සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව ඉදිරියට කැඳවා තිබේ.
එහිදී සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ, රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් සුරාබදු ආදායම් ගණනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා පරිගණක දත්ත පද්ධතිය සකස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ 2020 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමසීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (19) පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී එම නිර්දේශය ලබාදෙන ලදී.
මේ වනවිට එම පරිගණක පද්ධතිය සැකසීමේ මූලික කටයුතු ආරම්භ වී ඇති බවත් 2023 ජනවාරි වනවිට මෙම කටයුතු අවසන් කිරීමට හැකිවන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා කමිටුවට පැවසීය.
මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් අදාළ මිල ගණන් කැඳවා සුදුසු පරිදි මෙම කටයුතු සිදුකරන ලෙස මෙහිදී කමිටුව විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබුණි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වැඩපිළිවෙළ අගය කළ කම්ටුව, පෙන්වා දුන්නේ මේ හරහා රටට ආදායම් ලැබෙන ප්‍රධානතම ආයතනයක් වන සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් ඒ හරහා ලැබෙන ආදායම විශාල වශයෙන් වැඩිකර ගැනීමටත් හැකියාව ලැබෙන බවය.
එසේම ඇතැම් රාජ්‍ය ආයතනවලට මෙලෙස පරිගණක පද්ධතියක් සකස්කරගෙන කටයුතු විධිමත් කරන ලෙස වසර ගණනාවක් මුළුල්ලේ දැනුම් දුන්නද තවමත් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණක් බවද කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
එසේම රජයේ ආදායම වර්ධනය කිරීම සඳහා වූ මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්රිත නිෂ්පාදන සදහා ආරක්ෂිත ස්ටිකර් කළමණාකරණ පද්ධතිය පවත්වාගෙන යාමේ ප්‍රගතිය පිළිබදවද කමිටුවේ අවධානය යොමු විය.
මෙහිදී අනාවරණය වූයේ මෙම ස්ටිකර් කළමනාකරණ පද්ධතිය හදුන්වාදීම නිසා පසුගිය වසරේ මුල් මාස තුන තුළ පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම 17%කින් වැඩිවී ඇති බවය.
එසේම මත්පැන් අපනයනය මත සුරාබදු අවකරණය කිරීම සම්බන්ධ තොරතුරු ආදායම් අංශයේ හා ගිණුම් අංශයේ ලේඛනගත කර පවත්වාගෙන නොයාම ඇතුළු කළමනාකරණ දුර්වලතා පිළිබඳව ද කමිටුවේ අවධානය යොමුවූ අතර හැකි ඉක්මනින් ඒවා නිවැරදි කරගන්නා ලෙස අවශ්‍ය උපදෙස් ලබාදී තිබුණි.






















