කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (21) තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.
අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේ.
අද පෙරවරුවේ පෙත්සම් විභාග කිරීම ආරම්භ වූ අවස්ථාවේ අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පළමුව කරුණු ඉදිරිපත්කිරිම ආරම්භ කළේය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක වන බවය.
මහජනයා විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කළ විධායක බලය මගින් යෝජිත කොමිසම ස්ථාපිත කෙරෙන බවත් ඊට සාමාජිකයින් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරන බවත් ඔහු අධිකරණය හමුවේ පැවසීය.
“එසේ නම් මෙම ක්‍රියාවලියේ පවතින වරද කුමක් දැයි” ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වරාය නගර කලාපයේ කටයුතුවලට අවසන් වශයෙන් ජනාධිපතිවරයා වගකීමට බැඳීසිටින බවද පෙන්වා දුන්නේය.
යෝජිත කොමිසමේ සාමාජිකයන් වශයෙන් විදේශීය පුද්ගලයින් පත්කෙරෙන බවට අනවශ්‍ය බියක් නිර්මාණය කොට ඇතැයි චෝදනාකළ ජනාධිපති නීතිඥවරයා අතීතයේ මෙරට මහ බැංකුව, ආයෝජන මණ්ඩලය වැනි ආයතන සඳහා ශ්‍රී ලාංකිකයින් නොවන පුද්ගලයින් පත්කර ඇතැයි සිහිපත් කළේය.
මෙහිදී අගවිනිසුරුවරයා මතුකළ ප්‍රශ්ණයකට පිළිතුරුදුන් ජනාධිපති නීතිඥවරයා යෝජිත කොමිසමේ සාමාජිකයන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් ඕනෑම අයෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත්කිරිමට හැකියාව පවතින බව පැවසීය.
යෝජිත කොමිසම කටයුතු කරන්නේ ජනාධිපතිවරයා විසින් අනුමත කරනු ලබන ප්‍රධාන වැඩපිළිවෙලකට අනුව බවත් එම වැඩපිළිවෙළ සංශෝධනය කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ඔහු කීය.
ජාතික යහපත උදෙසා අදාළ කොමිසම වෙත සාමාන්‍ය විධාන මෙන්ම විශේෂ විධාන නිකුත්කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවන බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම කොමිසම ක්‍රියාත්මක වන්නේ සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ බවත් පෙන්වා දුනි.
ඒ අනුව යෝජිත කොමිසමට රටේ පවතින සෙසු නීති මගහැර ගොස් කටයුතු කිරීමට හැකියාවක් නොමැති අතර එම කොමිසම රාජ්‍ය යාන්ත්‍රණය සමග සමගාමීව කටයුතුකරන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
පෙත්සම් විභාගය තව දුරටත් පැවැත්වෙනවා






















