දමිළ මාධ්‍යවේදින් හමුව
- රටේ සංවර්ධනයට උතුර – දකුණ කියලා වෙනසක් නැහැ
- පහුගිය යහපාලන සමයේ උතුරේ සංවර්ධනය වුනෙත් නැහැ. දකුණෙ සංවර්ධනය වුනෙත් නැහැ.
- උතුරට පානීය ජල යෝජනා ක්‍රමයක්
- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි උතුර සහ දකුණ කියා වෙනසක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (2020.07.01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි දමිළ මාධ්‍යවේදින් හමු වූ අවස්ථාවේදිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
දමිළ මාධ්‍යවේදීන් හම්බෙන්න අපි තීරණය කළා. ඔබට අපෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. දකුණේ මාධ්‍යවේදීන් සහ උතුරේ ඉන්න මාධ්‍යවේදීන් අතර සම්බන්ධතාව අඩුයි. උතුරේ ප්‍රශ්න පිළිබඳව මෙහෙ සිටින මාධ්‍යවේදීන් ලියනවා. ඒ වගේම දකුණේ ජනතාවගේ මතය ඔබ ලියනවා. ඒ තුළ විශාල පරතරයක් තිබෙන බව අපි දකිනවා. ජාතියක් වශයෙන් සියලු දෙනාම මේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව මම විශ්වාස කරනවා.
අපේ කාලයේ ප්‍රාණ ඇපකරුවන් විදියට හිටපු ලක්ෂ ගානක් ජනතාවට නිදහස ලබා දුන්නා. 1977න් පස්සේ උතුරට සහ නැගෙනහිරට දැවැන්ත වැඩ කොටසක් කළේ අපේ ආණ්ඩුවයි. නමුත් ඒ වැඩපිළිවෙළ මාධ්‍ය මඟින් ජනතාවට සන්නිවේදනය කරන්න හැකි වුණේ නැහැ. පහුගිය අවුරුදු පහේ රට පස්සට ගියා මිස රට ඉස්සරහට ආවේ නැහැ. අපි උතුරේ කරපු සංවර්ධනයත් පහුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ සිදුවුණේ නැහැ. දෙමළ ජාතික සන්ධානයෙන් සහ පහුගිය ආණ්ඩුවේ උතුරේ ජනතාවට මොනවද සිද්ධ වුණේ. හැමදාම තමන්ට වාසිදායක ප්‍රශ්නයක් අරගෙන දේශපාලන වශයෙන් ප්‍රශ්න ඇති කළා මිස ජනතාවගේ ආර්ථික සංවර්ධනයට,බොන්න වතුර දෙන්න,පාරක් හදන්න මොනවද කළේ. මාධ්‍යයත් කළේ ඒ දේවල් අවුස්සපු එක.මේ අය ලවා වැඩ කරවා ගන්න මාධ්‍යයත් උත්සාහ කළේ නැති බවයි මම හිතන්නේ.
යුද්ධය අවසන් වුණාට පස්සේ අපි උතුරේ සංවර්ධන කටයුතු දියත් කළා. අපිට වුවමනා වුණේ දකුණෙ තත්වෙටම උතුරත් ගේන්න. නමුත් පහුගිය කාලේ රට ආපස්සට ගිය එකයි වුණේ. දකුණේ සංවර්ධනය වුණෙත් නැහැ. විශේෂයෙන් තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට පිළිතුරක් දිය යුතුයි. ආයෝජකයන්ට අපි කියන්නේ උතුර ගැනත් බලන්න කියලයි.
බීමට සුදුසු පිරිසිදු ජලය ගන්න හැකි වන ආකාරයට උතුරේ ජලාශයක් සකස් කරන්න අපි බලාපොරොත්තු වුණා. අක්කර 20 ක විතර කොටසක් ඒ සඳහා වෙන් කරගෙන තිබෙනවා එය සාර්ථක වුණොත් මුළු කළපුවම බීමට සුදුසු ජලය සැකසීමට යොදා ගන්නවා. එය කිරීමට අපි දැනටමත් උපදෙස් ලබා දීලා තිබෙනවා. ජනතාවගේ සැබෑ ප්‍රශ්න පිළිබඳව දේශපාලනඥයො කතා නොකළත් මාධ්‍යයට ඒ ප්‍රශ්න ගැන කතා කරන්න අයිතියක් තිබෙනවා. දේශපාලඥයන් නොකරන දේ ඔබ කළ යුතුයි.
කොවිඩ්- 19 වසංගත තත්ත්වය පාලනය කරන්න හැකි වුණේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මැදිහත් වුණ නිසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය හමුදාව පොලිසිය මේ සියලු ආයතන උතුරේ සහ දකුණේ කැපවීමෙන් කටයුතු කළා. නැගෙනහිර හා උතුරු පළාත් සභා ඡන්දය මම පැවැත්වුවා. ඒ වෙලාවේ මැතිවරණය පවත්වන්න එපා කියලා බලපෑම් පවා කළා. පැරදුනත් කමක් නෑ උතුරේ ජනතාවට ඒ අයිතිය දෙන්න ඕනේ කියන තැනයි මම හිටියේ. අපි දන්නවා ඡන්දෙ දෙන්නෙ නෑ කියලා. නමුත් අපි උතුරේ ජනතාවට ඒ ජනතාවගේ අයිතිය දුන්නා. පහුගිය කාලයේ ආයෙත් ඒ අයිතිය උතුර ගත්තා.දේශපාලන නායකත්වය ආණ්ඩුවට සහයෝගය දැක්වූවා. මට කියන්න තියෙන්නේ අපි උතුරු- නැගෙනහිර ජනතාවට දුන් ඡන්ද අයිතියත් දෙමළ ජාතික සන්ධානය සහ යූඑන්පී ආණ්ඩුව උදුරගත්ත කියලයි.මේ තත්ත්වයන් පිළිබඳව ජනතාව අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් අපි කැමතියි.
මාධ්‍ය – පසුගිය දා නැගෙනහිර ආණ්ඩුකාරවරිය ඔබතුමන්ව මුණගැහුනා. එහිදී නැගෙනහිර ආණ්ඩුකාරවරිය සමඟ කුමන ආකාරය සංවර්ධන සැලසුම් පිළිබඳවද සාකච්ඡා කළේ?
අග්‍රමාත්‍යවරයා – ආයෝජකයින්ට ව්‍යවස්ථාවෙන් ආරක්ෂාව තිබෙනවා. එයට කලබල වීමේ අවශ්‍යතාවයක් නැහැ. ආදායමක් ගන්න පුලුවන්. ආයෝජකයෝ ඇවිත් උතුරට යන්න කැමැති නැහැ. අපි උතුරට යන්න උනන්දු කර ගන්න ඕනේ.අපි නිතරම ඒ අයට කියන්නේ උතුරට යන්න කියලයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා – ආයෝජන ආරක්ෂණ ගිවිසුම් තියෙනවා ඒ හරහා සියට සියක් අපි ආයෝජකයින්ගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා ආයෝජකයින් ගේන ආයෝජනයට වැඩිය 2% ක පොලියක් අපි ලබා දෙනවා.
මාධ්‍ය – දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහාය දක්වන බව සඳහන් කර තිබෙනවා. ඔබතුමා මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද දරන්නේ?
අග්‍රමාත්‍යවරයා – ඕන කෙනෙකුට ආණ්ඩුවකට සහයෝගය දක්වන්න පුළුවන්. ඕන කෙනෙකුට විරුද්ධ වෙන්නත් පුළුවන්. ඒ අය ආණ්ඩුවට සහයෝගය දක්වනවා නම් හොඳයි.
මාධ්‍ය – ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ගන්න බැරි වුනොත් දෙමළ ජාතික සන්ධානයේ සහය ගන්නවද?
අග්‍රාමාත්‍යවරයා – ඕවා මැතිවරණයෙන් පස්සේ බලන්න ඕන දේවල්. ආණ්ඩුවට සහයෝගය දක්වන එක සිදු වෙන්නේ විවිධ සිදුවීම් සමඟයි.අපි විපක්ෂයේ ඉඳගෙන සමහර දේවල් වලට විරුද්ධ වෙනවා. සමහර දේවල් වලට සහයෝගය දක්වනවා.
මාධ්‍ය – නැගෙනහිර ප්‍රදේශයට අදාළ පුරාවිද්‍යා කාර්යසාධන බලකායේ දෙමළ අය කවුරුන් හෝ ඇතුලත් නොවීමට හේතුව කුමක්ද?
අග්‍රාමාත්‍යවරයා – කාර්යසාධක බලකායට සමාජිකයන් පත් කරලා තියෙන්නේ නොයෙක් ප්‍රධාන තනතුරුවල ඉන්න නිලධාරින්, මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වගේ තැන්වලින්. ඔය හැම දෙපාර්තමේන්තුවකම ජ්‍යේෂ්ඨ දෙමළ හා මුස්ලිම් නිලධාරිනුත් අදාළ වැඩවලට සහභාගී වෙනවා. කාර්යසාධක බලකායේ ඉන්න පුද්ගලයෝ දිහා නෙමෙයි අපි බලන්න ඕනේ, ඒකේ නියෝජනය වෙන දෙපාර්තමේන්තු හා ආයතන දිහා.උතුරු නැගෙනහිර වැඩ කරන්නේ දමිළ සහ මුස්ලිම් නිලධාරීන්. අවබෝධයක් තියෙන අය ඒ සඳහා පත්කළ යුතුයි.
මාධ්‍ය – උතුර නැගෙනහිර පළාතේ වන විනාශය නවත්වන්න මොනවද ගන්න පියවර ?
අග්‍රාමාත්‍යවරයා – ඒක උතුරේ විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. දකුණු පළාතේත් සිදුවෙනවා. වන විනාශය නතර කරන්න ඕනේ වන විනාශය වෙන තැන් හොයාගෙන නැවත වගා කරන්නත් ඕන.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා – මේ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගැටලු ඇති වුණා. අපි ඉදිරිපත් කළ නිවාස යෝජනා ක්‍රම සඳහා ඒ අය කැමති වුණා. අපි කොවිඩ් වසංගතය කාලයේ උතුරේ ජනතාවට රුපියල් පන්දාහත් ලබා දුන්නා.
අග්‍රමාත්‍යවරයා – අපිට උතුර ,නැගෙනහිර, දකුණ, බටහිර කියලා නැහැ .
මාධ්‍ය – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වත්මන් තත්වය කොහොමද?
අග්‍රාමාත්‍යවරයා – වෛරස් එක පාලනය වෙලයි තියෙන්නෙ. විදේශගතව සිට ලංකාව එන අයගෙන් විතරයි දැන් ආසාදිතයන් හමුවෙන්නෙ.
මාධ්‍ය – කරුණාඅම්මාන් කළ ප්‍රකාශය ගැන ඔබතුමා ගේ අදහස මොකක්ද?
අග්‍රමාත්‍යවරයා – කරුණා කළ ප්‍රකාශය ගැන එයාගෙන්ම තමයි අහන්න ඕනේ.ඒ ප්‍රකාශය වැරදියි. ඒ ගැන මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයකුත් සිදුකරගෙන යනවා.
මාධ්‍ය – ඉන්දියාවෙන් එන බෝට්ටු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරිය සමඟ සාකච්ඡා කළාද?
අග්‍රමාත්‍යවරයා – තවමත් ඉන්දියාවෙන් බෝට්ටු එනවා. ජනාධිපතිවරයා මම සහ ඇමතිවරු මේ ගැන ඉන්දීය ආණ්ඩුවත් සමග සාකච්ඡා කළා.
මාධ්‍ය – පසුගිය ආණ්ඩුව උතුරු- නැගෙනහිර ජනතාවට විශාල සංවර්ධනයක් කළ බව කියනවා. නමුත් ඡන්ද ප්‍රතිශතය අඩුයි. මේ මැතිවරණ කාලයේ ඔබ උතුරේ ජනතාවට දෙන පණිවිඩය කුමක්ද?
අග්‍රමාත්‍යවරයා – උතුරේ ජනතාව හරි නියෝජිතයෙක් පත්කළ යුතුයි. ඩග්ලස් දේවානන්දා ඇමතිතුමාලා වගේ. අපේ අපේක්ෂකයෝ ඉන්නවා මේ පාර උතුරු පළාතෙන් මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වගේම ස්වාධීනවත් ඉල්ලනවා. බොරුවට පාර්ලිමේන්තුවට ඇවිල්ල කෑගහන අය වැඩක් නැහැ. දේශපාලන වාසි ගන්නේ නැතුව උතුරේ ජනතාවගේ ගැටලූ ගැන කතා කරන අය අවශ්‍යයි. අඩුම තරමේ උතුරේ ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන්වත් කතා කරන්න ඕනේ. අපේ ගමට වතුර ඕනේ පාර ඕනේ කියලා කතා කරන්න ඕන ඒව ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ.එහෙම නැතුව හැම එකකටම දේශපාලනය ගාවා ගෙන හොඳ යෝජනාවලටත් විරුද්ධ වෙන අයගෙන් වැඩක් නැහැ
මාධ්‍ය – පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති අගමැති වගකිය යුතු බව කියනවා ඔවුන්වත් කොමිසම හමුවට ගෙනවිත් ප්‍රශ්න කරනවා ද?
අග්‍රාමාත්‍යවරයා – ඒ සම්බන්ධයෙන් කොමිසමක් පත් කරලා කොමිසම වැඩ කරගෙන යනවා. ඒක නිකම් කොමිසමක් නෙවයි. එ නඩුකාරවරුන් ගෙන් සමන්විත කමිෂන් එකක්. එයාලා එන්න කියන අය ඇවිත් අනිවාර්යයෙන් සාක්ෂි දෙන්න ඕන.
මාධ්‍ය – මහවැලි ව්‍යාපෘතියෙන් උතුරේ ජනතාවට මේ වන විට ලැබී තිබෙන ප්‍රතිලාභය මොකක්ද?
අග්‍රාමාත්‍යවරයා – ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ෙජනතාවට වතුර දෙන්න. හැබැයි ඉරණමඩුවලින් එහාට වතුර දෙන්න ඒ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒකට වැඩපිළිවෙළක් අපි සාකච්ඡා කරලා තියෙනවා. පහුගිය දවස් වල මම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් ගෙනල්ල කතා කරා.
මාධ්‍ය – මගේ මාධ්‍ය ජීවිතයට වසර පනස් දෙකක්. මම ලේක්හවුස් යාපනය ප්‍රාදේශීය වාර්තාකරු. අපිට වෘත්තීය ප්‍රායෝගික ගැටලු තිබෙනවා. අපිට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබා දෙනවා නම් ලොකු උදව්වක්. අපිට ප්‍රවාහන ගැටව පවා තිබෙනවා. ඒ නිසා අපේ වෘත්තිය කටයුතු කාර්යක්ෂමව සිදු කරගන්න හැකියාවක් නැහැ.
බන්දුල ගුණවර්ධන ගුණවර්ධන අමාත්‍යවරයා – මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නම්.
මාධ්‍ය – පහුගිය කාලේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් වාර්තා වුනා.
අග්‍රාමාත්‍යවරයා – පහුගිය දවස්වල හමුදා කඳවුරු ගාව බෝම්බ කියලා තිබුණා. අත්අඩංගුවට නොගෙන හිටියොත් ඔබ මොකද ඒ කියන්නේ. එයාලා ගැහුවොත් ඊට පස්සේ ගන්න තීරණය මොකක්ද . එක එක තැන් වල බෝම්බ තියලා තිබ්බා එතකොට ඒක ගැන පරීක්ෂණ කරන්න කණ්ඩායම් අත් අඩංගුවට ගන්නවා .දකුණෙත් එහෙමයි දකුණේ පාතාලය පිළිබඳ පරීක්ෂණ කරනකොට ටී56 12ක් හම්බුනා. ඒක පොඩි දෙයක් නෙවෙයි. උතුරේ දකුණේ කියලා වෙනසක් නැහැ. එල්.ටී.ටී.ඊ වෙන්නත් පුළුවන් පාතාලේ වෙන්නත් පුළුවන්. පසුගිය දවස්වල කිළිනොච්චි වලත් පාතාල කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා. එතකොට සැකපිට අත්අඩංගුවට ගැනීමේ අයිතිය තියෙනවා එහෙම කරන්නෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාවට මිසක් අපිට අවශ්‍යතාවයකට නෙමෙයි. ජනතාවගේ ආරක්ෂාව ආණ්ඩුවක වගකීමක්. මිනිසුන්ගේ ආරක්ෂාව ගැන ලියන්න කතා කරන්න ඔබතුමාලටත් වගකීමක් තියෙනවා.

































