අද අපේ රටේ ප්‍රාදේශීය සභාවල කාන්තා මන්ත්‍රිනියන් දෙදහසකට අධික ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් බොහෝ දෙනෙකු තම තමන්ගේ ප්‍රදේශවල දේශපාලන නායකත්වය දරණවා. මෙම නායකත්වය ඔවුන්ට ලැබුණේ සටන් කරලා, උද්ඝෝෂණ කරලා නොවෙයි. එවකට අගමැතිවූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය අනුවයි. ඒ අනුව සෑම ප්‍රාදේශීය සභාවකම සියයට විසිපහක් 25% නියෝජනය කරන්නේ කාන්තාවනුයි. මෙය සියයට හතළිහක් 40% කිරීමටය. රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේ එදා රජයේ සිටි එ.ජා.ප. නොවන සන්ධානයේ සිටි ඇමතිවරු මෙම කාන්තා නියෝජනයට එරෙහිව කටයුතු කළා. නමුත් ගිය මැතිවරණයේදී කාන්තාවෝ රොද බැඳගෙන වැඩ කළේ කාන්තා නියෝජනයට එරෙහි වූ පිරිස් වලට බව එක්සත් ජාතික පක්ෂයේ ගරු සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ පැවැති ජගත් කාන්තා සමරු උළෙලක් අමතා එසේ පැවසීය.
කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ තණබද්දේගමදී මෙම කාන්තා දින සැමරුම කරන්දෙණිය එ.ජා.ප. සංවිධායක නීතීඥ නුවන් සොමිරත්න මහතාගේ සංවිධායකත්වයෙන් මෙම උත්සවය පැවැත්විනි.
මෙහිදී තව දුරටත් කතා කළ වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය. කාන්තා දින ඉතිහාසයට වසර 163 ක් පමණ වෙනවා. බටහිර රටවල පැවැති කාන්තා හිංසනය නිසා මෙවැනි දිනයක අවශ්‍යතාවය ඇතිවුනා. නමුත් ලංකාවේ කාන්තාවන්ට එවැනි සටන් අවශ්‍ය වූයේ නැහැ. කාන්තාවට නිසි තැන ලංකාවෙදී ඉතා ඉහළින් ලැබුණා. ලොව ප්‍රථම වරට කාන්තාවක් රජ වුණේ ලංකාවේ අනුලාවතී රැජිණයි. පසු කලෙක ලෝකයේ ප්‍රථම අගමැණියත් අප රටෙන් බිහි වුණා. හැමදාම එක්සත් ජාතික පක්ෂ රජයන් කාන්තාවන්ට හිමි විය යුතු තැන දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද එය තහවුරු කළා. පසුව කාන්තා ප්රඥප්තියක් නිර්මාණය කළ වනිතාවන්ට වෙනම අමාත්‍යංශයක්ද පිහිටෙව්වා.
මේ රටේ තේ, පොල්, රබර් ආර්ථිකය වෙනස් කළේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු විසිනුයි. මැද පෙර දිග රැකියා සේවය ඇඟළුම් කර්මාන්ත තුළින් කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙය වෙනස් වුණා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රාදේශීය සභා පණතට ඇතුලත් කළේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නියෝජනයට කාන්තාවන් සියයට හතළිහක් කළ යුතු බවයි. එයට එදා ජාතික ආණ්ඩුවේ සිටි අද පොහොට්ටුවේ සිටින ඇමතිවරු විරුද්ධ වුණා. එය අන්තිමේදී සියයට විසි පහක් වුණා. අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් දෙදහසකට අධික ප්‍රමාණයක් ප්‍රාදේශීය සභා නියෝජනය කරනවා. එහි ගෞරවය හිමි විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයටත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාටයි. මේ ලැබුණු වරප්‍රසාදය මුළු රටේම කාන්තාවන්ට ලැබුණු අයිතියක්. නමුත් ගිය මැතිවරණ වලදී කාන්තාවන් රොද බැඳගෙන ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධවයි.
අද කාන්තාවන්ට කුස්සියේ බර උහුලන්න බැහැ. තුන් වේලක් කාපු මිනිස්සු දැන් කන්නෙ එක වේලයි. මේ වසර අවසාන වෙන විට කන්නෙ මොනවද කියලා හිතාගන්නවත් බැරිවේවි. එදාට කාන්තාවොන්ට එළියට බහින්න වෙනවා. යළි අපි යන්නෙ 1970-77 යුගයටයි.
අතීතයේ රටේ ආදායම වූයේ තේ, පොල්, රබර් විතරයි. අද එහෙම නොවෙයි ඇඟළුම් හා මැද පෙරදිග කාන්තාවන් උපයන මුදල් රටේ ආදායමට එකතු වුණා. ලංකාවේ වැඩියෙන්ම විදේශගත කාන්තාවන් ප්‍රමාණයක් ඉන්නා ප්‍රදේශය කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයයි. ඒ ප්‍රමාණය පහළොස් දහසක් පමණ වෙනවා. රට ගිය කාන්තාවන්ට අද මේ රටට යළි පැමිණීමට නොහැකිව දුක් විඳිනවා. ජනප්‍රිය රැළි වලට මිනිසුන් ඡන්දය දුන්නාට රට පාලනය කරන්න බැහැ. ඒ තත්ත්වය මේ දකින්න තියෙන්නේ. අපි රජයක් පිහිටුවලා වසර දෙක තුනක් යන විට ඒ රජය පෙරලනවා. ඒක විශාල අවාසානාවක්. අපි 2024 දී යළි බලයට එනවා. ඒ සඳහා අද ආණ්ඩුවේ සිටින විශාල පිරිසකුත් විපක්ෂයේ අයත් එකතු වෙනවා. අපි බෞද්ධ දර්ශනය මුල් කර ගත් දේශීය ආර්ථික ප්රතිපත්තියකින් මේ රට යළි ගොඩ නගනවා. ඒ සඳහා කාන්තාවන් පෙරමුණ ගන්නා දිනය වැඩි ඈතක නොවෙයි.
මෙම කාන්තා සමුළුව අමතා කරන්දෙණිය එ.ජා.ප. සංවිධායක නීතීඥ නුවන් සොමිරත්න, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය විපක්ෂ නායක, අජිත් වික්‍රමසිංහ, ප්‍රවීන ලේඛක අහුන්ගල්ලේ දේසු ද සොයිසා, ගාල්ල දිස්ත්‍රික් ලක් වනිතා පෙරමුණේ ලේකම් අයිරාංගනී මහත්මිය, කරන්දෙණිය කාන්තා පෙරමුණේ ලේකම් ජී.පී. සූරියආරච්චි යන මහත්ම මහත්මින්ද කතා කළහ. මෙදින පැමිණ සිටි සියළු දෙනා වෙත ඔසු පැල බෙදා දිමක්ද සිදු කෙරිණි.






















