වැඩ තහනමකට ලක්වී සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල මගින් බරපතල කරුණු ගණනාවක්ම කුලරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇත අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද එම පැමිණිල්ල සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න34/35, සමන් උයන, දඹහේන පාර, මහරගම.2026.02.02 1. විනිසුරු ගරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවල මැතිතුමා – සභාපතිතුමා,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව2. කේ.බී. රාජපක්ෂ මහතා – කොමසාරිස්තුමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව3. ජනාධිපති නීතීඥ චේතිය ගුණසේකර මහතා – කොමසාරිස්තුමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවගරු සභාපතිතුමනි/ කොමසාරිස්තුමනි,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් සිදුකරනු ලබන පැමිණිල්ලයි. ඉහත නම් සඳහන් මා 2005 වසරේ දෙසැම්බර් මස ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු වශයෙන් දිවුරුම් දෙන ලද අතර, එතැන් සිට මේ දක්වා රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල සේවය කරනු ලැබේ. 2023 සැප්තැම්බර් මස 15 වැනි දින සිට 2026 ජනවාරි මස 23 වැනි දින දක්වා කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් මා සේවය කරන ලදී. 2026 ජනවාරි මස 23 වැනි දින පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් මා වෙත දැනුම් දෙන ලද්දේ එදින පවත්වන ලද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභා රැස්වීමේ තීරණය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි මාගේ වැඩ තහනම් කරන ලද බවයි. 02. මා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් එකී තනතුරට අමතරව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ තොරතුරු නිලධාරී වශයෙන් මෙන්ම, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ස්ථාපිත අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී වශයෙන්ද කටයුතු කරන ලදී. 03. මාගේ ඉහත සේවා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් තම නිල බලය අනිසි ලෙස භාවිතා කරමින් සිදුකරන ලද නීති විරෝධී හා දූෂණ කටයුතු රාශියක් සම්බන්ධයෙන් මා විසින් වරින් වර ඔහුගේ අවධානයට යොමු කලද එකී අවස්ථාවන්හිදී ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ඔහුගේ අප්‍රසාදය මා වෙත පළ කරන ලදී. එමෙන්ම, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ අතුරෙන් සමහරක් තොරතුරු සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් ඉල්ලා සිටින ලද අවස්ථාවන්හිදී තොරතුරු නිලධාරී – අංක 1 වශයෙන් මාගේ නිර්දේශය වූයේ එකී තොරතුරු 2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ලබාදිය යුතු තොරතුරු වන බවයි. 04. ඉහතින් දක්වන ලද කරුණු හේතුවෙන් හා 2025 ජුනි මස 18 දින හෝ ඊට ආසන්න දිනකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ ගරු කථානායකතුමා දිවා ආහාර ගනු ලබන කාමරයේදී සිදුවූ යම් පෞද්ගලික සිද්ධියක් නිසා වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මා කෙරෙහි ඇති කරගත් ද්වේශ සහගතභාවය හේතුවෙන් තම බලතල ඉක්මවා නීතිවිරෝධී ආකාරයෙන් පත්කර ගන්නා ලද විශ්‍රාමික අතිරේක ලේකම් එස්.කේ. ලියනගේ නැමැති අයෙකු විසින් සකස් කරන ලදැයි කියන සාවාද්‍ය තොරතුරු මත පදනම් වී ඇති වාර්තාවක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාවට ඉදිරිපත් කර එකී කාරක සභාව ද නොමඟ යවමින් මාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇත.05. 2024.12.17 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක ධූරය පත්වූ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එතැන් සිට මේ දක්වා සිදුකරනු ලබන හා සිදුකරන ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතට ගැනෙන පහත සඳහන් නීතිවිරෝධී හා දූෂිත ක්‍රියා අතුරින් කිහිපයක් සම්බන්ධයෙන් ඔබගේ කාරුණික අවධානය යොමු කරමි. i. වාහන අවභාවිතය2025.03.21 දිනැති පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව විසින් ජනාධිපති ලේකම්ගේ පීඑස්/සීඑස්ඒ/00/1/4/12 අංක දරන 2025.01.21 දිනැති චක්‍රලේඛය අනුව ගරු කථානායකතුමා හට කැබිනට් අමාත්‍යවරයෙකුට සමාන වාහන හා ඉන්ධන දීමනා ලබා ගත යුතු බව තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් විසින් නිකුත් කරන ලද අංක 14/2025 දරන 2025.05.07 දිනැති පරිපාලන චක්‍රලේඛය අනුව 2025.05.02 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගරු කථානායකතුමාගේ පරිහරණය සඳහා උපරිම වශයෙන් නිල වාහන දෙකක් ද, එකී වාහන සඳහා උපරිම ඉන්ධන ලීටර් 900ක් ද විය යුතුය. ඒ අනුව, ඉහත චක්‍රලේඛය මඟින් ගරු කථානායකතුමා වෙත නිල වාහන දෙකක් සඳහා හිමිකම් ලැබූව ද මේ වන විටත් එතුමා නිල වාහන 03ක් තම භාවිතයට යොදාගනු ලැබේ. ඔහු විසින් මේවන විට ද තමාට නිල වශයෙන් හිමි වාහන දෙකට අමතරව, පාර්ලිමේන්තුව සතු WP NC 4923 දරන වෑන් රථය තම පෞද්ගලික පරිහරණයට භාවිතා කරන අතර, ඉහතින් අනුමත ඉන්ධන දීමනාවන්ට අමතරව මාස 06කට අධික කාලයක් තිස්සේ එකී රථය සඳහා ද ඉන්ධන ලබාගෙන ඇත. මේ සියලු තොරතුරු පාර්ලිමේන්තුවේ ප්‍රවාහන අංශයේ හා පරිපාලන අංශයේ ලිපි ලේඛන වල ද අදාළ රථ වල ධාවන සටහන් වල ද ලිඛිතව සටහන් වී ඇත. මේ අනුව, වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් තමාට හිමි නැති වරප්‍රසාද හා පහසුකම් භුක්ති විදිමින් රජයට සෘජුවම මූල්‍යමය පාඩුවක් සිදුකරමින් “දූෂණය” නැමැති වරද සිදුකරනු ලබන බව ඔබගේ අවධානයට යොමු කරමි. ii. නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීමඉහත 1හි සඳහන් පාර්ලිමේන්තු මහ ලේකම්ගේ හා ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛ අනුව කථානායකවරයාට නිල වශයෙන් හිමි වන්නේ උපරිමය වාහන දෙකක් හා ඉන්ධන ලීටර් 900ක් වන අතර, වර්තමාන ගරු කථානායක ජගත් වික්‍රමරත්න මහතා එකී තනතුරට පත්වූ 2024.12.17 දින සිට 2025 නොවැම්බර් මස දක්වා ඉහත ඉන්ධන දීමනා වලට අමතරව පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් ලීටර් 568ක පමණ ඉන්ධන දීමනාවක් ලබාගෙන ඇත. කථානායකවරයාට කථානායක තනතුරට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් තවත් ඉන්ධන දීමනාවක් ලබා ගැනීමට කිසිඳු චක්‍රලේඛයකින් හෝ අමාත්‍ය මණ්ඩල තීරණයකින් අනුමැතිය ලබාදී නොමැත.ඒ අනුව, අදාළ කාලය සඳහා රුපියල් ලක්ෂ විස්සක (රු.2,000,000/-) පමණ මුදලක් පාර්ලිමේන්තු ගිණුමෙන් කිසිඳු අනුමැතියකින් තොරව නීති විරෝධී ආකාරයන් ලබාගෙන ඇති අතර, එමඟින් රාජ්‍ය මුදල් අවභාවිතයක් හා රජයට මූල්‍යමය පාඩුවක් සිදුකරමින් “දූෂණය” නැමැති වරද සිදුකර ඇති බව ඔබගේ අවධානයට යොමු කරමි.iii. පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතයවර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාහට පාර්ලිමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලය තුළ කථානායකවරයාට පෞද්ගලික මාධ්‍ය ඒකකයක් සඳහා නිලධාරීන් අනුමත නොමැති අතර, එහෙත් එතුමා විසින් නීති විරෝධී ආකාරයෙන් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු කැමරා උපකරණ තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා යොදාගෙන ඇත. මෙමඟින් රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් ඔහු විසින් “දූෂණය” නැමැති වරද සිදුකර ඇති බව ඔබගේ අවධානයට යොමු කරමි.iv. නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීමශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දිවා ආහාර ලබා ගැනීමේ පහසුව සලසා ඇත්තේ පාර්ලිමේන්තුවේ දෙවන මහලේ පිහිටි ගරු කථානායකවරයාට වෙන් කර ඇති දිවා ආහාර ගන්නා කාමරය තුළ වේ. වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2024.12.17 දින එකී තනතුරට පත්වීමෙන් අනතුරුව එතැන් සිට මේ දක්වා දිනපතා දිවා ආහාර ලබාගනු ලබනුයේ එකී කාමරය තුළ වේ. කථානායකවරයා වෙත ආහාරය සැපයීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් ඔහුගේ වැටුපෙන් එක අයෙකුට දිවා ආහාර ලබාදීම වෙනුවෙන් අයකරගනු ලබන නිශ්චිත මුදලක් අයකරගනු ලබයි. නමුත් ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා ද ඔහු සමඟ කථානායකවරයා දිවා ආහාර ලබා ගන්නා කාමරයෙන් දිවා ආහාර ලබා ගනු ලැබේ.එසේ කථානායකවරයාගේ අමුත්තෙක් වශයෙන් ඔහුගේ දිවා ආහාර ලබා ගන්නා කාමරයේදී දිවා ආහාර ලබා ගන්නා අයෙකු වෙනුවෙන් එක් දිවා ආහාර වේලක් සඳහා රු.900/-ක මුදල් අයකර ගනු ලැබිය යුතු වුවත් ඒ වෙනුවෙන් චමීර ගාල්ලගේ මහතාගේ වැටුපෙන් අයකරනු ලබනුයේ රු.150/-ක මුදලක් පමණි. (මුලදී එක් දිවා ආහාර වේලකට රු75/-ක මුදලක් බැගින් මසකට රු.1500/-ක් වශයෙන් හා පසුව 2025 ජූලි මාසයේ සිට රු.150/-ක මුදලක් බැගින් රු.3000/-ක් වශයෙනි.) එකී මුදලට අමතරව මා දන්නා තරමින් කථානායකවරයාගේ වැටුපෙන් කිසිඳු අඩු කර ගැනීමක් සිදු නොකෙරේ. මෙසේ කථානායකතුමාගේ ආහාර ලබා ගන්නා කාමරයේදී පෞද්ගලික ලේකම්වරයා ද එතුමා සමඟ ආහාර අනුභව කරන්නේ නම් ඒ සඳහා කථානායකවරයා විසින් අමුත්තෙකුට ආහාර ලබාදීම වෙනුවෙන් වැය වන මුදල ගෙවිය යුතු බව 2025 වසර මුල ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානී රැස්වීමකදී අදාළ නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී. එහිදී කථානායකතුමා විසින් ප්‍රකාශ කරන ලද්දේ මින් ඉදිරියට එසේ සිදු නොවන බවයි. නමුත් එතැන් සිට මේ දක්වාම ද ඒ ආකාරයෙන්ම දෙදෙනා එකම කාමරයේදී දිවා ආහාර ලබා ගැනීම සිදුකරනු ලබයි.මේ අනුව, වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හා ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන අය විසින් නියමිත මුදල නොගෙවා අමතර දිවා ආහාර පහසුකම ලබා ගැනීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකරමින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදුකරනු ලබන බව ඔබගේ අවධානයට යොමු කරමි. v. නීතිවිරෝධී ලෙස විමර්ෂණ නිලධාරියෙකු පත්කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීමට හා ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කිරීම.මිට පෙර ඉහතින් දක්වන පරිදි වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මා කෙරෙහි ඇති කරගත්තා යැයි විශ්වාස කරන ද්වේශ සහගතභාවය හේතුවෙන් ඔහු විසින් අමාත්‍ය මණ්ඩල තීරණයන්ට හා රජයේ චක්‍රලේඛයන්ට පටහැනිව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව නොමඟ යවමින් විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු වන එස්.කේ. ලියනගේ යන අය මා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කිරීමට නීතිවිරෝධී ආකාරයෙන් පත්කර,(අ) ඔහු වෙත අනීතිකව රු. 274,975/-ක මුදලක් මේවන විටත් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීම සඳහා අනුමැතිය ලබාදීමෙන් ද (2025.11.17 දිනැති පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවෙන් නිකුත් කරන ලද 293566 දරන චෙක් පත මඟින් පාර්ලිමේන්තු ගිණුමෙන් එකී මුදල ගෙවා ඇත.) හා ඊට අතිරේකව අවසන් වාර්තාව සඳහා යැයි ඔහු වෙත අමතර රු.50,000/-ක මුදලක් ඔහු වෙත යෝජනා කිරීමෙන් ද;(එස්.කේ. ලියනගේ යන අය විසින් සකස් කරන ලදැයි කියන එකී වාර්තාව “මූලික විමර්ෂණ” වාර්තාවක් ලෙස සැලකුව ද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 26/2025 අනුව එකී වාර්තාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔහුට ලබාගත හැක්කේ උපරිමය රු.4,000/-ක මුදලක් පමණි.)(ආ) ඔහු වෙත පාර්ලිමේන්තු ගිණුමෙන් දිනකට රු.900/- බැඟින් වැය කර දින 11ක් තිස්සේ දිවා ආහාර සපයා දෙමින්ද;(ඇ) පාර්ලිමේන්තු වාහන සංචිතයේ වාහන හා ඉන්ධන යොදා ගනිමින් ඔහු වෙත ප්‍රවාහන පහසුකම් සලසා දීමෙන්ද;රාජ්‍ය මුදල් අවභාවිතයක් හා රජයට මූල්‍යමය පාඩුවක් සිදුකරමින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදුකර ඇති බව ඔබගේ අවධානයට යොමු කරමි.vi. නීතිවිරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීමපාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ නිල නිවස ආයතන සංග්‍රහයේ XVIII වැනි පරිච්ඡේදය යටතේ උපලේඛනගත නිල නිවාසකි. එසේ එවැනි නිල නිවසක් හිමිව තිබියදී හා එකී නිල නිවස වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් රාජකාරී හා පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කරමින්ම ඊට අතිරේකව නීති විරෝධී ලෙස කොළඹ 04, ලොරිස් පටුමඟ පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයේ අංක 8-1 දරන රජයේ නිල නිවස 2025 ජනවාරි මස සිට තම නමට වෙන්කරවා ගෙන භාවිතා කරනු ලබයි. ඒ අනුව,(අ) පාර්ලිමේන්තුවට අයත් රජමල්වත්ත පිහිටි කථානායක නිල නිවසද තම පෞද්ගලික හා රාජකාරී කටයුතු වලට භාවිතා කරනු ලබන හෙයින්ද;(ආ) එකී රජමල්වත්ත නිල නිවස නඩත්තුව සඳහා වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පෞද්ගලික කාර්ය මණ්ඩලයක් පත්කරගෙන සිටින හෙයින්ද;(ඇ) එසේ පාර්ලිමේන්තුව මඟින් උපලේඛනගත නිල නිවසක් නඩත්තු කරමින් තිබියදී රජයට අයත් තවත් නිල නිවසක් භාවිතා කරන හෙයින්ද;(ඈ) රජමල්වත්ත පිහිටි නිල නිවසට අයත් බඩුභාහිරාදිය ලොරිස් පටුමග පිහිටි නිල නිවසට හෝ වෙනත් ස්ථානයකට නිසි අනුමැතියකින් තොරව බැහැරට ගෙන යාමට කටයුතු කර ඇති හෙයින්ද;වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් රාජ්‍ය මුදල් අවභාවිතයක් හා රජයට මූල්‍යමය පාඩුවක් සිදුකරමින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදුකර ඇති බව ඔබගේ අවධානයට යොමු කරමි.vii. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීතිවිරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ හා වංචා ක්‍රියා යටපත් කර ගැනීමට උත්සහ කිරීම2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය, ඔහුගේ මාධ්‍ය ඒකකය හා එකී ඒකකයට ලබා දී ඇති බඩුභාහිරාදිය, ඔවුන්ගේ වැටුප් හා දීමනා හා ඔවුන් භාවිතා කරන නිල රථ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ ඇති ප්‍රතිපාදන අවභාවිතා කරමින් වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් හා / හෝ ඔහුගේ උපදෙස් පරිදි ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා විසින් ඉහතින් දක්වන ලද 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ ප්‍රතිපාදන වලට පටහැනිව එකී තොරතුරු ලබා නොදෙන ලෙස පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීන් වෙත ලිඛිතව නියෝග ලබාදී ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ ආවරණය වනුයේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා හා සම්බන්ධ කටයුතු පමණක් වන අතර, එකී පනතින් කථානායකවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් කිසිඳු කටයුත්තක් ආවරණය නොවේ.වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත තොරතුරු පනත යටතේ ඉල්ලුම් කර ඇති පහත සඳහන් තොරතුරු ඉල්ලුම්පත් ගොනු පරීක්ෂා කිරීමෙන් තහවුරු කර ගත හැක. (අ) P/I/25/0104 (ආ) P/I/25/0112 (ඇ) P/I/25/172(ඈ) P/I/25/173(ඉ) P/I/25/183(ඊ) P/I/25/195(උ) P/I/25/197(ඌ) P/I/25/198මේ අනුව, වර්තමාන ගරු කථානායක ජගත් වික්‍රමරත්න මහතා තමා විසින් සිදුකරනු ලබන රාජ්‍ය මුදල් අවභාවිතය හා රජයට මූල්‍යමය පාඩු සිදුකරමින් කරනු ලබන කටයුතු ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අවභාවිතා කරමින් හෙළිදරව් වීම වැළැක්වීමට කටයුතු කිරීම මඟින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදුකරනු ලබන බව ඔබගේ අවධානයට යොමු කරමි.viii. පාර්ලිමෙන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත්වීමආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65වන වගන්තිය මඟින් ප්‍රතිපාදන සලසා ඇති පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය පත් කිරීම සඳහා කථානායකවරයාගේ අනුමැතිය ලබාගත යුතු අතර, 1953 අංක 9 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත අනුව මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ විනය හා පරිපාලන බලධාරියා පාර්ලිමේන්තුවේ මහලේකම් වේ. එහෙත් වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් තමාට හිමි ව්‍යවස්ථාපිත බලතල අභිබවා පෞද්ගලිකව මැදිහත් වෙමින් පාර්ලිමේන්තු මහ ලේකම්ගේ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ උසස්වීම්, විදේශ ශිෂ්‍යත්ව හා වැඩමුළු සඳහා නාම යෝජනා කිරීමට අනීතික ලෙස මැදිහත් වේ.තමාට හිමි බලය අභිබවා අනීතික ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ පරිපාලනයට අත පෙවීම මඟින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදුකරනු ලබන බව ඔබගේ අවධානයට යොමු කරමි.06. වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත යොමු කරන ලද දාතම රහිත “Directive to Investigate Unauthorized Disclosure of Confidential Parliamentary Information” යන ලිපිය හා 2025.08.13 දිනැති “Investigation in to Leakage of Confidential Information Regarding the Hon. Speaker’s Residence” යන ලිපිය මඟින් කරන ලද දැනුම් දීම අනුව පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් විමර්ෂණයක් පවත්වා එහි වාර්තාව ගරු කථානායකවරයා වෙත භාරදී ඇත. “පාර්ලිමේන්තුවට අදාළ රහස්‍ය තොරතුරු අවසරයකින් තොරව මාධ්‍යයට හෙළිදරව් වීම සම්බන්ධයෙන් සහ ගරු කථානායකවරයාගේ නිල නිවාසය පිළිබඳ රහස්‍ය තොරතුරු තෙවැනි පාර්ශ්වයකට හෙළිදව්වීම සහ එම තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරයවීම” යනුවෙන් සඳහන් එකී වාර්තාව පරිශීලනය කිරීමෙන් මා විසින් ඉහතින් දක්වා ඇති වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සිදුකරන ලද හා තවදුරටත් සිදුකරමින් සිටින නීතිවිරෝධී හා දූෂිත කටයුතු රාශියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ලබාදෙන ලද වාචික ප්‍රකාශ හා ලිඛිත සාක්ෂි මඟින් තහවුරු කර ගත හැක.එමෙන්ම, මා විසින් ඉහතින් සඳහන් කර ඇති සියලුම කාරණාවලට අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනිමෙන් හා ඊට අදාළ ලිපි ගොනු පරීක්ෂා කිරීමෙන් මෙකී තොරතුරුවල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමට ඔබ කොමිෂන් සභාව වෙත හැකියාව පවතී.7. මේ අනුව මා ගෞරවපූර්වකව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනුයේ,I. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ කථානායක ධූරය භාරගත් 2024.12.17 දින සිට මේ දක්වා සිදුකරන ලද හා තවදුරටත් සිදුකරනු ලබන ඉහතින් දක්වා ඇති කටයුතු සිදු කිරිම හා / හෝ එකි කටයුතු සිදුකිරිම සඳහා ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසත්;II. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන අය විසින් ගරු කථානායකතුමාගේ උපදෙස් මත හෝ නොමැතිව සිදුකරන ලද හෝ එකී කටයුතු සිදු කිරීමට ගරු කථානායකතුමාට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසත්;III. ඉහතින් සඳහන් කරන ලද තොරතුරු හෙළිදරවු කිරීම් හේතුවෙන් මා වෙත එල්ලවිය හැකි කුමන හෝ ආකාරයේ තර්ජනයන් හෝ බලපෑම් සම්බන්ධයෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 74, 75, 76, 77 සහ 78 වගන්ති යටතේ ආවරණය වන “අපරාධ තොරතුරු හෙලිකරන්නන් වෙත ලබා දෙන රැකවරණය (Whistleblower Protection)” මා වෙත ලබා දෙන ලෙසත්ය.ස්තූතියි,මෙයට-විශ්වාසී, ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්නපිටපත් : 1. ජනාධිපති නීතීඥ ගරු පාරින්ද රණසිංහ මැතිතුමා,නීතිපති 2. ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ජනාධිපති ලේකම්3. ආර්.එස්.ඒ. දිසානායක මහතා, අධ්‍යක්ෂ ජනරාල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,4. දයා ලංකාපුර මහතා, සභාපති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පළිබඳ කොමිෂන් සභාව






















