මේ වන විට මරණ දඬුවමට නියම වී සෞදි අරාබියේ බන්ධනාගාර ගත වී සිටින සිවරාසන් අනෝජන් මහතාගේ තත්ත්වය සොයා බැලීමට සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති අමීර් අජ්වඩ් මහතා අද(08) දින එම බන්ධනාගාරයට ගොස් ඇති බව වාර්තා වේ.
අනෝජන් මහතා හමුවූ බවත් ඔහු හොඳින් සිටින බවත් සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපතිවරයා එහි ගොස් සිටින ශ්රී ලංකාවේ විශේෂ නීතිඥ කණ්ඩායමට ප්රකාශ කර තිබේ.
සෞදි අරාබියේ රියාද් නුවර සිට කිලෝමීටර් හාරසිය පනහක් පමණ දුරින් අනෝජන් මහතා රඳවා සිටින බන්ධනාගාරය පිහිටා ඇති අතර එහි ගොස් එම තොරතුරු දුරකථන මාර්ගයෙන් තානාපතිවරයා විසින් ශ්රී ලංකාවෙන් ගොස් සිටින විශේෂ නීතිඥ කණ්ඩායමට දැනුම් දී තිබේ.
අනෝජන්ට නිදහස ලබාගැනීමට අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මෙරට විශේෂ නීතීඥ කණ්ඩායමක් මේ වන විට සෞදි අරාබියට ගොස් තිබේ.
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ මරණ දඩුවම නියමවී ඇති බව පැවසෙන සිවරාසා අනෝජන්ට නිදහස ලබාගැනීම සහ ඉදිරි නීති කෘත්ය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ නීතීඥ කණ්ඩායමක් පසුගිය (06) දින සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබුණි.
මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන අසාද් නවාවි, ජනාධිපති නීතීඥ හෆීල් ෆාරීස් සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම ඇතුලත් වේ.
සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන යම් යම් ගැටුම්කාරී තත්ත්වයන්ද නොසලකා මෙම පිරිස අනෝජන් බේරා ගැනීමේ මෙහෙයුම සඳහා පිටත්ව යෑම විශේෂත්වයකි.
විශේෂයෙන්ම පසුගිය දිනවල සෞදි අරාබියේ ඇතැම් ඇමරිකානු ඉලක්ක වෙත ප්රහාර කිහිපයක් එල්ල වී තිබූ අතර එම ප්රහාර සහ එහි වර්තමාන තත්ත්වයන්ද නොසලකා හරිමින් මෙම පිරිස අනෝජන් බේරා ගැනීමේ මෙහෙයුමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.






















