කොරෝනා දෙවෙනි පොකුර ගැන ඇත්ත රටට කියන්න- විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට කියයි.
දැනට පැතිරෙමින් පවතින කොවිඩ්-19 වෛරස් පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වූ බවට ජනමාධ්‍ය වෙතින් වාර්තා වුවද, එම කර්මාන්තශාලාවට කොවිඩ්-19 වෛරසය පැමිණි ආකාරය පිළිබඳව රජය විසින් මෙතෙක් රටට හෙළි කොට නොමැත. මෙම පසුබිම යටතේ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට මෙම වෛරසය පැමිණි ආකාරය පිළිබඳව නොයෙකුත් ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර එයින් බ්‍රැන්ඩික්ස් ආයතනයේ කීර්තිනාමයට බලවත් හානියක් සිදු වී ඇත. බ්‍රැන්ඩික්ස් ආයතනයේ අනුග්‍රහය යටතේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් යම් පිරිසක් පැමිණි බවට ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වූ අතර එළෙස පැමිණි පිරිස තම අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් නොවූ බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
දේශීය කර්මාන්තයක් මෙන්ම විදේශ විනිමය ගෙන එමින් රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වන මෙම ආයතනය මත වරද පටවා නිශ්ශබ්දව සිටීමට රජයට කිසිදු හැකියාවක් නොමැත. පෞද්ගලික ආයතනයක් වන බ්‍රැන්ඩික්ස් ආයතනයට රටේ පොදු නීතිය උල්ලංඝණය කොට මෙරටට යම් පිරිසක් ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාවක් නොමැති අතර, යම් හෙයකින් ඉන්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් ආයතනය වෙත යම් පිරිසක් ගෙන්වූයේ නම් හා එම පිරිස නිරෝධායන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කලේ නම් එහි වගකීම එම ආයතනය පමණක් නොව රජය විසින්ද භාර ගත යුතුය. එම නිසා මෙම සිද්ධිය පිළිබඳ සත්‍ය කරුණු වහාම ජනතාවට හෙළි කළ යුතුව ඇත.
එසේම, වර්තමාන කොවිඩ් පොකුරේ ආරම්භය පිළිබඳව රජය මෙතෙක් කරුණු අනාවරණය කොට ගෙන නොමැති නම්, එය මහජනතාවගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වන අතර ඉදිරියේදී දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට අප රට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. මෙය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් බැවින් පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
1) මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් පළමු කොවිඩ්-19 අසාදිතයා වාර්තා වූයේ කවදාද? එම ආසාදිතයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව අනාවරණය කොට ගෙන තිබේද? එසේ නම් ඒ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කරන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?
2) මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් හමු වූ පළමු කොවිඩ්-19 අසාදිතයාට එම වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් සොයා ගෙන නොමැති නම් එය රජයේ බරපතල දුර්වලතාවයක් බවත්, ඒ හේතුවෙන් රටේ සමස්ත මහජනතාවගේ ජනජීවිතය බරපතල තර්ජනයකට ලක්ව ඇති බවත් රජය පිළිගන්නේද? එසේ නම් ඒ සම්බන්ධව රජය ගනු ලබන පියවර මොනවාද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?
3) 2020.09.22 දින ඉන්දියාවේ සිට මෙරටට බ්‍රැන්ඩික්ස් ආයතනයේ අනුග්‍රහය යටතේ ගුවන් යානාවක් පැමිණියේද? එසේ ගුවන් යානයක් පැමිණියේ නම්;
I. එම ගුවන් යානයට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දුන්නේ කවුරුන් විසින්ද?
II. එම ගුවන් යානයේ පැමිණි මගීන් සංඛ්‍යාව කොපමණද?
III. එම ගුවන් යානයෙන් මෙරටට ඉන්දීය ජාතිකයින් පැමිණියේද? එසේ නම් එම සංඛ්‍යාව කොපමණද?
IV. එම ගුවන් යානයේ පැමිණි මගීන් නිරෝධායනය වූ කාල සීමාව කොපමණද? ඔවුන් නිරෝධායනය වූ ස්ථානය හෝ ස්ථාන මොනවාද? එම නිරෝධායන ක්‍රියාවලිය සිදු වූයේ කාගේ අධීක්ෂණය යටතේද? ඔවුන් නිරෝධායනය නොවුනේ නම් ඊට හේතු මොනවාද?
4) කොවිඩ්-19 වෛරසය පාලනය කළ බවට උදම් අනමින් නිසි සැළකිල්ලකින් හා අවධානයකින් යුතුව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වෛරස ව්‍යාප්තිය නැවත වරක් ආරම්භ වූ බව රජය විසින් පිළිගනු ලබන්නේද? එහි සම්පූර්ණ වගකීම රජය විසින් භාරගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?
5) මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන ඇගළුම් කම්හල් සේවිකාවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා රැගෙන යාමේදී ඔවුන්ට ඒ සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාල සීමාවක් ලබා නොදී ඔවුන් රැගෙන යාමට කටයුතු කොට ඇති බවටත්, ඔවුන් රැගෙන යාමේදී හා නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමේදී නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරන බවටත්, ඔවුන්ට ආහාර හා ජලය වැනි මූලික අවශ්‍යතාවයන් හෝ නිසි පරිදි නොලැබෙන බවටත් ඔවුන්ගේ ඥාතීන් හා ආශ්‍රිතයින් විසින් සිදු කරනු ලබන චෝදනාව පිළිබඳ රජයේ ස්ථාවරය මෙම ගරු සභාවට පැහැදිලි කරන්නේද?
6) නැවත වරක් කොවිඩ්-19 අර්බුදය උද්ගත වීමේ හේතුව හා රජයේ අතිශයින් දුර්වල ආර්ථික කළමනාකරණය හමුවේ රටේ ජනතාවගේ එදිනෙදා ජනජීවිතය හා ආර්ථික කටයුතු මුළුමනින්ම ඇනහිට තිබෙන බව රජය විසින් පිළිගනු ලබන්නේද? මේ පිළිබඳව රජය විසින් ගනු ලබන පියවරයන් මොනවාද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?
7) මෙම පසුබිම යටතේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව රජය විසින් පිළිගනු ලබන්නේද? එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වන්නේ නම් තාවකාලික පියවරක් වශයෙන් ආර්ථික අපහසුතාවයන් ඇති සියලු පවුල් සඳහා මාසිකව රුපියල් 20,000/- ක දීමනාවක් ලබා දීමට රජය කටයුතු කරන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?






















