කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් ඉල්ලා තිබේ.
මේ අතර, ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් කලහකාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව යුද හමුදාව පවසයි.
කෙසේවෙතත් කලහකාරී තත්ත්වය ඇතිවූ අවස්ථාවේදී පළාගිය රැඳවූවන් සොයා යුද හමුදාව සහ පොලීසිය මෙහෙයුම් දියත් කර තිබේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් දෙපිරිසක් අතර ඊයේ (06) පස්වරුවේ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබුණු අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණි.
පසුව ඒ අතරින් පිරිසක් කඳවුර තුළ පිහිටි අවි ගබඩාවට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා එහි ආරක්ෂාවට සිටි යුද හමුදා භට පිරිස් අහසට වෙඩි තැබූ බව “යුද හමුදා” මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේය.
කෙසේවෙතත් එහි ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණි.
ඉන් සිව්දෙනෙකුම රැඳවූවන් වන අතර තුවාල ලැබූ සෙසු පුද්ගලයා යුද හමුදා සෙබලෙකි.
හටගත් ගැටුම්කාරී තත්ත්වය සමග රැඳවූවන් 50 ත් 100 ත් අතර පිරිසක් කඳවුරෙන් පළා ගොස් තිබුණි.
පළාගිය රැඳවූවන් සෙවීම සඳහා මේ වනවිට ප්‍රදේශය පුරා මාර්ග බාධක යොදා ඇත.
ඒ අතරින් කිහිප දෙනෙකු යළි ආරක්ෂක අංශ වෙත භාර වී තිබේ.
යුද හමුදා සහායට පොලිස් නිලධාරීන්ද කැඳවා ඇතැයි යුද හමුදාව ප්‍රකාශ කළේය.






















