පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දින පණිවිඩය
පලස්තීන ජනතාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනයට පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත් වෙමි.
1978 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පලස්තීන ජනතාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කළේය.
ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනය වශයෙන් නොවැම්බර් 29 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 32/40 B දරන යෝජනා සම්මතය යටතේය. එදින පලස්තීනයට සහාය දක්වන රටවල් සංකේතාත්මකව සිය සහයෝගීතාව ප්‍රකාශ කරනු ලබයි.
හමුදාවේ සිවිල් පාලනය, ප්‍රචණ්ඩත්වය සහ බෝම්බ හෙලීම මෙන්ම ජනාවාස ඉදිකිරීම හා ව්‍යාප්ත කිරීම තුළින් පලස්තීන ජනතාවගේ මානුෂීය හා ආර්ථික තත්ත්වයන් කලින් කලට පිරිහීමට ලක්විය. මේ හැරුණුවිට නිදහස් පලස්තීනයක් උදෙසා සිය ජීවිතයෙන් වන්දි ගෙවූ සංඛ්‍යාවද විශාලය.
2015 වන විට පලස්තීන සරණාගතයින් සංඛ්‍යාව මිලියන 5.6 ක් විය. වර්තමානය වන විට එය ඉහළ අගයකි. සමස්ත පලස්තීන ජනගහනයෙන් හරි අඩක් පමණ සරණාගතයන් ලෙස හා සිය භූමියෙන් පිටත ජීවත් වෙති.
පලස්තීනය පිළිබඳ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතිහාසය සමඟද බැඳී පවතින්නකි. එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රයේ ඇතුළත් දීර්ඝකාලීන නො විසැඳුණු අර්බුද අතර එය ද එකකි. පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණය 2012 වර්ෂයේදී ලබා දුන් අතර, වර්ෂ 2015 දී එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පලස්තීන ධජය එසවීමට කටයුතු කළේය.
පලස්තීන ජනතාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය, පුළුල් ලෙස සලකනු ලබන්නේ ඛේදවාචකයක් අවම කිරීමට ගත් උත්සාහයක් ලෙස ය.
පලස්තීන විමුක්ති සංවිධානය නමින් පලස්තීනය බේරා ගැනීමේ සන්ධානයක් ප්‍රථමවරට ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේදී එහි සභාපතීත්වය මා හට පිරි නැමීමත්, පලස්තීනය වෙනුවෙන් කළ ජාත්‍යන්තර මැදිහත්වීම අගය කරමින් පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව මා හට පිරිනැමීමත් අද දිනයේ කෘතවේදීව සිහිකරමි.
ශ්‍රී ලංකාව හා පලස්තීනය අතර ද්විපාර්ශවීය සබඳතා විශේෂ වේ. පලස්තීන රජයට හා පලස්තීනයේ මිත්‍රශීලී ජනතාවට උපරිම සහයෝගය ලබාදීමට අපි ඉදිරියේදීත් බැඳී සිටින්නෙමු.






















