරමින් බුදු දහමට පහර දෙමින් සිටිනවා මේ ආණ්ඩුවේ. බෞද්ධ විරෝධය සමකල හැක්කේ පොළොන්නරු යුගයේදී සිටි කාලිංග මාඝට පමණමයි කියන එක අපි ඉතාම වගකීමෙන් කියනවා.
අනුරාධපුරය කියන්නේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ හදවත. කතෝලිකයන්ට වතිකානුව යම් සේද, මුස්ලිම්වරුන්ට මක්කම යම් සේද, බෞද්ධයාට ඒ තරමටම අනුරාධපුරය වැදගත්. වසර 1500ක් පුරාවට අඛණ්ඩව අගනුවරක් විදියට පැවති පූජා භූමියක් මේ ලෝකයේ තවත් ඇත්තේම නෑ. ඒ උතුම් වස්තුව, බෞද්ධයන් අතිශයෙන්ම සංවේදී අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීමට අයිතිය ඇත්තෙත් හැකියාව ඇත්තෙත් බෞද්ධයන් සිටින ආණ්ඩුවකට පමණමයි. බෞද්ධ විරෝධී ආණ්ඩුවක් එවැනි දේකට අත තියනවා කියන්නෙම විනාශයට අත වනනවා කියන එකයි.

මහා සෑයට පාවහන් පැළඳගෙන යන ජනාධිපතිවරයෙක් ඉන්නකොට, ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනා කිරීම ගෝත්‍රිකයි කියන නාගරික සංවර්ධන ඇමති කෙනෙක් ඉන්නකොට, රුවන්වැලි මහා සෑය හුදු ස්මාරකයක් කියන බුද්ධ ශාසන ඇමති කෙනෙක් ඉන්නකොට, බුදුදහම විනාශ කිරීමේ න්‍යායපත්‍රයක ඉන්න මාලිමා බෞද්ධ විරෝධී මාලිමා ආණ්ඩුවක් තිබෙනතුරු අනුරාධපුර පූජා නගරයේ නම් බෞද්ධයාගේ හදවතට අත තියන්න මේ රටේ බෞද්ධයන් මාලිමා ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ කියන අනතුරු ඇඟවීම අපි මාලිමාවට කරනවා.

පූජා භූමි සැලැස්මේ 19A පිටුවේ කියනවා සංවර්ධනය කියන වචනය අර්ථ දක්වමින් පොළොව යට ගොඩනැගිලි ඉදිකිරීමත් මේ සංවර්ධනයට අයිතියිලු. දැන් මේ සැලැස්ම ගැසට් මගින් නීතියක් කිරීමෙන් අවසරය ලබාදීලා තියෙනවා අනුරාධපුර පූජා නගරය තුළ පොළොව යට ගොඩනැගිලි ඉදි කරන්න. මේ මහා චෛත්‍යයන් දරාගෙන ඉන්න පොළොව යටින් ගොඩනැගිලි ඉදි කරොත් මේ චෛත්‍යවල පදනම, අත්තිවාරම දුර්වල වෙලා දිගුකාලීනව මේ මහා සෑයන් වසර දෙදහස් ගාණක් මේ මහා පොළොව මත අහස උසට ඉසවී තියෙන මේ මහා සෑයන් දිගුකාලීනව විනාශ කිරීමේ කුමන්ත්‍රණයක මාලිමාව සිටිනවාය කියන සාධාරණ සැකය අපිට ඇති වෙනවා.

ඒ වගේම තවත් සිද්ධස්ථාන ඇතුළු කරලා පූජා භූමිය පුළුල් කරනවාය කියලා 2A සහ 3A පිටුවල සඳහන් වෙනවා. එතන සිද්ධස්ථාන කියන වචනයට ඉදිරියෙන් බෞද්ධ සිද්ධස්ථාන කියලත් නෑ, අඩුම ගානේ පෞරාණික සිද්ධස්ථාන කියලත් නෑ. එහෙනම් සියලුම ආගම්වල සිද්ධස්ථාන අනුරාධපුර පූජා භූමියේ ඉදි කරලා බෞද්ධයාගේ හදවත සර්ව ආගමික අච්චාරුවක් බවට පත් කිරීමට මාලිමා ආණ්ඩුව උත්සාහ කරන බවයි මේකෙන් පේන්නේ. දැනටමත් ශිව කෝවිලක් අනුරාධපුර පූජා භූමියේ ඉදි කරලා තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවේ සැලැස්ම අනුව රාම කෝවිල්, සීතා කෝවිල් ඉදිකිරීමට යටි අරමුණෙන් මේ වගන්තිය ඇතුළු කළාය කියන සැකය අපිට ඇති වෙනවා.

5A පිටුවේ දක්වා ඇති පරිදි පූජා නගරය කලාප තුනකට වෙන්වෙනවා. අති සංවේදී කලාපය, සංවේදී කලාපය සහ පොදු සේවා කලාපය. පොදු සේවා කලාපයේ කරන ව්‍යාපාර බුදුදහමට අනුකූල විය යුතු බවට සීමා කිරීමේ වගන්තියක් මේ වැඩසටහනේ කොන්දේසි අතර දකින්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ පොදු සේවා කලාපය තුළ පූජා නගරයට නොගැලපෙන මත්පැන් හල්, සූදුපොළවල්, ඒ වගේම ස්පා වැනි සම්බාහන මධ්‍යස්ථාන බිහි කිරීමේ අවදානමක් තියෙනවා. මොකද ඒවයේ කරන ඉදිකිරීම් සම්බන්ධයෙන් මොනවටද අවසර දෙන්නේ, මොනවටද අවසර නොදෙන්නේ කියන එක හිස් චෙක්පතක් ලබාදෙන ආකාරයෙන් නාගරික සංවර්ධන අධිකාරියට බලය පැවරීමක් සිද්ධවෙලා තිබෙනවා.

ඒ වගේම සංවේදී කලාපය තුළ නිවාස ඉදිකිරීමට අවසර දෙන බව 18A පිටුවේ සඳහන් වෙනවා. දෙමහල් නිවාස අඩි 30ක් උසට ඉදි කරන්න. මතක තියාගන්න දෙමහල් නිවාස අඩි 30ක් උසට. සාමාන්‍යයෙන් වර්තමානයේ කොළඹ නගරයේ දකින්න ලැබෙන මහල් නිවාසවලදී අඩි 30ක් කියන්නේ තට්ටු තුනේ ගොඩනැගිල්ලක්. හැබැයි මෙතන තට්ටු දෙකේ ගොඩනැගිල්ල හදන්න දෙනවා අඩි 30ක් උසට. පළවෙනි දේ ඇයි සංවේදී කලාපයේ නිවාස ඉදි කරන්න දෙන්නේ? ඒ හරහා පූජා නගරයට ඇති කරනවා අනවශ්‍ය බලපෑම. දෙවනුව, ඒ නිවාස අඩි 30ක් උසට ඉදිකිරීමෙන් නගරයේ තියෙන අධ්‍යාත්මික පෙනුමට, අර ඉංග්‍රීසියෙන් විව් කියලා කියන්නේ, ඒ ස්පිරිචුවල් විව් එක නැත්නම් ආධ්‍යාත්මික පෙනුම විනාශ කිරීමට කටයුතු සිද්ධ කරලා තියෙනවා.

මේ සියල්ලටම වඩා බෞද්ධ ජනතාව කැලඹීමට පත්වෙලා තිබෙන්නේ, සංවේගයට පත්වෙලා තියෙන්නේ, මහා සෑය වටා වැටක් ඉදිකිරීමට මෙම සැලැස්ම තුළ යෝජනා කරලා තිබෙනවා. අපි දන්නවා මහා සෑය ක්‍රමිකව අනුරාධපුර යුගයේ රජවරු විසින් සංවර්ධනය කරලා අද දස දහස් ගණනක් ජනතාවට කිසිම අපහසුවකින් තොරව මහා සෑය වඳින්න අවශ්‍ය පහසුකම් අපි නෙවෙයි එදා අනුරාධපුර යුගයේ රජවරු විසින් ඇතිකරලා තියෙනවා. ඉතින් ඒ සෑයට කවදාක්වත් බෞද්ධයන්ගේ ඉල්ලීමක් නොවුණු, රුවන්වැලි මහා සෑයේ ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමක් නොවුණු, මහා සංඝරත්නයේ ඉල්ලීමක් නොවුණු වැටක් ඉදි කරන්න මේ ආණ්ඩුව තීරණය කළේ ඇයි කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහනවා. ඒ නිසා දෙවන චේතිය රජතුමාද රුවන්වැලි සෑයට ඉදිකිරීමක් එකතු කළාය කියලා මහා වංශයට නම දාගැනීමේ අවශ්‍යතාවය උඩද, එහෙමත් නැතිනම් මහා සෑයේ තියෙන පූජනීය ආධ්‍යාත්මික පෙනුම විනාශ කිරීමට මේ බෞද්ධ ආණ්ඩුවට ඕන වෙලාද කියන ප්‍රශ්නය අපිට ඉතිරි වෙනවා.

අපි මාලිමා ආණ්ඩුවට කියන්නේ, අනාගතයේ බිහිවෙන බෞද්ධයින් සිටින බුද්ධ ශාසනය සුරකීම තමන්ගේ ව්‍යවස්ථාපිත යුතුකමක් යැයි කියන විශ්වාස කරන ආණ්ඩුවක් විසින් අනුරාධපුර පූජා නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු භාර ගනීවි. හැබැයි බෞද්ධ විරෝධී මාලිමාවට අනුරාධපුර පූජනීය නගරය කියන බෞද්ධයාගේ හදවතට අත තැබුවොත් එය මාලිමා ආණ්ඩුවට පාරාවළල්ලක් වේවි කියන අනතුරු ඇඟවීම අපි සිද්ධ කරනවා.

ශාසන විරෝධි බන්ධනාගාර නිත්‍ය නියෝග ආණ්ඩුව හකුලා ගත යුතුයි

මාලිමා ආණ්ඩුව විසින් බුදු සසුනට ගැලපෙන පරිදි බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරලා ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා සිවුරේ ප්‍රශ්නය විසඳුවාය කියලා අපි දැක්කා ආණ්ඩුවේ ඇමතිවරු පම්පෝරි ගහනවා. ඒ අය අතර මේ බන්ධනාගාර විෂය භාරව ඉන්න අධිකරණ ඇමතිතුමාත්, බුද්ධ ශාසන විෂයේ නියෝජ්‍ය ඇමතිතුමාත් කියන දෙන්නම ඉන්නවා අපි දැක්කා. හැබැයි මේ දෙන්නා නොදැන හිටියට ඒ ගැසට් මගින් ප්‍රසිද්ධ කරපු නිත්‍ය නියෝග දෝෂ සහිතයි කියලා පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා නීතිපතිතුමා අභියාචනාධිකරණයේදී පිළිගත්තා. නීතිපතිතුමා ඒ නිත්‍ය නියෝගවල තියෙන අඩුපාඩු බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා කරන්න අභියාචනාධිකරණයේදී එකඟතාවය පළ කළා. අනේ මේ අය පම්පෝරි ගහනවා, මාධ්‍යවල පොල්ගෙඩිය අකුරෙන් දාගත්තා මෙන්න මෙහෙම ගැසට් එකක් ගැහුවා කියලා අර සමහර වෙලාවට දරුවෝ ඉපදෙද්දිම මැරිලා ඉපදෙනවා. ඒ වගේ මේ ගැසට් පත්‍රය මුද්‍රණයෙන් එළියට එනකොටත් ඒක නීති විරෝධී දෝෂ සහිතයි කියලා අධිකරණය ඉදිරියේ නීතිපතිතුමා පිළිඅරගෙන ඉවරයි.

මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ? පූජනීය ඥානසාර ස්වාමීන් වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ගැලවීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කර තිබෙන රිට් පෙත්සම් පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා විභාගයට ගැනුණා. මේ අවස්ථාවේ නීතිපතිතුමා අධිකරණයට දැනුම් දුන්නේ අපි නිත්‍ය නියෝග සංශෝධනය කරලා ඉවරයි, ඒක ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට නියමිතයි, ඒ නිසා දැන් ප්‍රශ්නය විසඳලා තියෙන්නේ මේ නඩුව තවදුරටත් කරගෙන යෑම තේරුමක් නෑ කියලා. ඒ අවස්ථාවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු, නීතිඥවරු, විශේෂයෙන්ම මත් සිහිපත් කරන්න ඕනේ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මැතිතුමා, ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මැතිතුමා, ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මැතිතුමා, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මැතිතුමා, නීතිඥ භූපති කහතුඩුව මැතිතුමා ඇතුළු රටේ පිළිගත්ත කීර්තිමත් නීතිඥයෝ පිරිසක් මේ බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී හිටියා. ඒ අවස්ථාවේ මේ අය පෙන්නලා දුන්නා මේ ඉදිරිපත් කරලා තියෙන නිත්‍ය නියෝග බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට පටහැනියි.

කොහොමද පටහැනි වෙන්නේ? 356 R නමින් අලුතෙන් එකතු කරපු නිත්‍ය නියෝගයෙන් කියන්නේ සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයට එන භික්ෂූන් වහන්සේ නමක් සිවුර ඉවත් කළ යුතුද එහෙම නැතිනම් සිවුරු දරාගෙන සිරදඬුවම් විඳිය යුතුද කියන එක තීරණය කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා ඒ භික්ෂූන් වහන්සේට අදාළ සංඝ සභාවෙන් විමසිය යුතුයි කියලා. ඒ සංඝ සභාව විසින් ගන්නා තීරණය අනුව සිවුර දරාගෙන සිරදඬුවම් විඳින්න අවස්ථාව දෙනවාද, එහෙම නැත්නම් උන්වහන්සේලාව උපැවිදි කිරීම සිද්ධ කරනවාද කියන එක බන්ධනාගාරය තීරණය කරනවා. එතකොට මේ බන්ධනාගාර මේ නිත්‍ය නියෝගයේ කියනවා සංඝ සභාවට දැනුම් දී දින 10ක් ගතවුණාම පිළිතුරක් නැතිනම් ඒ අයව උපැවිදි කරනවාලු හාමුදුරුවන්ව. බන්ධනාගාර නිලධාරීන්ම බලය සංඝ සභාවේ බලය බන්ධනාගාර නිලධාරීන් පවරා ගන්නවා දින 10කින් පිළිතුරක් නැතිනම්. නීතිඥවරු අධිකරණයට පෙන්නලා දුන්නා අධිකරණය විසින් වරදකරු කළාය කියලා භික්ෂූන් වහන්සේ කෙනෙක්ගේ සිවුර ගලවන්න බෑ. ඒ සඳහා විනය පිටකයේ තියෙන අපේ සංඝ සභාවන් විසින් ඇති කරගත්ත කතිකාවත් හරහා එන වත් පිළිවෙතක් තියෙනවා, ක්‍රියාදාමයක් තියෙනවා. ඉතින් අර භික්ෂූන් වහන්සේ සංඝ සභාවේ ඉදිරියට, සංඝාධිකරණය ඉදිරියට පමුණුවලා ඒ සංඝාධිකරණය විසින් කරන විමර්ශනයකින් අනතුරුව තමයි තීරණය කෙරෙන්නේ උන්වහන්සේ සිවුර දරනවද නැද්ද කියන එක. ඒක දවස් 10කින් කරන්න පුළුවන් කටයුත්තක් නෙවෙයි, අවම වශයෙන් මාසයක් විතර ගතවෙන කටයුත්තක්ය කියන එක නීතිඥවරු පෙන්නලා දුන්නා.

ඊටත් වඩා ප්‍රශ්නයක් වුණේ නිත්‍ය නියෝග 550ට කරපු සංශෝධනය. ඒ සංශෝධනයෙන් කියන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට උන්වහන්සේ බන්ධනාගාරයට පැමිණෙන විට සිටි ආකාරයෙන් සිවුරු අන්දවා ගෙන යා යුතුයි කියලා. එහෙමනම් ඒ සිවුරු එලෙසම ඇඳ සිටීමට අවසර ලබාදිය යුතුයි කියලා තමයි ඒකේ තියෙන්නේ. දැන් 356 R වගන්තිය අනුව සංඝ සභාව විසින් භික්ෂූත්වය රැකිලාය කියලා තීන්දු කරපු සිරකරුවන් සිරදඬුවම විඳින්නේ සිවුර දරාගෙන. එහෙනම් ඒ උන්වහන්සේලා එළියට වඩිද්දී අමුතුවෙන් සිවුර අන්දන්න අවශ්‍යතාවයක් නෑ උන්වහන්සේලා කොහොමත් ඉන්නේ සිවුරෙන්. එහෙනම් මේ ආණ්ඩුව සිවුරු අන්දන්න හදන්නේ කවුද? මිනීමැරුම් කරලා, ස්ත්‍රී දූෂණ කරලා, ළමා අපචාර කරලා, තමන්ගේ නැති අධ්‍යාත්ම බලයක් පිළිබඳ ජනතාවට පෙන්නලා ජනතාව රැවටීමට ලක් කරලා පාරාජිකා වුණු භික්ෂූත්වය අහිමි වුණු අය. මේ අය තවදුරටත් භික්ෂූන් වහන්සේලා නෙවෙයි. සංඝ සභාව විසින් භික්ෂූත්වය අහිමි විය ඇතැයි තීන්දු කළ පමණින් පසු ඒ අය භික්ෂූන් වහන්සේලා නෙවෙයි. එහෙමනම් මේ මාලිමාව හදන්නේ මොකක්ද? හොරුන්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට, ළමා අපචාර කරුවන්ට සිවුරු අන්දලා ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරලා තවත් වටයකින් සිවුරේ ගෞරවය විනාශ කරන්න. මොකද මේ අය, මිනීමරුවා අය, ළමා අපචාර කළාය, ස්ත්‍රී දූෂණ කළාය, හොරකම් කළාය කියලා සමාජය දන්නවා. එවැනි අපරාධකරුවන්ට සිවුරු ඇන්දවීමේ කුමන්ත්‍රණයක මාලිමාව ඉන්නවාය කියන එක නීතිඥවරුන් අධිකරණයට පෙන්නලා දුන්නා.

එතකොට බන්ධනාගාරය ඇතුලේ භික්ෂූත්වය අහිමි වුණා කියන කෙනෙක් නැවත සිවුරු අන්දන්න මේ හරහා බන්ධනාගාර නිලධාරීන්ට බලය දෙන්න මාලිමාව කරන්නේ කුමන්ත්‍රණයක්ය කියන එක නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ පෙන්වා දීලා මේ නිත්‍ය නියෝගය හරහා තවදුරටත් ශාසනික විනාශයක් සිද්ධ වෙනවාය, ඒ නිසා බන්ධනාගාරයේ නිත්‍ය නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය තවදුරටත් උල්ලංඝනය කරනවාය කියන එක මේ නීතිඥවරුන් පෙන්නලා දුන්නා. ඒ අවස්ථාවේ නීතිපතිතුමා මේ දෝෂය පිළිඅරගෙන ඒ පිළිබඳ බන්ධනාගාර ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡා කරලා දැනුම් දෙන්න පොරොන්දු වුණා, ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මාසේ 18 වෙනිදා දක්වා කල් තැබුවා.

අපි අවධාරණය කරන්න ඕනේ මාලිමා ආණ්ඩුවට, අපි පහුගිය කාලේ සටන් කළේ කුඩාපොළ හාමුදුරුවන්, උඩකැන්දවල සරණංකර හාමුදුරුවන්, ඥානසාර හාමුදුරුවන් වගේ රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කරලා සිරබත් කන භික්ෂූන් වහන්සේලාට සිවුරු දැරීමේ අයිතිය රැකගන්න මිස මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර කරලා භික්ෂූත්වය අහිමි කරගත් අපරාධකරුවන්ට සිවුරු දැරීමේ අයිතියක් ලබා දෙන්න නෙවෙයි කියන එක අපි මාලිමා ආණ්ඩුවට සිහිපත් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img