Wednesday, September 9, 2026
HomeNEWSආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්.

අද ඇතැම් පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි, අධිකරණ ඇමතිවරයා දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම. ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංවිධානයටයි. ඉතාමත් අපහාසාත්මක ලෙස අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සභා ගැබේ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ගැන කතා කරනවා. ඒක ප්‍රයිවට් ක්ලබ් (Private Club) එකක්, පුද්ගලික ක්ලබ් එකක් කියනවා. ඒකට බැඳෙන්නේ සල්ලි ගෙවලලු. අන්න ඒ විදියට ඉතාමත් සැහැල්ලුවට ලක් කරලා තමයි අධිකරණ ඇමතිවරයා ලෝකය පිළිගත් මේ සංවිධානය ගැන පාර්ලිමේන්තුවේ කතා කළේ.

මේ සංවිධානය කිසිසේත් ප්‍රයිවට් ක්ලබ් එකක් නොවෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල්වල නීතිඥ වෘත්තිය, නීතිඥ වෘත්තිකයින් නියෝජනය කරන ජගත් ගෞරවයට පාත්‍ර වෙලා තිබෙන සංවිධානයක් තමයි, පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය.

ඔවුන් ප්‍රකාශ කරන මත පිළිබඳ ගෞරවයක් තිබෙනවා, ගාම්භීරත්වයක් පවතිනවා.  මේක නිග්‍රහයට පත් කරන්නේ සල්ලි ගෙවන නිසා යයි කියනවා. එහි සාමාජිකත්වය ලබාගන්නේ සල්ලි ගෙවලා. ඒ නිසා තමයි මේක පිළිකුල් සහගතව බැහැර කරන්නේ. මම දන්නේ නැහැ අධිකරණ ඇමතිවරයා දන්නවාද කියලා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප සාමාජිකයන් වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට රටවල් හැම අවුරුද්දෙම මුදලක් ගෙවනවා. එක් එක් රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන අතර, ඒ සංවිධානයට ගෙවන මුදල කුමක්ද කියලා තීරණය කරන්නේ නිව්යෝර්ක්හී තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාවයි.

ඒ නිසා ඒක වැඩක් නැති සංවිධානයක් වෙනවාද? අප සල්ලි ගෙවනවා, ශ්‍රී ලංකා රජය සල්ලි ගෙවනවා. ඒ සාමාජිකත්වය සඳහායි. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ විශේෂඥ සංවිධාන රාශියක් තිබෙනවා. ඒ හැම එකකම සාමාජිකත්වය ශ්‍රී ලංකාව දරනවා. හැබැයි ඒවටත් සාමාජිකත්වය වෙනුවෙන් මුදලක් ගෙවනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල වැඩ කොටසක් කරනවා. දැන් මේ රටේ පුරවැසියෙකුට අවශ්‍ය වෙලාවට රජයේ රෝහලකට යන්න බෑ, යම් යම් කොන්දේසි දානවා. සමහර වෙලාවට ගෙදර ඉදන් අවශ්‍ය ප්‍රතිකාර ගන්න ඕනෑ. ජීවිතය බේරා ගැනීම සඳහා අවශ්‍ය ඖෂධ ලොකු හිඟයක් තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ සියල්ලක්ම සම්බන්ධයෙන් පසුගිය දශක කිහිපය තුළ අපට කොච්චර උදව් ලැබුණාද ? ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයටත් අප මුදලක් ගෙවනවා. ඊළඟට ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගනිමු. මේ රටේ 1936 සිට සූරියමල් වැඩපිළිවෙළ තිබුණා. කම්කරු අයිතිවාසිකම් රැක ගැනීම සඳහා අමිල සේවයක් ජාත්‍යන්තර කම්කරු සංවිධානය කරනවා.

හැබැයි අප ඒකටත් මුදලක් ගෙවනවා. ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ඒකෙ මධ්‍යස්ථානය තිබෙන්නේ රෝමයේයි. කෙතරම් සහනයක් ඒ සංවිධානයෙන් ලැබුණද ?

උදව්වක් අපට ලැබුණද ඒ කියන්නේ අපේ රටේ තියෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න බලන්න. පොහොර නිෂ්පාදන මිලවත් නොලැබීම, බීජ, ඵලදායිතාවය. මේවා සියල්ලක්ම සම්බන්ධයෙන් තාක්ෂණය, උපදෙස්, මූල්‍ය සම්පත් අපිට කාලාන්තරයක් තිස්සේ ලැබිලා තිබෙනවා ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒකාබද්ධ විශේෂඥ සංවිධානයෙන්.

එතකොට ඒ සංවිධානයේ කාර්යභාරයට අයිති වෙනවා ධීවර ජනතාවගේ සුභසිද්ධිය. අපිට මේ රටේ මුහුදු තීරයවත් ආරක්ෂා කර ගැනීමට ශක්තියක් තියෙනවාද? අපේ රටේ මත්ස්‍ය සම්පත? එතකොට මේ රටේ ධීවර ප්‍රජාවගේ ජීවන මට්ටම අවම ප්‍රමාණයකටවත් රැක ගැනීම සඳහා අසමාන සේවයක් අපිට ලැබුණා ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන්. අපි මුදලක් ගෙවනවා, නැතුව නොවෙයි.

එතකොට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය (UNESCO). ඒකෙ මධ්‍යස්ථානය තියෙන්නේ පැරිස්වල. ප්‍රංශයට අපි යවලා තියෙන ශ්‍රී ලංකා තානාපතිතුමා විශේෂයෙන්ම මේ සංවිධානයට යොමු කරලා තිබෙනවා.

එතකොට දැන් රජය කියනවනේ අලුතෙන් විශ්වවිද්‍යාල 50 ක් හදන්න යනවා කියලා. ඉතින් එතකොට මේ සංවිධානයේ අවවාද හා සහයෝගය අපිට අවශ්‍ය නැද්ද? හැබැයි අප මුදලක් ගෙවනවා. ඉතින් මේ නිග්‍රහය, මේ අවමානය? මුදලක් ගෙවනවා ඒ හින්දා ඒකෙ වෙනසක් නෑ. ඒක පිළිකුල් සහගතව බැහැර කිරීමක්, ප්‍රතික්ෂේප කිරීමක්. මොකක්ද ඒ මිනුම්දණ්ඩ? ගෙවනවා නම්, එහෙනම් අපි ඇයි ගෙවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට? ඒකෙනුත් අපි ඉවත් වෙමුද මුදලක් ගෙවන්න තියෙන නිසා?

මේ මම නම් කරපු අනිත් ඔක්කොම විශේෂඥ සංවිධාන. ඒවයින් අපිට ඕනේ නෑ කිසි සහයක්, අවශ්‍ය නෑ, ඇයි අපි මුදල් ගෙවනවනේ? ඉතින් එහෙනම් ඒවා ඔක්කොගෙන්ම අපි ඉවත් වෙමුද? මොකක්ද මේ කතාවේ තේරුම?දැන් ඒ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ මේකයි. මේක සම්පූර්ණ අනවබෝධය. මේ ගැන දන්නේ නැතිකම.

එතකොට මේ විදියට මේ සියලු සංවිධාන අපහාසාත්මක විදියට ප්‍රතික්ෂේප කිරීම නිසා හානියක් වෙන්නේ ඒ සංවිධානවලට නොවෙයි. පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංවිධානයට නොවෙයි. මේකෙන් විශාල අගතියක් සිදුවන්නේ අපේ රටට, වෙන කාටවත් නොවෙයි.

ලෝකයේ හුදෙකලාව ජීවත් වීමට අපිට ශක්තියක් තියෙනවාද? අපේ ආර්ථිකය ගොඩනැගීමට විදේශීය සංවිධානවලින් අපිට උපකාර ලැබුණේ නැද්ද? එතකොට අපි තනියමද මේ ලෝකයේ ජීවත් වෙන්නේ? එතකොට මේ ආකල්පය ඉතාමත් ඛේදනීය ආකල්පයක්. ඒවා අපි සල්ලි ගෙවන ප්‍රයිවට් ක්ලබ්. ස්වාධීනත්වය ලබාගත් දවසේ ඉඳන් අද දක්වා මේ ඔක්කොටම අපි සල්ලි ගෙවනවා.

ඉතින් මම කියන්නේ, මේකෙන් තක්සේරු කරගන්න බැරි අවාසියක් වෙනවා. ඒ කාටවත් නෙවෙයි, අපිට. ඒ අවාසිය අපිට කියන්නේ ආණ්ඩුවට නොවෙයි. මේ රටේ ජනතාවට තමයි විශාල අගතියක් වන්නේ. මේ විදියට කිසිම වගකීමකින් තොරව, දැනුමකින් තොරව, අත්දැකීම්වලින් තොරව වෙන කොහෙවත් නෙවෙයි, පාර්ලිමේන්තුවේ සභා ගැබේ කරන මේ ප්‍රකාශවල ඍජු ප්‍රතිඵලයක් වශයෙන් විශාල අවාසියක් සිදුවීමට තව දශක ගණනක් නොවෙයි, නුදුරු අනාගතයේ අපේ රටට සිද්ධ වෙනවා.

දැන් ලෝක ප්‍රසිද්ධ විනිශ්චයකාරවරයෙක් ප්‍රකාශයක් කළා,

“Justice is not a cloistered virtue.”

එහි අර්ථය වන්නේ, යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ජනතාවගෙන් බාහිරව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි යන්නයි.

උසාවිය තියෙන්නේ ජනතාවට යුක්තිය ලබා දෙන්නයි. එතකොට ඒ ක්‍රියාදාමය සම්බන්ධයෙන් අනිවාර්යයෙන් සම්පූර්ණ විනිවිදභාවය හා විවෘතභාවය තිබිය යුතුයි. ජනතාවට යුක්තිය සපයා දීම සඳහා අධිකරණය දියත් කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ජනතාව හමුවේ තියෙන්න ඕනෑ. ජනතාව අඳුරේ තියන්න බැහැ.

එතකොට ඒ සියලුම කරුණු පූර්ණ දැනුමක් ඇතිව ජනතාවගේ විමසිල්ලට භාජනය විය යුතුයි. කුතුහලය, කතාබහ ඒ සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ උනන්දුවක්, උද්යෝගයක් තියෙන්න ඕනෑ. එහෙම නොමැතිනම් අධිකරණ ශාලාවට සීමා කරලා, ඒ ගැන සමාජයේ කිසිවෙක් දන්නෙත් නැතිව කරන්න පුළුවන් ක්‍රියාදාමයක් නොවෙයි යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය.

අනන්ත අප්‍රමාණ බලාත්මක නඩු තීන්දු තිබෙනවා අපේ රටේ හා ජාත්‍යන්තර මට්ටමේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය ලක්ෂණ තමයි ඒ අධිකරණ ක්‍රියාදාමය ජනතාවට සමීප වීම, ජනතාවගේ දැනුම, අනුමැතිය, ඒ සියල්ලකටම යටත්ව සිදුවිය යුතු ක්‍රියාදාමයක් වීම. ඒකාධිපති රාජ්‍යවල නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉතාමත් උවමනා ගති ලක්ෂණයක් හැටියට හඳුන්වා දීලා තිබෙනවා මුළු ලෝකයේම ප්‍රසිද්ධ නඩු තීන්දුවල පවා, මේ රටේ පමණක් නොවෙයි.

දැන් මේ 22 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය නොබෝ දිනකින් කථානායකතුමාට ලැබීමට නියමිතයි. අපි හුඟක් දුරට බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ විවාදය අඟහරුවාදා, සැප්තැම්බර් 22 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී සිදුවෙයි කියලා

ඒ නිගමනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලය රහසිගතව යවන්න ඕනේ කථානායකතුමාට. කථානායකතුමා ඒක ප්‍රකාශයට පත් කරනවා පාර්ලිමේන්තුවේ සැසිවාරය ඇතුළත. එසේ වූවායින් පසුව තාක්ෂණික මට්ටමකින් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය පිළිබඳ අපි සවිස්තර විග්‍රහයක් ඉදිරිපත් කරනවා ජනතාවගේ දැනුම සඳහා. ඒක අපේ යුතුකමක්, ජනතාව දැනගන්න ඕනෑ. ජනතාවට බාහිරව ඒ කිසිවක් කරන්න පුළුවන්කමක් නැහැ.

ඒ විශ්ලේෂණය අපි ඉදිරිපත් කරනවා මේ නිගමනය ප්‍රකාශයට පත් කළායින් පසුව. හැබැයි දැනටම මේ අවස්ථාවේදී මෙතෙක් දුරට අනුගමනය කළ ඒ ක්‍රියාදාමයේ යම් යම් කරුණු සම්බන්ධයෙන් අපේ අදහස් ජනතාවට ඉදිරිපත් කිරීම අපේ යුතුකමක් හැටියට අපි සලකනවා.

දැන් මේ 22 වන සංශෝධනයට පටහැනිව මමත් පෙත්සම්කාරයෙක් හැටියට උසාවි ගියා. ඔක්කොම පෙත්සම් තිබුණා 67ක්. වාර්තාගත සංඛ්‍යාවක්. මේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට. එතකොට මීට ඉස්සෙල්ලා සංශෝධන 21ක් තිබුණා. කිසිම අවස්ථාවකදී පෙත්සම් 67ක් ඉදිරිපත් වුණේ නැහැ.

එතකොට මමත්, මගේ නීතිඥ මහත්මයා (ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහත්මයා) හරහා අපි ඉල්ලීමක් කළා මේ නඩුව පූර්ණ විනිශ්චය මණ්ඩලයක් විසින් විභාග කරන්න ඕනෑ කියලා. මං හිතන්නේ ඒ වෙනකොට නීතිඥ සංගමයත් ඒ විදියේ ඉල්ලීමක් කළා. ඒ පෙත්සම්කරුවන් 67 දෙනාගෙන් අතිබහුතරය ඉල්ලා සිටියා මේ විනිශ්චයකාරවරුන් කීපදෙනෙක් නෙවෙයි, අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිශ්චයකාරවරුන් මේ වැඩ කටයුත්තට ඍජුව සම්බන්ධ විය යුතුයි කියලා.

අර මං ඉස්සෙල්ලා සඳහන් කරපු මූලධර්මය; යුක්තිය පසිඳලීමේ විවෘතභාවය හා විනිවිදභාවය කියන ඒ ප්‍රතිපත්තියේ නාමයෙන් අපිට යුතුකමක් තියෙනවා අපි පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලුවේ  ඇයි කියලා ජනතාවට කියන්න. අහම්බෙන් නොවෙයි, ඉතාමත් ප්‍රබල සාධක පදනම් කරගෙනයි.

මේකට පූර්වාදර්ශ අපේ රටේ තිබෙනවා. මේ ප්‍රථම වතාවට නෙමෙයි අපි එහෙම ඉල්ලීමක් කළේ. 1983 දී 6 වන සංශෝධනය ඉදිරිපත් වුණා. ඒකේ හරය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් දිවුරුම් දෙන්න ඕනෑ ජනාධිපතිවරයා ඉදිරියේ නොවෙයි, සහෝදර විනිශ්චයකාරවරුන්ට ඉදිරියේදීයි. ඉතින් ඒක මෙතෙක් දුරට තිබුණු සම්ප්‍රදායෙන් ඍජුව බැහැර වීමක්. ඒක නීත්‍යානුකූලද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියන්න පුළුවන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් දිවුරුම් දිය යුත්තේ රටේ ජනාධිපතිවරයා ඉදිරියේ නොවෙයි, තවත් විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ කියලා?

ඒක බැලූ බැල්මට අමුතු දෙයක්. ඒක නීත්‍යානුකූලද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, පටහැනිද? කේන්ද්‍රීය වැදගත්කමකින් යුක්ත ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය සලකා බැලීම සඳහා එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි සියලුම විනිශ්චයකාරවරුන් සම්බන්ධ විය යුතුයි කියලා නෙවිල් සමරකෝන් අග්‍රවිනිශ්චයකාරතුමා තීරණය කළා.

1983 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටියේ විනිශ්චයකාරවරුන් නවදෙනයි. කාවත් අතහැරියේ නැහැ. සියලුදෙනාම මේ කටයුත්තට ඍජුව සම්බන්ධ වෙන්න ඕනෑ, ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඕනෑ, ඒගොල්ලන්ගේ අවධානය යොමු කරන්න ඕනෑ නවදෙනාම… පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණය! එසේ කළ යුතුයි කියලා ඒ කාලේ හිටපු අග්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන් මැතිතුමා තීරණය කළා.

1987 දී ඒ වගේම වැදගත් කාරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ආවා. ඒ කියන්නේ 13 වන සංශෝධනයේ වලංගු භාවය හා පළාත් සභා ස්ථාපිත කිරීමේ පනත. එදා ශර්වානන්ද අග්‍රවිනිශ්චයකාරතුමා තීරණය කළා, මේක අපේ රටේ අනාගතයට, අපේ පාලන ව්‍යුහයට විශාල ලෙස බලපාන දෙයක් කියලා. ඒ නිසා විනිශ්චයකාරවරුන්ගෙන් කොටසක් නොවෙයි, තෝරා බේරාගත් කොටසක් නොවෙයි, සෑම විනිශ්චයකාරවරයෙක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න, මේකට කෙළින්ම සම්බන්ධ විය යුතුයි කියලා එදා හිටපු නවදෙනාම මේ කර්තව්‍යයට යොමු කළා ශරවානන්ද ගරු අග්‍රවිනිශ්චයකාරතුමා විසින්.

මේකට පූර්වාදර්ශ තියෙනවා. අපේ දැඩි විශ්වාසය වුණේ ඊටත් වඩා වැදගත් දෙයක් තමයි මේ 22 වන සංශෝධනය. ඒ නිසා ඒ කාලේ හිටපු අග්‍රවිනිශ්චයකාරවරුන් සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වැඩ කටයුත්තට යොමු කළා සේ, මේ 22 වන සංශෝධනයේ නීත්‍යානුකූල භාවය තීරණය කිරීම සඳහා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාත්මක වන සියලුම විනිශ්චයකාරවරුන් සම්බන්ධ විය යුතුයි කියන ඉල්ලීම තමයි අපි ඉතාමත් ඕනෑකමින් කළේ.

ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා ඒකට හේතු සඳහන් කළෙත් නොමැතිව ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට පූර්ණ විනිශ්චයාසන මණ්ඩලයක් නොවෙයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පත් කළා.

දැන් අතීතයේ සමහර අවස්ථාවලදී හිටපු අග්‍රවිනිශ්චයකාරවරුන් සමහර විට පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණයක්, සියලුම විනිසුරුවරුන් යොමු නොකළත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත්දෙනෙකුගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් පත් කරපු අවස්ථා තිබුණා.

2018 දී ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවපු අවස්ථාවේ ඒක නීත්‍යානුකූලද කියලා ඒ ප්‍රශ්නය සලකා බැලීම සඳහා එදා සිටි නලින් පෙරේරා අග්‍රවිනිශ්චයකාරතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත්දෙනෙකු යුත් විනිශ්චය මණ්ඩලයක් පත් කළා.

ඒ වගේම 2023 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවුණානේ, මං හිතන්නේ 270ක් විතර. එතකොට එවැනි ඛේදවාචකයක් සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා ජයන්ත ජයසූරිය අග්‍රවිනිශ්චයකාරතුමා විනිසුරුවරුන් හත්දෙනෙකු සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයක් පත් කළා.

මේ අවස්ථාවේදී විනිසුරුවරුන් පස්දෙනයි. දැන් මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අහනකොට ඒකේ දෙවන දිනයේ නිරීක්ෂකයෙක් හැටියට සාමාජික වුණා පොදුරාජ්‍ය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරූ මැතිතුමා. එතුමා දැකපු, අහපු සියලුම දේවල් පාදක කරගෙන නිල වාර්තාවක් එතුමා ඒ සංවිධානය වෙනුවෙන් සකස් කළා. ඒ නිල වාර්තාවේ නිගමන කීපයක් තිබෙනවා.

එකක් තමයි එතුමා කනස්සල්ල ප්‍රකාශ කළා මේ විදියේ වැදගත් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් පත් නොකිරීම ගැන. ඒ විතරක් නොවෙයි, තව වැදගත් දෙයක් තියෙනවා.

දැන් පත් කළා විනිසුරුවරු පස්දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක්. කොහොමද ඒ විනිසුරුවරු පස්දෙනා තෝරාගත්තේ?

ඒ නිල වාර්තාවේ, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ නිල වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා ජ්‍යෙෂ්ඨත්වය අනුව නෙමෙයි ඒ විනිසුරුවරුන් තෝරා බේරා පත් කරගත්තේ කියලා.

ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් අතහැරලා ඊට හුඟක් කනිෂ්ඨ විනිසුරුවරුන් පත් කළ බව ස්ටීවන් තිරූ මැතිතුමාගේ නිල වාර්තාවේ සඳහන් වෙනවා. දැන් කවුරුත් පිළිගන්නවා මේ පිළිබඳ අභිමතය තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි ගරු අග්‍රවිනිශ්චයකාරතුමාටයි කියලා. හැබැයි ඒ අභිමතය භාවිතා කිරීමේදී මොකක්ද මිනුම්දණ්ඩ? මිනුම්දණ්ඩ ජ්‍යෙෂ්ඨත්වය නොවෙයි. ඉතින් එහෙමනම් මොකක්ද ප්‍රමිතිය? ඔය විදියටද ඒ තීරණය කරන්නේ? අන්න ඒ ප්‍රශ්නය බොහොම ඍජුව, අවධාරණාත්මකව ඒ පොදුරාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයේ සභාපතිතුමා ඒ ප්‍රශ්නය මතුකරනවා.

දැන් ඒ වගේම අද ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාත්මක වෙනවා විනිසුරුවරුන් 13 දෙනෙක්. 17 දෙනෙක් සිටිය යුතුයි, පුරප්පාඩු 4ක් තියෙනවා. එතකොට දැන් ඉන්නේ 13 දෙනයි. 13 දෙනාගෙන් පත් කරලා තියෙන්නේ මේ නඩුව ඇසීම සඳහා පස්දෙනෙක් පමණයි.

ඒ කියන්නේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ සංහතියේ 62%කට වඩා විනිසුරුවරුන්ගේ, විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ මතය මේ සම්බන්ධයෙන් මොකක්ද මොකක්ද හිතන්නේ, ඒ විනිසුරුවරුන්ගේ නිගමනය කුමක්ද කියන එක පිළිබඳ කිසිම ඉඟියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හෝ ශ්‍රී ලංකා ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒක තමයි තත්ත්වය.

එතකොට මේ සියල්ල මේ රටේ ජනතාවට ඉතාමත් වැදගත්. මේ ගැන සියලුම තොරතුරු ලබා ගැනීමට අපේ රටේ ජනතාවට, නීතිඥවරුන්ට පමණක් නොවෙයි, සිවිල් සමාජයට, විශ්වවිද්‍යාලයට, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය පිළිබඳ උනන්දුවක්, උද්යෝගයක් දක්වන සියලුම දෙනාට මේක අතිශයින් වැදගත් කරුණක් වෙනවා. දෛනික ජන ජීවිතයට ඍජුව බලපාන කරුණක් වෙනවා ඒ රට තුළ. හැබැයි ජාත්‍යන්තර වශයෙන් මේකේ ඉතාමත් වැදගත් ඵලවිපාක තිබෙනවා.

දවස් දෙකකට පෙර, සැප්තැම්බර් 7 වෙනිදා ආරම්භ වුණා ජිනීවා නගරයේ පිහිටා තිබෙන මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරය. එතනදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මැතිතුමා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ අඩංගු වෙනවා බොහොම ප්‍රබල විවේචන. අපේ රට පිළිබඳ විවේචන රාශියක් ඒකේ කෙළින්ම අන්තර්ගත වෙලා තිබෙනවා.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නොවෙයි, ඊට වඩා හුඟක් බරපතල යුධ අපරාධ පිළිබඳ වගවීම හෝ වගවීමක් නැතිවීම සම්බන්ධයෙන් චෝදනා මහ කොමසාරිස්තුමාගේ වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා.

ඒක භයානක තත්ත්වයක්. ඇයි? ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ස්ථාපිත කරලා තිබෙනවා විශේෂ යන්ත්‍රණයක් අපේ රට සම්බන්ධයෙන්. වෙන රටවල්වලට ඒක නැහැ, ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගෙන අපේ රටේ ඒගොල්ලෝ චෝදනා කරන යුධ අපරාධ—අපි පිළිගන්නේ නැහැ ඒවා, ඒගොල්ලෝ චෝදනා කරන යුධ අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි සොයන්න, ඒ සාක්ෂි ලබා ගැනීමට ඒ නිලධාරීන්ට ලෝකේ හැමතැනම ගිහිල්ලා ඒකට විශාල අරමුදලක් ස්ථාපිත කරලා, එහෙම වැඩපිළිවෙලක් මානව හිමිකම් කවුන්සිලය දියත් කරලා තිබෙනවා.

එතකොට ඒ ලබාගන්නා සාක්ෂි පදනම් කරගෙන විශ්ව අධිකරණ බලය පාවිච්චි කරමින් අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ නායකයින්ට, අපේ සෙබළුන්ට, අපේ දේශපාලන නායකයින්ට එරෙහිව විදේශීය අධිකරණ ඉදිරියේ නඩු පැවරීමේ වැඩපිළිවෙලක් ඒගොල්ලෝ කරගෙන යනවා.

මෙතෙක් දුරට අපේ රටේ ස්ථාවරය වුණේ මේ කිසිවකට කිසිම සාධාරණ ඉඩකඩක් නැහැ. ඒ මොකද? මොකක්ද ප්‍රධාන හේතුව? අපේ රටේ තියෙනවා සම්පූර්ණයෙන් ස්වාධීන අධිකරණයක්. සෑමදෙනාගේම විශ්වාසයට, ගෞරවයට පාත්‍ර වූ සම්පූර්ණයෙන් ස්වාධීන ශ්‍රේෂ්ඨාධිකරණයක්, අධිකරණයක් මේ රටේ තියෙනවා. ඒ හින්දා කවුරුත් මේකට අතපොවන්න ඕනෑ නැහැ, අපි ඒකට ඉඩදෙන්නෙත් නැහැ.

බාහිර බලවේගවලට මෙතන ඉඩක් නැහැ, අපේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒකේ අභිමානය, ගරුත්වය, ස්වාධීනත්වය පිළිබඳ කිසිම සැක සංකාවක් නැහැ. ඒ නිසා මේක අභ්‍යන්තර කටයුත්තක් කියන ස්ථාවරය තමයි මෙතෙක් දුරට සෑම රජයක්ම ජිනීවා කවුන්සිලය ඉදිරියේ ඉදිරිපත් කළේ.

දැන් ප්‍රථම වතාවට මේ ආණ්ඩුවේ 22 වැනි සංශෝධනය පිළිබඳ ක්‍රියාදාමය නිසා ඒ පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇතිවෙලා තිබෙනවා. ඒ තුළින් ඉතාමත් බිහිසුණු ප්‍රතිවිපාක ජනිත වනවා. අපි මෙතෙක් දුරට අධිකරණයේ ස්වාධීනත්වය පාවිච්චි කළේ රට ආරක්ෂා කරගැනීම සඳහා පලිහයක් හැටියට, බොහොම ශක්තිමත් පලියක් හැටියට. හැබැයි ඒ පලිහ දැන් දුර්වල වෙනවා.

එදා ආත්ම ශක්තිය එක්ක ඒ පලිහය පාවිච්චි කරමින් අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරපු තර්ක තවදුරටත් ඒ විදිහටම ඉදිරිපත් කිරීමට බැරි වෙනවා රජය ගෙන එන සංශෝධනය හරහා ඇති කරලා තිබෙන මේ ව්‍යාකූල තත්ත්වය නිසා. එනිසා මේක වලක්වන්න පුළුවන් දෙයක් නොවෙයි.

මේ ක්‍රියාදාමය නිසා ඉතාමත් අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට, විවිධ බරපතල දුෂ්කරතාවලට ජාත්‍යන්තර මට්ටමෙන් මුහුණ දීමට අපේ රටට, ඒ කියන්නේ අපේ ජනතාවට සිදු වන බව නිශ්චිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා සිදු කළ ප්‍රකාශය.

පළමුව මට කියන්න ඕනකම තිබෙන්නේ, විරුද්ධ පක්ෂයේ අපි නොවෙයි, නමුත් මේ වෙනකොට ගරු ජනාධිපතිතුමාම තීන්දු කරලා තිබෙනවා, මේ රටේ ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වීමක් ඇති වෙලා තියෙනවා කියලා.

ගරු ජනාධිපතිතුමාම මං දන්නේ නැහැ එතුමාට ලැබෙන විවිධ (NIB) වාර්තා අනුවද මං දන්නේ නැහැ. කෙසේ වෙතත් එතුමාම තීන්දු කරලා තිබෙනවා, එතුමාගේ ඇමති මණ්ඩලය, ඒ ඇමතිවරුන්ට බාර දීපු ක්ෂේත්‍ර නිවැරදිව කළමනාකරණය කරගත්තේ නැති නිසා, කෘෂිකර්මය වේවා, සෞඛ්‍යය වේවා, අධිකරණය වේවා, වරාය වේවා, ප්‍රවාහනය වේවා, ඒ හැම ක්ෂේත්‍රයකම විසඳුම් වලට වඩා ප්‍රශ්න වැඩි වෙලා, ඒ ක්ෂේත්‍ර වල ජනතාව කලකිරීමට පත් වෙලා තිබෙනවා කියලා එතුමාම තීන්දු කරලා තිබෙනවා. ඒ නිසා තමයි, මැතිවරණයක් ළඟ පාතක නැහැ, හරියට මැතිවරණයක් තිබෙනවා වගේම එතුමා දැන් රට පුරාම රැලි තියාගෙන යන්න පටන් අරගෙන තියෙන්නේ.

බුලත්සිංහල සහ බේරුවල එතුමාගේ රැලි වල කතා දිහා බැලුවාම මට හිතුනේ, ‘මේ ජනාධිපතිවරණයක් රටේ ළඟ එනවාද?’ ‘පාර්ලිමේන්තු මැතිවරණයක් එනවාද?’ මොකද එතුමා විරුද්ධ පක්ෂයට පහර දුන්නේ, විරුද්ධ පක්ෂය විවේචනය කළේ, හරියට මැතිවරණ සමයක කතා කරනවා වගේ. එතුමා එතුමාගේ රජයේ අවුරුදු දෙකක ප්‍රගතිය ගැන කියන්න ගිය රැස්වීමක් නොවෙයි ඒ. ප්‍රගතිය පිළිබඳව, ආණ්ඩුවේ කරපු වැඩ පිළිබඳව කියන්න දෙයක් ඇත්තෙත් නැහැ බලන් ගියාම. නමුත්, ඒ රැස්වීම් වල එතුමා කතා කළේ හරියට මැතිවරණයක පක්ෂ නායකයෙක් කතා කරන ස්වරූපයෙනුයි.

ඉතින් ඒ නිසා විරුද්ධ පක්ෂයේ අපි වටහා ගන්නට ඕනේ, මේ රැලි වටයක් ලංකාව පුරාම එතුමා යන්නේ, එකක් එතුමාගේ කණ්ඩායම ෆේල්, අසමත්. අපි නොවෙයි, එතුමාම තීන්දු කරලා තියෙනවා එතුමාගේ ආණ්ඩුව අසමත් කියලා. ඒ නිසා, මේ අසමත් ආණ්ඩුව පිළිබඳව ජනතාව අද කලකිරීමට පත් වෙලා ඉන්නවා. ‘මේ හින්දා මම ගිහිල්ලා, මගේ ඇමති මණ්ඩලය මේ පිස්සු නටලා තිබෙනවා, මගේ ඇමති මණ්ඩලය හරියට මේ වැඩ කටයුතු කරලා නැහැ. ඒ නිසා මම ගිහිල්ලා දැන් ඒවා හෝදන්න ඕනෑ, මම ගිහිල්ලා ඇත්ත නැත්ත කරලා, බොරුව ඇත්ත වගේ කියලා හරි, මේ ආණ්ඩුව ඉදිරියට යාම සඳහා මම රට පුරාම යන්න ඕනෑ’ කියන එක මත තමයි එතුමා ඒ ගිහිල්ලා තිබෙන්නේ.

විරුද්ධ පක්ෂයේ අපිටත් හැබැයි එතුමාගේ ඒ ගමනෙන්, ඒ රැලි වලින් ඉගෙන ගන්න පාඩමක් තිබෙනවා. කළුතරදී, බේරුවල හරි බුලත්සිංහලදී හරි, එතුමා කිව්වා විරුද්ධ පක්ෂයට ඇඟිල්ල දික් කරලා, විරුද්ධ පක්ෂයේ සමහර අය කියනවා මේ 22 වැනි සංශෝධනයෙන් පස්සේ මේ ආණ්ඩුවේ මම ජනමත විචාරණයක් තියලා මගේ කාලය දික් කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා, මට එහෙම පිස්සුවක් නැහැ. එතුමා කිව්වා, ‘මම දන්නවා ජනමත විචාරණයක් තිබ්බොත් විරුද්ධ පක්ෂයේ ඔක්කොම අය එකතු වෙනවා. එකතු වුණොත් මට ජයග්‍රහණය කරන්න බැහැ. ඒ නිසා මම ජනමත විචාරණය තියන්නේ නැහැ. මම ජනාධිපතිවරණය වගේ එකක් තියනවා, මොකද එතකොට විරුද්ධ පක්ෂයේ පස් හය දෙනෙක් සූට් මහගෙන ඉන්නවා ජනාධිපති වෙන්න. එතකොට මට දිනාගන්න ලේසියි.’ කියලා.

හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මැතිතුමා පළ කළ අදහස්.

කාරණය නම් ඉතාම පැහැදිලියි. ඒ නිසා තමයි අපි දකින්නේ මේක අධිකරණයේ මළගම කියලා. නමුත් මේ අධිකරණයේ මළගම පමණක් නොවෙයි. මේක මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ මළගම විදියට අපිට සලකනු ලබන්න පුළුවන්.

ඇයි අපි එහෙම කියන්නේ? විශේෂයෙන්ම මෙහිදී අපි අවධාරණය කරන්න ඕන, මේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන එන අවස්ථාවේදී, මේ රටේ මහා විහාර සම්ප්‍රදාය නියෝජනය කරන, මේ රටේ බෞද්ධ ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් වන, මේ රටේ මහා නායක ස්වාමීන් වහන්සේලා හතර නම මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කළා.

ඒ ලිපිය මුලදී අස්ථානගත වුණා. එහෙම නැත්නම් ඒ ලිපිය සැඟෙව්වා. එය මේ රටේ ජනතාවගේ, මේ රටේ බහුතර බෞද්ධ ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල කරපු පහරක් විදියටයි අපි දකින්නේ විධායකය එය සඟවා තබා ගැනීම පිළිබඳව.

දෙවනුව, මේ රටේ කතෝලික ප්‍රජාවගේ පරමාධිපත්‍යයේ කොටසක් නියෝජනය කරන රදගුරු සම්මේලනය මේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන්ගේ කනස්සල්ල පළ කළා. විශේෂයෙන්ම ඔවුන් කියා සිටියා, මේ පිළිබඳ ප්‍රමාණවත් කාලයක් අරගෙන මේක සාකච්ඡා කරලා, සංවාද කරලා, සියලු පාර්ශවයන් සමග යම්කිසි එකඟතාවයකින් මේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නේ කියලා. නමුත් ඒක තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ. ඒකත් මේ රටේ කතෝලික ප්‍රජාවගේ ස්වාධිපත්‍යයට එල්ල කරපු පහරක් විදියටයි අපි දකින්නේ.

ඒ වගේම, මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකාරයෙක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවස්ථා ගණනාවකදී මේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙනුත්, අධිකරණ ඇමතිවරයාගෙනුත් කරුණු විමසා සිටියා. ඒ කරුණු සැඟෙව්වා. ලිපි ගණනාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය යොමු කළා. එවැන්නක් පිළිබඳ කිසිදු අදහසක් නැති බව තමයි අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. නමුත් ඉතාම රහසිගතව මෙය පාර්ලිමේන්තුවට ගෙනවිත් ගැසට් කිරීමට කටයුතු කළා.

ඉන්පසුව නීතිඥ සංගමය මහා සමුළුවක් කැඳවලා, ඔවුන් ඒකමතිකව තීරණය ගත්තා. එනම් රටේ අධිකරණ ක්ෂේත්‍රයේ පරමාධිපත්‍යයේ කොටසක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඒ ඒකමතික තීරණයටත් ජනාධිපතිවරයාත් ව්‍යවස්ථාදායකයත් පයින් පෑගීමයි.

ඒ වගේම, පහළ උසාවිවල, දිස්ත්‍රික් උසාවි, මහේස්ත්‍රාත් උසාවිවල විනිසුරුවරුන්ගේ එකතුවකින් යුතු අධිකරණ සේවා සංගමය මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය පැහැදිලිව ප්‍රකාශ කර සිටියා. එයත් මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධිපත්‍යයේ කොටසක් තමයි ඒ දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත් විනිසුරුවරුන් නියෝජනය කළේ. එයත් සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවේ සභාපති නීතිඥ පියල් දර්ශන ගුරුගේ මහතා පළ කළ අදහස්.

එක පැත්තකින් අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතින අවස්ථාවක, අනිත් පැත්තෙන් මේ රටේ උද්ධමනය 8% කට වැඩි වෙලා තිබෙනවා.

රටේ මිනිස්සු 72,000 කට නියඟයෙන් පීඩාවට පත් වෙලා වතුර බෙදා හරින්න වෙලා තිබෙනවා. මේ තරම් විශාල ප්‍රශ්න ගණනාවක තිබෙද්දී, මේ ආණ්ඩුව පුළුවන් තරම් උත්සාහ කරනවා මේ රටේ ජනතාවට කිසිදු ධනාත්මක ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැති, එකදු හෝ ප්‍රතිලාභයක් නැති, අනිත් පැත්තෙන් මේ රටේ ජනතාවගේ සියලුම ජනතාවට බලපාන මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනැල්ලා, ඒක අල්ලගෙන මුළු සතිය පුරාම දිනපතා දවස්පතා මේ සංශෝධනය ඇරෙන්න වෙන දෙයක් මේ ආණ්ඩුවට නැහැ.

මේක හරියට මේ කප්රුක පහළ වුණා වගේ හිතලා තමයි මේ ආණ්ඩුව කියන්නේ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් අපිට කප්රුක පහළ වෙනවා වගේ. ඇත්තටම මේකෙන් ජනතාවට පහළ වෙන කප්රුකක් නැහැ, සමහරවිට අනුර කුමාර දිසානායකට වෙන මොනවා හරි ලැබෙනවද කියන එක අපි දන්නේ නැහැ.

දැන් මේ සංශෝධනය, දැන් අනුර කුමාර දිසානායක මහත්තයාගේ වචනවලින්ම කියනවා නම්, “22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මරු, මාරයි, නියමයි, එල, ටොප්” වගේ කියලා කියන කට්ටිය කවුද?

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමත්‍ය සුනිල් වටගල මහත්තයා. දැන් මේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අඩුම ගානේ පාර්ලිමේන්තුවේ තියෙන ස්ථාවර නියෝගවත් දන්නේ නැහැ. අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේදී, දැනට සැකකරුවෙක් විදියට ඉන්න නාමල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අදහස් ප්‍රකාශ කළාම, ඊට පස්සේ මේ සුනිල් වටගල මහත්තයා කියනවා, “අනේ ඒ කතාවේ නඩුව ගැන කතා කළේ නැහැනේ” කියලා.

තමන්ගේ නඩුව ගැන, විභාග වෙමින් පවතින නඩුවක් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න බැහැ කියන එකවත් දන්නේ නැති, ඒ පිළිබඳවවත් නීතිය පිළිබඳව අබමල් රේණුවක් දන්නේ නැති පුද්ගලයෝ තමයි අද ඇවිල්ලා කියන්නේ මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවාම මුකුත් වෙන්නේ නැහැ, මේක තමයි මාරයි කියලා. එතකොට අපිට තේරුම් ගන්න වෙන්නේ මෙන්න මේ පුද්ගලයෝ මේ පාර්ලිමේන්තුව තියා අඩුම ගානේ ගමේ මරණාධාර සමිතියක සභාපති කමකටවත් සුදුසු පුද්ගලයෝ නෙමෙයි.

මම මුලින් කිව්වා වගේම ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් මාසයේ සතිපතා වාර්තාව නිකුත් කළා. දැන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසයේ 6.3% ක් තිබුණු උද්ධමනය අගෝස්තු මාසය වෙනකොට 6% කට වැඩි වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් ආහාර උද්ධමනය විතරක් 6.5% ක් වෙලා.

සරලවම කිව්වොත් ජූලි මාසයේ ඔබ රුපියල් 100 ට ගත්තු කෑම ටිකට අගෝස්තු මාසයේදී රුපියල් 108 ක් ගෙවන්න ඕනෑ. රුපියල් 8 කින් මිල වැඩි වෙලා, රුපියල් 100 ට තිබුණු එක රුපියල් 108 ක් වෙලා.

එතකොට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරනවා 2020 ජූලි මාසයේදී නිල දරිද්‍රතා මට්ටම ඒක පුද්ගලයෙකුට රුපියල් 17,679 ක්. ඒ කියන්නේ මේ රටේ එක් පුද්ගලයෙක් මාසයකට රුපියල් 17,679 ක් උපයන්නේ නැත්නම් ඔහු ඉන්නේ දරිද්‍රතාවයෙන් පල්ලෙහා. අපි සරලව එහෙම හිතමුකෝ, පවුලක්, අම්මා, තාත්තා, දරුවෝ දෙන්නයි, හතර දෙනෙක් ඉන්න පවුලකට නිල සංඛ්‍යාලේඛන අනුව ගත්තොත් රුපියල් 70,716 ක් යනවා, දල වශයෙන් රුපියල් 71,000 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය

ඇමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය පර්සියානු බොක්කේ ගමන් කළ ඇමරිකානු නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ද ප්‍රහාර එල්ල කරයි: විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img