Thursday, November 12, 2026
HomeNEWSපඬුකරඳ ශාකය කපා විනාශ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩලයට මාසක සිර දඬුවමක් ලබා දිය...

පඬුකරඳ ශාකය කපා විනාශ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩලයට මාසක සිර දඬුවමක් ලබා දිය හැකි බව උදය ගම්මන්පිල පවසයි.

2023 ජූලි 17 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්

වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 43 වගන්තිය අනුව ආරක්ෂිත වර්ගයේ ගසක් ලෙස හදුනාගෙන ඇති පඬුකරඳ ශාකය කපා විනාශ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩලයට මාසක සිර දඬුවමක් ලබා දිය හැකි බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද දින (2023.07.17) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ඇමති මණ්ඩලයම අත්අඩංගුවට

ඇමති මණ්ඩල තීරණයක් අනුව මධ්‍යම අධිවේගි මාර්ගයට මැදි වුණු පඬුකරඳ ගස කපා දමා විනාශ කරලා. මුල් අවස්ථාවේ ලෝකයේ තිබෙන එකම පඬුකරඳ ගස ලෙස මේක හඳුනා ගත්තත් දැන් අපට ගස් 7ක් තිබෙනවා. පැල 20ක් සිටුවා තිබෙනවා. තවත් 200ක් සිටවනවා යනාදි වශයෙන් ආණ්ඩුව මේ ගස කපා දැමීම සාධාරණ කරන්න දැවැන්ත වෑයමක් දරනවා. මොන සුන්දර කතා කිව්වත් ඒ ගස කපා දැමීම සාධාරණ කරන්න බෑ. මොකද ඒ ක්‍රියාව නීති විරෝධියි.

වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 43 වගන්තිය අනුව අට වන උපලේඛණයේ දැක්වෙන ආරක්ෂිත වර්ගයේ ගසකට හානි කරන්න බෑ. මේ අටවන උපලේඛණයේ පැබේසියේ කුලකයේ පැලෑටියක් ලෙස කෘෘඩියා සිලැනිකා නැතිනම් පඬුකරඳ ගසත් තිබෙනවා. එහෙම නම් මේ පනත සංශෝධනය නොකර ඒ ගස කපා දැමීම නීති විරෝධියි විතරක් නොවේ මාසයක සිර දඬුවමක් ලැබිය යුතු වරදක්.

දැන් මේ පඬුකරඳ ගස කපා දමන්නේ ඇමති මණ්ඩල තීන්දුවකින්. එහෙම නම් වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 43 වන වගන්තිය උල්ලංඝණය කරලා තිබෙන්නේ වෙන කවුරුවත් නොවේ, ඇමති මණ්ඩලයයි. එහෙම නම් දැන් පොලිසිය විසින් ඇමති මණ්ඩලය අත්අඩංගුවට ගත යුතුයි.

ඇමති මණ්ඩලය හිතනවා නම් තමන් නීතියට උඩින් ඉන්නේ. අපි ලොක්කන්. නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ පොඩ්ඩන්ට පමණයි කියලා ඒ අයට වැරදිලා. ඇමති මණ්ඩල තීරණ හරහා නීති උල්ලංඝණය කිරීමේ හැකියාවක් නෑ. සාමාන්‍ය ජනතාවට ආදර්ශයක් වෙන්න ඇමති මණ්ඩලය නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමයි හරි නම් වෙන්න ඕනෑ. රටේ ඉහළම ආයතනය වන ඇමති මණ්ඩලය අණ පනත් උල්ලංඝණය කරන විට පොලිස් නිලධාරින් අන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

පොලිසියට ඉතිහාසය පුරා තිබෙන චෝදනාවක් තමයි ලොක්කන් දැක හැකිලෙන්නේ පොඩ්ඩන් හට පුප්පන්නේ කියන එක. ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න දැන් ඔන්න පොලිසියට ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ගරු පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානයටයි.

මේ ගස ගලවා වෙනත් තැනක සිටුවීමට පරිසර අධිකාරිය නියම කර තිබිය දී තමයි ඇමති මණ්ඩලය ගස විනාශ කිරීමට තීන්දු කරන්නේ. තනි ගසක් රැක ගැනීමට මෙතරම් උනන්දුවක් ඇයි කියලා සමහරු අහනවා. පරිසර පිස්සුවක් කියලා සමහරු කියනවා. නමුත් පඬුකරඳ පැලෑටිය මුළු ලෝකයේම තිබෙන්නේ ලංකාවේ විතරයි. ඒ ගස ලෝකයෙන්ම අතුරුදහන් වෙලා ඇතැයි විශ්වාස කරපු යුගයකුත් තිබුණා. අදටත් ලංකාවේ තිබෙන්නේ ගස් කිහිපයක් විතරයි.

මිනිසුන් මුහුණ දෙන සෑම ප්‍රශ්නයකටම පිලිතුරු මේ පරිසරය තුලම තිබෙනවා. සමහර පැලෑටි කුමන රෝගයකට ඖෂධයක් වෙනවා ද කියන එක තවම සොයා ගෙන නෑ. පඬුකරඳ ගසෙන් මොන මොන රෝග වලට ඖෂධ නිපදවන්න පුළුවන් ද කියන එක තවම හඳුනා ගෙන නෑ. ඒ අතරේ මේ ගස වඳ වෙලා මෙලොවෙන් අතුරුදහන් වුණොත් යම් රෝගයක් සුවපත් කරන්න තිබෙන අවස්ථාව සදහටම අහිමි වෙනවා. අන්න ඒකයි අපි මේ වඳ වෙන ගස් රැකිය යුත්තේ.

1911 වර්ෂය වන විට මේ ගස ලෝකෙන්ම අතුරුදහන් වී තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. 2012 වර්ෂයේ පඬුකරඳ ශාකය නැවත සොයාගන්නා තුරු වසර 101 පුරාවට මෙය සැලකුවේ ලෝකයෙන් වඳවී ගිය ශාකයක් විදිහට. පඬුකරඳ ගස් හමුවන්නේ ගම්පහ මිනුවන්ගොඩ කඩුවෙල වැනි පෙදෙස් ආශිතවයි. නමුත් ආණ්ඩුව මේවා උත්සවාකාරයෙන් සිටුවන්නේ කතරගම සහ අනුරාධපුරයේ. මිරිදිය වගුරුබිම් ආශිතව වැවෙන මෙම ශාකය ශුෂ්ක කලාපයේ සිටුවනවා. ඉන් මේ පලැටියේ පැවැත්ම තහවුරු වන්නේ නෑ. මෙම පැලෑටිය ගැන මෙලෝ අධ්‍යයනයකින් තොරව තමයි මේ පැල සිටුවන්නේ. ඊට වගේම ඔවුන් දිගින් දිගටම මාධ්‍ය වල කිව්වා මේ පැලෑටිය තර්ජනයට ලක්වෙලා නැහැ මේ පැළෑටිය රතු දත්ත පොතෙන් ද අයින් කරලයි තියෙන්නෙ කියලා. මෙය රතු දත්ත පොතේ වඳ වූ වර්ගයේ ශාක වලින් ඉවත් කර තිබුණත් වඳවීමේ තර්ජනයට බරපතල ලෙස ලක් වී ඇති ශාක ගණයට ඇතුලත් කර තියෙනවා. මෙය රතු දත්ත පොතෙන් ඉවත් වී ඇතැයි කීම පට්ටපල් බොරුවක්.

පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව කාර්යාලයෙන් රතු දත්ත පොත අවසාන වරට නිකුත් වී තිබෙන්නේ 2020 වසරේ. එහි 143 වන පිටුවේ කෘෘඩියා සිලැනිකා නමින් පඬුකරඳ ශාකය සඳහන් වනවා.

ඒ වගේම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා දඬුවම් ලැබීමට නියමිතයි අධිකරණයට අපහාස කිරීමේ හේතුව යටතේ. මේ ගස පිළිබඳව නඩුවක් පැවරූ අවස්ථාවේ නඩුව සමථයකට පත් වෙන්නේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට පොරොන්දුවක් දෙනවා මේකෙන් මේ ගස ඉවත් කරනවා නම් එය වෙනත් තැනක රෝපණය කර බලා ගන්නවා කියලා. අධිකරණයට ලබාදුන් ඒ ප්‍රතිඥාව ද අමු අමුවේ උල්ලංඝනය කර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කර තිබෙනවා.

බඩු මිල අඩු නොවන්නේ ඇයි?

2023 අප්‍රේල් මාසයේ උද්ධමන වේගය 35%යි. මැයි මාසයේ දී 25%යි. ජූනි මාසයේ දී 12%යි. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනය අඛණ්ඩව පහත වැටෙනවා. උද්ධමනය අඩු වෙනවා කිව්වාට බඩු මිල අඩු වෙලා නෑනෙ කියලා ජනතාව මාධ්‍ය හරහා නිතර මැසිවිලි නගනවා. පාරිභෝගික සංගම් චෝදනා කරනවා. නමුත් උද්ධමනය අඩු වුණා කියලා නම් බඩු මිල අඩු වෙන්නේ නෑ. කවුරුවත් මේක හරියට පැහැදිලි කරන්නෙත් නෑ.

උද්ධමනය කියන්නේ යම් නිශ්චිත කාලයක් තුල භාණ්ඩ මිල ඉහල යෑමයි. 2023 ජූනි මාසයේ උද්ධමනය 12%යි කියන්නේ 2022 ජූනි මාසයට සාපේක්ෂව 2023 ජූනි මාසයේ බඩු මිල 12%කින් වැඩි වෙලා කියන එකයි. ඒක අප්‍රේල් මාසයේ දී 35%යි මැයි මාසයේ දී 25%යි. අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී බඩු මිල වැඩි වීමේ වේගය 35% සිට 25% දක්වා අඩු වෙලා. ජූනි මාසයේ දී 25% සිට 12% දක්වා අඩු වෙලා. මේ කියන්නේ බඩු මිල අඩු වුණා කියන එක නොවෙයි. ජූනි මාසයේ දීත් බඩු මිල 12%කින් වැඩි වෙලා. හැබැයි බඩු මිල වැඩිවීමේ වේගය පෙරට වඩා දැන් අඩුයි. ඒ නිසා ඒක බඩු මිල අඩුවීමක් ලෙස හිතාගෙන උද්ධමනය අඩු වුණාට බඩු මිල අඩු වෙලා නෑනෙ කියන එක වැරදියි.

ඇත්තටම ලංකාවේ බඩු මිල අඩු වෙන්න ඕනෑ. ඩොලරය රු371 සිට රු 285 දක්වා අඩු වෙලා දැන් රු 320ට ඇවිත් තිබෙනවා. ඉන්ධන, ගෑස්, විදුලිය වගේ පොදුවේ භාණ්ඩ මිල වැඩිවීමට හේතු වන සාධක සියල්ලම දැන් පහත වැටී තිබෙනවා. ඒ නිසා ඒවායේ වාසිය ජනතාවට ලබා දීලා බඩු මිල අඩුවන බවට වග බලා ගැනීම ආණ්ඩුවේ වගකීමක්.

ප්‍රශ්ණ සහ පිළිතුරු

ප්‍රශ්ණය

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරන බව වාර්තාවෙනවා. ඔබතුමාලා ගේ සහය ඊට තියෙනවද ?

පිළිතුරු

මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විතරක් නෙවෙයි ආණ්ඩුව ගැන ද විශ්වාසය බරපතළ ලෙස බිඳ වැටිලයි තියෙන්නේ. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ බරපතළ අභ්‍යන්තර අර්බුදයක් තියෙනවා. නමුත් විපක්ෂය ගෙන එන විශ්වාසභංග දී ආණ්ඩුව ඇතුළේ සමගියක් ඇති වෙන්න පුළුවන්. අවසානයට තිබ්බ ඡන්ද විමසීම් දෙකේදීම ආණ්ඩුව වැඩි ඡන්ද හැටකින් පමණ දිනුවා. විපක්ෂයේ බොහෝ දෙනෙක් ඡන්දය දෙන්නා ආවෙත් නැහැ. විපක්ෂයක් විදිහට තමන්ට පැවරී ඇති කටයුතු නිසි පරිදි ඉටු නොකර විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කළොත් එය ආණ්ඩුවට සහාය දීමක් වෙන්න පුළුවන්.

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමය මහරගම සහ කොළාන්නාව සංවිධායක කරුන් වන කිස්ලි නිහාල්, අමිල මණතුංග යන මහත්වරුන්ද එක් විය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ

2027 අයවැය: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය විශේෂ රාජකාරී දීමනා රු:6000 කින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය රු:2000...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img