විදුලිය අපතේ යාම අවම කිරීම සඳහා කටයුතු කරන ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් හටගෙන ඇති ඉන්ධන සැපයීමේ ගැටලුව, විදුලිය සැපයීම සඳහා දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති බව එම අධිකාරිය පෙන්වාදෙයි.
උපරිම විදුලි ඉල්ලුමක් පවතින පස්වරු 06 සිට රාත්‍රී 09 දක්වා වූ කාලය තුළ වෙළෙඳ ආයතන සිය වෙළෙඳ දැන්වීම් සහ ගොඩනැගිලි අලංකරණ කටයුතු සඳහා වැඩි වශයෙන් විදුලිය භාවිත කරන බවට නිරීක්ෂණය වී ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම ආලෝකකරණ උපකරණ අලෙවි කරන වෙළෙඳසැල්හිමියන් ගනුදෙනුකරුවන් ආකර්ශනය කර ගැනීමට සිය ප්‍රදර්ශනාගාරවල විදුලි පහන් විශාල සංඛ්‍යාවක් දැල්වීම සහ බොහෝ ආගමික සිද්ධස්ථානවල ද විදුලි පහන් වැඩි වශයෙන් දල්වා ඇති ආකාරය නිරීක්ෂණය වී ඇති බව ද සදහන් කරයි.
කෙසේවෙතත් විදුලි සැපයුමේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගන්නා තෙක් මෙම බලශක්ති වැයවීම සීමාකිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බැවින් විදුලි කප්පාදුව අවම කිරීමට සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වූ මාර්ගෝපදේශ කිහිපයක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය හඳුන්වා දී තිබේ.
එහිදී ආරක්ෂක කටයුතු සඳහා වන ආලෝකකරණය හැර සංඥා පුවරු, ඩිජිටල් හා මුද්‍රිත දැන්වීම් පුවරු ආලෝකමත් කිරීම මෙන්ම සෙසු සියලු ආකාරයේ ආලෝකකරණ කටයුතු සඳහා ජාතික විදුලි පද්ධතියෙන් සපයනු ලබන විදුලිය භාවිතයෙන් වැලකී සිටින ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා ඇත.






















