Sunday, November 8, 2026
HomeNEWSජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවය
ජනපති ප්‍රධානත්වයෙන්

ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය වෙමින් පවතිනවා

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය හුදෙක් තරගයක් පමණක් නොව, රටේ සමස්ත ශ්‍රම බලකාය තුළ ඵලදායිතා සංස්කෘතියක් හඳුන්වා දීම සඳහා ගන්නා අගනා උත්සාහයක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා

රාජ්‍ය, පාසල්, නිෂ්පාදන සහ සේවා අංශයන්හි විශිෂ්ටත්වය ඇගයීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඵලදායිතාව, නවෝත්පාදනය, කාර්යක්ෂමතාව සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ ආයතන මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, ජයග්‍රාහී ආයතන වෙත රන් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

2003 වර්ෂයේදී ප්‍රථම වරට ආරම්භ කර වසර දෙකකට වරක් පවත්වනු ලබන ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය මෙවර පැවැත්වුණේ 2021 වසරින් පසුව වන අතර, රජයේ ප්‍රධාන වැඩසටහනක් වන Clean Sri Lanka ජාතික වැඩසටහන සමඟ සම්බන්ධ කරමින් එය සංවිධානය කිරීම විශේෂත්වයකි.

රාජ්‍ය, පාසල්, නිෂ්පාදන සහ සේවා අංශයන්හි ආයතන යහපත් පරිචයන් අනුගමනය කිරීමට, සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීමට සහ තම සේවාවන්හි හා නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට මෙම තරගාවලිය මඟින් දිරිගන්වනු ලබයි. මෙම සම්මාන ප්‍රදානය රාජ්‍ය අංශය, පාසල් අංශය, නිෂ්පාදන සහ සේවා අංශය යන ප්‍රධාන අංශ තුන ආවරණය කරයි. නායකත්වය, උපායමාර්ගික කළමනාකරණය, මානව සම්පත් සංවර්ධනය, පාර්ශවකරුවන් සමඟ සබඳතා, මෙහෙයුම් ක්‍රියාවලීන්, නවෝත්පාදනය, ඩිජිටල්කරණය සහ මැනිය හැකි ඵලදායිතා ප්‍රතිඵල ඇගයීමේ නිර්ණායක අතර වේ.

එමෙන්ම Clean Sri Lanka ජාතික වැඩසටහනේ ප්‍රධාන කුලුනු වන සමාජීය, පාරිසරික සහ ආචාර ධාර්මික යන කරුණු ඇගයීම් රාමුවට ඇතුළත් කර තිබෙන අතර, සේවක සුබසාධනය, ප්‍රජා සහභාගීත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, බලශක්ති කාර්යක්ෂමතාව, හරිත ඵලදායිතාව, විනිවිදභාවය, වගවීම සහ ආචාරධාර්මික පාලනය පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා

අපට ඵලදායිතාව කියන වචනය ඇහෙන විට එය එතරම් හුරුපුරුදු වචනයක් නොවේ. ඵලදායිතාවයට වඩා අපට හුරුපුරුදු වී ඇත්තේ නාස්තිය, දූෂණය සහ හොරකම වැනි ඵලදායිතාවයට ප්‍රතිවිරුද්ධ වචන. දශක කිහිපයක් තිස්සේ අපේ සමාජයේ වැඩිපුරම සාකච්ඡා වූයේ අකාර්යක්ෂමතාවය පිළිබඳව වන අතර, අප ඊට හුරු වූ රටක්. එබැවින් වසර හයකට පසුව නැවත වතාවක් ඵලදායිතාව පිළිබඳ ඇගයීමක් මගින් සමාජය තුළ සාකච්ඡාවක් මතු කරගැනීමට අපිට අවස්ථාව ලැබී තිබෙනවා.

අපගේ සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගෙන ඵලදායි සමාජයක් ගොඩනැගීමට නම් ඵලදායිතා සංකල්ප හොඳින් හදාරමින් ක්‍රියාත්මක කළ යුතුයි. රාජ්‍ය සේවයේ ඇගයීමට වඩා බොහෝ විට දැකිය හැක්කේ චෝදනාවන්. එහෙත් අවම පහසුකම් යටතේ වුවද රාජ්‍ය සේවකයන් තම ඉලක්ක සපුරාලීමට විශාල ලෙස කැපවෙනවා. අප කළ යුත්තේ මිනිසුන්ගෙන් වැඩිපුර වැඩ ගැනීම නොව, වැඩ කරන ප්‍රමාණය වැඩියෙන් අගය කිරීමයි. එම අගය කිරීම මගින් සේවකයාට ගෞරවය ලැබෙන, ව්‍යවසායකයාට හා කර්මාන්තකරුවන්ට වටිනාකමක් ලැබෙන, රාජ්‍ය සේවකයන්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් නිර්මාණය වෙනවා.

ශ්‍රී ලංකාව යනු විදේශිකයන් පවා තම ජීවිතයේ එක් වතාවක් හෝ පැමිණීමට අපේක්ෂා කරන වාසනාවන්ත රටක්. එම වාසනාවන්ත රට දියුණු සහ අභිමානවත් ජාතියක් බවට පත්කිරීමට අපටම වෙන්වූ දැක්මක් සහ නිර්ණායකයක් අවශ්‍ය වෙනවා. අද සම්මානයට පාත්‍රවන සැමදෙනා මෙම සම්මානය ලබන්නේ පුද්ගලික සම්මානයක් ලෙස නොව, ඔබ සමඟ එකතුවී කැපවීමෙන් කටයුතු කළ සමස්ත කණ්ඩායමේම අධිෂ්ඨානයේ සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙය අතීතයේ කළ කැපවීමට මෙන්ම අනාගතයේ කරන කැපවීම වෙනුවෙන්ද ලැබෙන සම්මානයක්. අපගේ බලාපොරොත්තුව වන්නේ මෙම ජාතික ඵලදායිතා සම්මානය රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ සහ පාසල් අංශයේ සාර්ථකත්වය මනින ප්‍රධාන මිම්ම බවට පත්කර ගැනීමයි. විෂයභාර අමාත්‍යවරයා ලෙස සම්මාන ලබන සැමට මාගේ ගෞරවය, ප්‍රණාමය සහ සුබ පැතුම් එක් කරනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා

දියුණු වන රටකට ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාවය කියන කාරණය අතිශයෙන්ම වැදගත් වෙනවා. නිසි ක්‍රියාකාරකම් තෝරාගෙන වෙහෙස මහන්සි වී වැඩ කරමින් වැඩි ප්‍රතිඵල ලබාගැනීමේ තත්ත්වයකට රටක් පත්වීම ඵලදායිතාවයේ පදනමයි. රටකට තිරසර ආර්ථික වර්ධනයක් ඇති කරගැනීමට, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ තරගකාරීව ආයෝජන වැඩි කරගැනීමට, වැටුප් මෙන්ම ජීවන තත්ත්වය උසස් කරගැනීමට ඵලදායිතාවය වැඩි කරගැනීම අත්‍යවශ්‍යයි. එම නිසා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද ඵලදායිතාවය ඉහළ නැංවීම අතිශයින්ම වැදගත් කාරණයක් වෙනවා.

මෙවැනි තරග සංවිධානය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි උද්‍යෝගය වැඩි කිරීම ඉතා වැදගත් වෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මුළු ශ්‍රම බලකායෙන් 15%ක් පමණ සේවය කරන්නේ රාජ්‍ය අංශයේ වන අතර, රාජ්‍ය වියදම්වලින් 26%ක්ම ඒ සඳහා වැය කෙරෙනවා. නමුත් දළ දේශීය නිෂ්පාදිතයට (GDP) රාජ්‍ය අංශයෙන් ලැබෙන දායකත්වය 5%ක් වැනි පහළ මට්ටමක පවතිනවා. රාජ්‍ය අංශයේ ඵලදායිතාවය අවම වීම හේතුවෙන් අප රට ‘පහළ ඵලදායිතා උගුලක’ සිරවී සිටින බවට තර්ක කෙරෙනවා. ඵලදායිතාවය අඩුවීම නිසා පුද්ගල දායකත්වය අඩුවී වැටුප් මට්ටම් පහළ යන අතර, ඒ හේතුවෙන් රාජ්‍ය අංශයට දක්ෂයින් සහ හැකියාවන් සහිත පිරිස් ආකර්ෂණය වීම සීමා වෙනවා. එසේම රාජ්‍ය අංශයේ සිටින දක්ෂයින් පෞද්ගලික අංශයට හෝ විදේශගත වීමට පෙළඹීම නිසා රාජ්‍ය අංශයේ ඵලදායිතාවය ක්‍රමානුකූලව තවත් පහත වැටෙනවා. මේ එකම තැන කැරකෙන අහිතකර චක්‍රය බිඳහෙළීම සඳහා තාක්ෂණය, ස්වයංක්‍රීයකරණය සහ ඩිජිටල්කරණය භාවිතයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුයි.

ඊට අමතරව, අපගේ මානව සම්පතෙහි ගුණාංග, හැකියාවන් සහ ආකල්පමය වෙනස්කම් ඇති කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. සේවකයින් හිතන ආකාරය, සුපිළිපන්නභාවය, වගවීම, කණ්ඩායම් හැඟීම සහ Deep Work වැනි සංකල්ප ඔස්සේ ඔවුන්ගේ අවධානය හා චර්යාවන් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. මානව සම්පතෙහි චර්යාත්මක වෙනස්කම් ඇති කරමින් ඵලදායිතාවය වර්ධනය කිරීම සඳහා Clean Sri Lanka වැඩසටහන සෘජුවම එකතු වෙනවා. ශ්‍රී ලංකා සමාජය තුළ වඩාත් ඵලදායි මානව සම්පතක් ගොඩනැගීම Clean Sri Lanka වැඩසටහනේ මූලික බලාපොරොත්තුවයි. මෙම ඵලදායිතා සම්මාන තරඟාවලිය රාජ්‍ය හා පෞද්ගලික අංශවලට අමතරව පාසල් පද්ධතිය සහ තරුණ කණ්ඩායම් වෙත ද විවෘත කර තිබීම අගය කළ යුතුයි. මෙය හුදෙක් තරගයක් පමණක් නොව මුළු ශ්‍රම බලකායටම ඵලදායිතාවය හඳුන්වා දීමේ අගනා උත්සාහයක්. ඉදිරියේදී වැඩි පිරිසක් එකතු කරගනිමින් මෙම තරගයේ වපසරිය තවදුරටත් පුළුල් කළ යුතුයි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා සහ එහි නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-11-08

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img