*ඉතාලි රැකියා ලබා ගන්න අලුත් ගිවිසුමක්.**කොරියානු රැකියා ගැටලු විසඳගන්න ගිවිසුම අලුත් කරන්නත් සැලසුම්.**කෝටි 86 වංචාවට සම්බන්ධ අය ඔබේ පක්ෂයේ සිට එවක ආණ්ඩුවට එක් වුණා.**විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී අද දින (1/07) අසන ලද අතුරු ප්‍රශ්න සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ලබා දුන් පිළිතරු.*ඔබ තුමා මතු කරපු රේන්බෝ ආයතනයත් අපේ කාලේ නෙවේ, ඒ කාලේ වෙච්ච එකක්. දේශපාලන රැකවරණය මැද සිද්ද වෙච්ච එකක්. මේ අහුවෙලා ඉන්න කට්ටිය නෙවේ ඇත්ත කට්ටිය. ඒ අය, දාපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්. ඇත්තම අය අතරට ඔබ තුමාලාගෙ පැත්තෙන් මේ පැත්තට පැනපු එක්කෙනෙකුත් සම්බන්ධයි. එයාගේ පෞද්ගලික ජීවිතයටත් සම්බන්ධයි. ඒ කාලේ ඒ පැත්තෙන් මේ පැත්තට පැනපු, ඒ කියන්නේ ඒ කාලේ ආණ්ඩුවට පැනපු. ඒ සම්බන්ධයෙන් අපි ආවට පස්සේ සම්පූර්ණ තීන්දු ක්‍රියාමාර්ග ගත්තා. උසාවි දාලා තියෙනවා. නඩුව උසාවියේ විභාගවෙමින් පවතිනවා. දැනට තියෙන පනත ශක්තිමත් මදි සමහර ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1987 වසරේ සම්මත වෙච්ච පනත, වෙනස් කර අලුත් පනතක් හඳුන්වා දීමටත් කටයුතු කරනවා. දැනට තියෙන්නේ ඒගොල්ලන්ගේ තැන්පතු මුදලක් තබා ගැනීම විතරයි. ඒකෙන් ඒගොල්ලෝ ගැලවෙනවා. ඔබතුමා කියපු විදියටම කෝටි 80 ගාණක් තියෙනවා එතන. මේවා එහි තුන්දෙනෙක්ගේ සල්ලිවලින් පියවගන්න පුළුවන්. මොකද තියන්න තියෙන්නේ ලක්ෂ 30ක්. ඉතින් ඇත්තටම ගත්තොත් ප්‍රමාණවත් නෑ. ඉතින් ඒ සම්බන්ධව බොහෝ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. නිලධාරි හය දෙනෙක්ගේ මේ වනවට වැඩ තහනම් කරලා තියෙනවා. ඒ වගේම කාර්යාංශයට සම්බන්ධ විවිධ අංශවල වැඩ කරන සේවකයන්, මේ ජාවාරමට උදව් කරන අයත් හදුනගෙන තියෙනවා. ඒ අය සම්බන්ධ පරීක්ෂණ කරනවා. දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපි විශේෂ පොලිස් ඒකකයක් අලුතින් පිහිටෙව්වා. මේවා පිළිබඳව පරීක්ෂණ කරන්න. ඒ නිසා අපි ඉදිරියේ දි ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.මීළඟ ප්‍රශ්නය ඉතාලි ප්‍රශ්නය. ඉතාලිය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණා. නමුත් ඉතාලියෙන් රැකියා අවස්ථා අපිට ලැබිලා තිබුණේ නෑ. පහුගිය කාලයේ ලංකාවත් පකිස්තානයත් අසාදුගත කරලා තිබුණේ. අපිට රැකියා දෙන තැනක හිටියේ නෑ. වීසා පවා නිකුත් කළේ නෑ. ඒ නිසා රැකියා ලැබුණේ නෑ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අපි මෑතක දී ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍රය ලබා ගන්න අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. තව මාසයකින් විතර ඒක ක්‍රියාත්මක වෙනවා. මෙහෙන් ඉතාලියට රැකියා සඳහා යැවීම සඳහා අලුත් ගිවිසුම්වලට එළඹෙන්න අපි උත්සහ කරනවා. කොරියාව සම්බන්ධයෙන් ගත්තොත් කොරියාවට යන්න බලාපොරොත්තුවෙන් 10122ක් වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටිනවා. අත්සන් කර තිබෙන ගිවිසුමේ වගන්තිවලට අනුව අවුරුදු දෙකක් ගත වන විට රැකියාව නොලැබුණොත් ඒ වෙබ් අඩවියෙන් ඔවුන්ගේ නම් ඉවත් වෙනවා. 10122ම එකවර අවුරුදු දෙකක කාලයක් සම්පූර්ණ කරන්නේ නෑ. බොහෝ අය මේ මාර්තු වන විට අවසන් කරනවා. අතර මැද ආපු අය තව ඉස්සරහට යනවා. සැලකිය යුතු පිරිසක් ඉවත් වෙනවා. ඒනිසා ගිවිසුමේ වගන්ති එහෙම තිබුණා වුණත් අපි HRD එකෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ තව අවුරුද්දක්වත් මේ කාලය දික්කරන්න කියලා. කොරියා රැකියා අවස්ථා ප්‍රමාණයක් පහුගිය අවුරුද්දේ නොලැබුණේ කොරියාවේ ආණ්ඩුවේ තිබුණ අස්ථාවරත්වයත් එක්ක. කොරියාවේ ආණ්ඩු වැටුණා. භාරකාර ආණ්ඩු පිහිටෙව්වා, ජනාධිපතිවරයාට ඉවත් වෙන්න සිදු වුණා. එවැනි දේශපාලන අස්ථාවරත්වයන් ඇති වුණා. ඒ අස්ථාවරත්වයත් එක්ක ආර්ථික කඩා වැටීමක් වුණා. කොරියාවේ ඇති වුණා දේශපාලන ආර්ථික අස්ථාවරත්වයත් එක්ක අපිට එන රැකියාවල යම් අඩු වීමක් වුණා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. දැන් නව ආණ්ඩුවක් පිහිටුවලා තියෙනවා. නව ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ නිසා මේ අවුරුද්දේ රැකියා අවස්ථා වැඩි වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. කොහොම වුණත් විශාල බලාපොරොත්තු තියාගෙන, විභාග සමත් වෙලා ගිවිසුම අනුව සමහර විට වෛද්‍ය පරීක්ෂණ 03ක් කරලා. මේවා අපි නෙවෙයි අත්සන් කළේ, මීට කලින් අත්සන් කරපු අවබෝධතා ගිවිසුම්. මේ ගිවිසුමේ තියෙන ගිවිසුම්වලට යටත්ව තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. කොහොම වුණත් මේ වෙබ් එකේ ඉඳන් ඉවත් වෙන අයව, ඉවත් නොකර තවදුරටත් රඳව ගන්න අපි HRD එකත් එක්ක සාකච්ඡා කරා. දැනටමත් ලිඛිතවත් දැනුම් දීලා තියෙනවා. අපේ නියෝජ්‍ය ඇමතිතුමා මේ මාසයේ හෝ ලබන මාසයේ මුල කොරියාවට ගොස් මේ පිළිබඳව සාකච්ඡා කරලා යම් සහන කාලයක් ලබා ගන්න ඉල්ලීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට වෙබ් එකේ ඉන්න අයව තෝරගන්නේ මෙහෙ ඉන්න අය නෙවෙයි. වෙබ් එකේ ඉන්න සමහර අයට තියෙනවා ගැටලුවක්, කලින්ම ලියාපදිංචි වෙලා ඉන්න අය ඉඳිද්දි මෑතක දී ලියාපදිංචි වූ අය රැකියාව හිමි වී පිටව යනවා. ඒක නිලධාරීන් කරන දෙයක් නෙවෙයි. අහඹු ලෙස තමයි තෝරා ගැනීම වෙන්නේ. ඒ තෝරා ගැනීම කරන්නේ කොරියාවේ ඉන්න කර්මාන්ත ශාලා හිමියෝ. ඒගොල්ලෝ HRD එකට කිව්වහම HRD එක ඒ තෝරා ගැනීම කරනවා. සමහර අවස්ථාවල දී මාස දෙකකට කලින් ලියාපදිංචි වුණ කෙනෙක් අහඹු ලෙස තේරෙන්න පුළුවන්. මේකෙත් යම් ගැටලුවක් තියෙනවා. මේ ගැන ගිවිසුමේ බැලුවහම, ගිවිසුමේ කොහෙවත් නෑ ලියාපදිංචි වෙච්ච අනුපිළිවෙලට යවන්න කියලා. අහඹු ලෙස තෝරා ගැනීම කියල තමයි තියෙන්නේ. මේ සියල්ල කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නෙවෙයි, කොරියාවේ HRD ආයතනය. ඒක අපිට පාලනය කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ ගිවිසුමත් අපි සංශෝධනය කරගන්න බලාපොරාත්තු වෙනවා. ඒ අනුව රැකියා බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ ඉන්න අයට කාලය දිග් කරගන්න අපි කොරියානු රජයත් එක්ක සහනයක් ගන්න උපරිම උත්සහ කරනවා.






















