පසුගිය 09 වනදා ඇතිවූ කලහකාරී වාතාවරණයත් සමග දිවයින පුරා සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 805දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අදත් ගින්නෙන් විනාශ වූ තම නිවෙස් බැලීමට පැමිණ තිබුණි.
මැයි 09 වනදා ඇතිවූ කලහකාරී වාතාවරණය අතරතුර ගිනිතබා විනාශ කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතාගේ නිවස සහ බලන්ගොඩ පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීම සඳහා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම අද එහි පැමිණ තිබුණි.
එහිදී පළාත් පාලන මන්ත්‍රීවරුන් තමන්ගේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කර සිටි අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන බව මන්ත්‍රී කණ්ඩායම සඳහන් කර ඇත.
එසේම විනාශ වූ නිවාස සඳහා වන්දි මුදලක් ලබාදෙන ලෙසට පාර්ලිමේන්තුව දැනුවත් කරන බවද ඔවුන් සඳහන් කර තිබේ.
කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතාගේ නිවස ද මැයි 09 වනදා කිසියම් පිරිසක් විනාශ කර තිබූ අතර අද ඔහු විනාශ වූ තම නිවස බැලීමට පැමිණියේය.
නිවසට ගිනි තබන අවස්ථාවේ ලක්ෂ්මන් පෙරේරාගේ බිරිඳ සහ පුත්‍රයා ද එහි සිටි බවද වාර්තා විය.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කළුතර නගර සභාවේ සභාපති අමිර් නසීර් මහතාගේ නිවස ද එදින කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ.
පානදුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුමිත් අතුකෝරල මහතාගේ නිවසට ද එදින කිසියම් පිරිසක් පහර දී තිබූ අතර ඔහු අද සිය නිවස බැලීමට පැමිණියේය.
වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ට්‍රෙවින් ප්‍රනාන්දු මහතාගේ නිවසත් කලහකාරී පිරිසක් ගිනි තැබූ අතර ඔහුට අයත් කැබ් රථයක් සහ ලොරි රථයකට ද හානි කර තිබේ.
ඒ මහතා අද සිය හානි වූ නිවස බැලීමට පැමිණියේය.
මහර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අමල් ප්‍රියංග මහතාගේ ව්‍යාපාරික ස්ථානය ද එදින කිසියම් පිරිසක් පහර දී විනාශ කර ඇත.
බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රියශාන්ත මහතාගේ නිවස සහ ඊට යාබදව පිහිටි ඔහුගේ සහෝදරයාගේ නිවසට ද එදින පහර දී ගිනි තබා විනාශ කර තිබුණි.






















