ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුව හමුවට කැඳවීමට නියමිතව තිබේ.
ඒ අනුව ලබන අගෝස්තු 03 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අගෝස්තු 04 වැනිදා රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවා තිබේ.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාර සභා රැස්වීම් 13ක් අගෝස්තු පළමු සතිය තුළදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
කෝප් කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර, රජයේ ගිණුම් කාරක සභාව මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වීමට නියමිතය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදුකරනු ලබන වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාව කෝපා කමිටුව විසින් අගෝස්තු 03 වැනිදා විමර්ශනයට ලක්කරනු ඇති.
එයට අමතරව අගෝස්තු 03 වැනිදා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සභාපතිත්වයෙන්ද රැස්විමට නියමිතය.
ලබන අගෝස්තු 04 වැනිදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇති අතර, එදිනම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටද කටයුතු සූදානම් කොට ඇති බව මහ ලේකම් දසනායක මහතා පැවසුවේය.
එමෙන්ම අගෝස්තු 05 වැනිදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වන අතර අගෝස්තු 06 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ජාතික ඉතිරි කිරීමේ බැංකුව කැඳවා තිබේ.






















