අද උදෑසන පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොවිඩ් 19 රෝගය සඳහා සිදු කරනු ලබන පී.සී.ආර්. සහ කඩිනම් ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් හඳුනාගන්නා සියලු රෝගීන්ගේ දත්ත වසන් නොකර, දෛනිකව වාර්තා කෙරෙන බව පවසා සිටියාය.
ඒ අනුව, ඇමතිනිය ප්‍රකාශ කළේ 2021.06.20 දින වන විට මෙරට පරීක්ෂණ තුළින් කොවිඩ් රෝගීන් දෙලක්ෂ තිස් හත් දහස් හයසිය හැට එකක් (237,661) හඳුනාගෙන ඇති බවයි. එයින් දෙලක්ෂ එක් දහස් තුන්සිය අසූ නවයක් (201,389) සුවය ලබා ඇති අතර තිස්තුන් දහස් හත්සිය තිස් අටක් (33,738) දැනට රෝහල් තුළ ප්‍රතිකාර ලබති. ඒ අතරින් කොවිඩ් රෝගීන් එකසිය තිස් පහක් (135) දැඩි සත්කාර ඒකවල ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ය. තවත් පුද්ගලයින් දෙදහස් පන්සිය තිස් හතරක් (2534) කොවිඩ් රෝගය නිසා මරණයට පත්වී ඇත.
දිවයින පුරා සමස්තයක් වශයෙන් කොවිඩ් රෝගීන් කඩිනමින් හඳුනා ගැනීමට රජය නිසි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර මෙවැනි වසංගත රෝගයක් පාලනය කිරීමේ දී අනුගමනය කළ යුතු සියලු ක්‍රමවේද වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ සෙසු විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ක්‍රියාත්මක වන බවද ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ්‍යය විසින් මෙම වසංගතය මැඩලීමට ගන්නා පියවර අතර, පී.සී.ආර් සහ කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මගින් රෝගීන් හඳුනා ගැනීම, එසේ හඳුනාගන්නා රෝගීන් හැකි ඉක්මනින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට හෝ රෝහල්වලට ඇතුළු කිරීම, හඳුනාගන්නා රෝගීන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනය කර නිසි කලට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ මගින් ආශ්‍රිතයින් අතර රෝග ආසාදිතයන් හඳුනා ගැනීම,විදේශ වල සිට පැමිණෙන්නන් නිරෝධායනය කර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම,ජනමාධ්‍ය මගින් ජනතාවට සත්‍ය තොරතුරු සන්නිවෙිදනය සඳහා අවශ්‍ය දත්ත සියල්ල දෛනිකව වාර්තාකරණය අයත් වන බවද ඇමතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.






















