උතුරේ විරෝධතා පා ගමන සිව්වන දිනටත්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කළ විරෝධතා පා ගමන අද (06) සිව්වන දිනටත් පැවැත්වුණි.
විරෝධතාකරුවන් පවසන්නේ යුධ සමයේදී උතුරේ ජනතාවට සිදුවූ ආසාධාරණ සම්බන්ධයෙන් සහන සලසන්නැයි ජීනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින බවය.
උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් දෙමළ ජාතික සන්ධානය මෙය ක්‍රියාත්මක කරයි.
එම පෙළපාලිය අද වවුනියාවේ සිට මඩු මංසන්ධිය හරහා කිළිනොච්චිය බලා ගමන් කිරීම සිදුවිය.
විරෝධතාකරුවන් මඩු මංසන්ධියේ ඉදිකර ඇති මඩු මෑණියන්ගේ ප්‍රතිමාව අසළ ඉටිපන්දම් දැල් වූ අතර එම අවස්ථාවට දේවස්ථානවල පියතුමන්ලා කිහිපදෙනකු ද එක්විය.
යුද්ධයේදී මියගිය සහ අතුරුදන් වූ දෙමළ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙසත්, පුරාවිද්‍යා භූමි තුළ ඇති තම ඉඩම් සහ යුද හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කරන ලෙසත් මෙහිදී විරෝධතාකරුවන් බල කර සිටි අතර ඊට සහාය දුන් මුස්ලිම් නියෝජිතයන් කොවිඩ් මෘතදේහ භූමදානයට ඉඩ දෙන ලෙස ඉල්ලා ඊට එක්වී තිබුණි.
විරෝධතාකරුවන් හෙට කිලිනොච්චියේ සිට පොලිකන්ඩි යන ප්‍රදේශයට ගොස් විරෝධතාව අවසන් කිරීමට නියමිතය.






















