කොවිඩ් රෝගීන් අඩු ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කෙරේ ද?
රට නොවසා ආර්ථික හා සමාජීය කටයුතු පවත්වා ගෙන යෑමේ විශේෂ අවශ්‍යතාවයක් තිබෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ඒ නිසාවෙන් සෞඛ්‍ය උපදේසවලට අනුගතව කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා රජයක් ලෙස මෙම කටයුත්ත කළමනාකරණය කිරීමට උපරිම දායකත්වය ලබා දෙන බවත් සඳහන් කළේය.
කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි ජනතාවට පවසන බවත් කියාසිටි අමාත්‍යවරයා, මීට පෙර ඇති වු තත්ත්වයේ දීත් ලංකාවේ පවුල් ලක්ෂ 60කට රුපියල් බිලියන 60කට ආසන්න මූල්‍ය ප්‍රතිලාභ ලබා දීමට රජය කටයුතු කළ බවත් පැවසීය.
“ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව රජය බොහෝම පැහැදිලිව අවධානය යොමු කරලා තියෙන්නේ. මීට පෙර ඇති වුණ තත්ත්වයේදීත් ලංකාවේ පවුල් ලක්ෂ 60 ට රුපියල් බිලියන 60කට ආසන්න ප්‍රමාණයක මුල්‍ය ප්‍රතිලාභ ඉතාම අපහසු සමාජ කාලවකවාණුවක දී ලබා දෙන්න රජය කටයුතු කළා වගකිව යුතු රජයක් විදියට. මේ අවස්ථාවේ දීත් අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මෙම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ගැනීමට. ඒ නිසා තමයි සඳහන් කළෙත් ඊයේත් රෝගීන් එක් කෙනෙක් හෝ දෙදෙනෙක් සොයා ගත් පොලිස් බලප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කරන්න කියලා ජනාධිපති තුමා දැනුම් දීලා තියෙනවා. ජනතාව පත්වෙලා තියෙන අපහසුතාවය ගැන අපි කණගාටුවට පත්වෙනවා වගේම අදාළ වෙළෙඳ ස්ථාන ඇතුළු ස්ථාන විවෘත කිරීම සඳහා එම පළාතේ දේශපාලන අධිකාරිය මැදිහත්ව කටයුතු කරමින් සිටිනවා.“






















