මූල්‍ය වංචා සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය අද (15) දිනයේත් ස්ථානීය පරීක්ෂාවන් සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට රැගෙනගොස් තිබේ.
අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව සහිතව ඇය අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථානීය පරීක්ෂාව සඳහා රැගෙන ගිය බවය.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ ඇයව රැගෙන ආවේ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයක් වෙතය.
තිළිණි ප්‍රියමාලි මුදල් ගණුදෙනු බොහොමයක් මෙම ගොඩනැගිල්ල තුළදී සිදුකර ඇති අතර පසුගියදා රුපියල් මිලියන 226ක පැමිණිල්ලට අදාළ ගණුදෙනුව සිදුවී ඇත්තේද මෙම ගොඩනැගිල්ල තුළදී බව අනාවරණය වී තිබේ.
ක්‍රිෂ් අධ්යක්ෂවරියක් බව පැවසෙන ජානකි සිරිවර්ධන මහත්මියවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද එම ස්ථානයට කැඳවා තිබුණි.
ඒ රුපියල් මිලියන 226 ගණුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය.
ඒ අනුව ජානකී සිරිවර්ධන මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පැය 05ක පමණ කාලයක් එම ස්ථානීය පරීක්ෂා කිරීම් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය සැකකාරිය නැවත අද පස්වරු 03.20ට පමණ බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව වාර්තා විය.
මේ අතර පසුගිය 12 වනදා දිනයේ ද සැකකාර තිළිණි ප්‍රියමාලි තැනැත්තිය ස්ථානීය පරීක්ෂාවක් සඳහා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ඇයගේ ව්‍යාපාරික ස්ථානයට රැගෙන ගොස් තිබුණි.
මේ වනවිට අවස්ථා දෙකකදී ඇය ස්ථානීය පරීක්ෂා කිරීම් සඳහා මෙලෙස බන්ධනාගාරයෙන් පිටතට රැගෙනගොස් තිබේ.
එම පරීක්ෂා කිරීම් කටයුතු සඳහා ඇයව ලබන 19 වනදා දක්වා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට ද අවසර හිමිව ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.
තිළිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
මේ අතර තිළිණි ප්‍රියමාලි සමග සමීප සබඳතා පැවැත්වූ තිදෙනෙක් ද අද ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.
ඒ අතර නීතීඥවරයෙකු ද වෙයි.
ඔවුන් තිදෙනා සහ තිළිණි ප්‍රියමාලි අතර නිරන්තරයෙන් දුරකථන සංවාද සිදුවී ඇති අතර ඊට අදාළව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.






















