නව ජනපති දිවුරුම්දීම අද
මෙරට 8වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ එම ධුරයේ දිවුරුම්දීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ දි දිවුරුම්දීම සිදුකිරීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ.
වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයේ දී ඡන්ද 134ක් ලබාගනිමින් නව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වුණි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා 8 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්කර ගත් බව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු මහා ලේකම් ධම්මික දසනායක මහතා විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.
1949 වසරේ මාර්තු මස 24 වැනිදා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ දී උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.
නීතීඥවරයෙකු ලෙස සිය වෘත්තීය දිවිය ඇරඹූ ඔහු 1977 වසරේ පැවති මැතිවරණයේ දී බියගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසය.
එතැන් සිට වසර 45ක පාර්ලිමේන්තු දිවිය තුළ නියෝජ්‍ය අමාත්‍ය ධුරය, අමාත්‍ය ධුරය, විපක්ෂ නායක ධුරය මෙන්ම අගමැති ධුරය ද අවස්ථා ගණනාවකදී දැරූ රනිල් වික්‍රමසිංහ මහතාට මෙතෙක් අහිමිව තිබුණේ විධායක ජනාධිපති ධුරය පමණය.
මෙරට දේශපාලන ඉතිහාසයේ වැඩිම නිලතල සංඛ්‍යාවක් දරා ඇති දේශපාලනඥයින් අතරට ඇතුළත් වන රනිල් වික්‍රමසිංහ මහතා හයවරක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරමින් වාර්තා පොත් අතරට ද එක්ව තිබේ.
අවස්ථා දෙකකදී ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වුව ද ඔහු එම අවස්ථා දෙකේදීම පරාජයට පත්වුණි.
1999 වසරේ පළමු වරට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවේ පරාජයට පත්වූ අතර 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ඔහු පරාජය කරමින් ජය හිමිකර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාය.
2020 වසරේ පැවති පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට පළමු වරට ඡන්දයෙන් තේරී පත්වීමට නොහැකි වුණි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ උද්ගතවූ අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ඉකුත් මැයි මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණි.
අභියෝග රැසක් මධ්‍යයේ එම ධුරය භාරගත් ඔහු ගතවූ මාස දෙක තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබාදීම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය.
දිගින් දිගටම එල්ල වූ මහජන විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 14 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.
මේ වන විට 73 හැවිරිදි වියේ පසුවන රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ දශක 4කට අධික දේශපාලන දිවියේ ඉහළම කඩඉමට ළඟාවෙමින් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
මේ අතර 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරිපත්වු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණි.
ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, අරගලය මුවාවෙන් නිවාස ගිනිතැබීම මෙන්ම රාජ්‍ය ආයතන අත්පත් කරගැනීම නීතිවිරෝධි බවය.
එවැනි කටයුතුවල නිරත වන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදි සඳහන් කළේය.






















