කහ සහ ගම්මිරිස්වලට ස්ථාවර මිලක් ලබා දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වැවිලි ක්ෂේත්රයේ නිලධාරීන් සමග අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්රවර්ධන රාජ්ය අමාත්යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.
එහිදී කහ සහ ගම්මිරිස් අවශ්යතාව දේශීය වශයෙන් සපුරා ගැනීම සහ විධිමත් අපනයන සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
දැනට හෙක්ටයාර අසූ දහසක බඩ ඉරිඟු වගාකෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක බිම් ප්රමාණයක් අස්වැදීම රජයේ අරමුණ වී ඇති බව ජනාධිපති මාධ්ය අංශය පවසයි.
ගම්මාන 100 ක කුරුඳු වගා කිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහ හැතැම්ම ප්රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමටද රජය සැලසුම් කර තිබේ.
පාකිස්ථානය මෙරට බුලත්වල ප්රධාන ගැණුම්කරුවෙකු වන අතර කොවිඩ් වසංගතයත් සමග ගුවන් ගමන් වාර සීමාවීමෙන් අපනයනය පහත වැටී බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ, ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසඳුම් සොයන ලෙසය.
මේ අතර පසුගිය 29 වැනිදා ලංකාගම ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ සන්නිවේදන පහසුකම් ලබාදීම, සොයාබැලීමට S.L.T ආයතනයේ ඉංජිනේරු කණ්ඩායමක් එම ප්රදේශයට යවා තිබේ.






















