තමන් වහන්සේව කිසිවෙකු විසින් හෝ පැහැරගෙන නොමැති බවත්, මැතිවරණ කොමිසම මන්ත්රී ධුරය සම්බන්ධ කාරණාව නිරාකරණය කරන තෙක් බලාසිටින බවත් අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසති.
අද (26) කොළඹදී මාධ්ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ.
කෙසේවෙතත් උන්වහසේගේ මාධ්ය සම්බන්ධීකරණ ලේකම් පූජ්ය හුණුපිටියේ චන්ද්රසිරි හිමියන් අද දිනයේත් පැමිණිලි කරසිටියේ වේදිනිගම හිමියන් පූජ්ය අතුරලියේ රතන හිමියන්ගේ අනුදැනුම මත රඳවාගෙන ඇති බවය.
අතුරුදන්ව සිටින බව පැවසෙන අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් ඇතැයි සිදුකළ පැමිණිල්ලෙහි පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳව විමසීම සඳහා උන්වහන්සේගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්ය හුණුපිටියේ චන්ද්රසිරි හිමියන් අද කොළඹ නියෝජ්ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය.
අනතුරුව පූජ්ය හුනුපිටියේ චන්ද්රසිරි හිමියන් ඇතුලු පිරිස පැමිණියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීම සඳහාය.
මේ අතර අපේ ජන බල පක්ෂයේ තවත් සාමාජිකයින් පිරිසක් අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණ පක්ෂයට හිමි මන්ත්රී ධුරය සම්බන්ධයෙන් කොමිසම විසින් සාධාරණ හා අපක්ෂපාතී තීරණයක් ඉතා ඉක්මණින් ගන්නා ලෙස ඉල්ලමින් ලිපියක් භාර දුන්නේය.
වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට මෙතෙක් කිසිදු ක්රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයේ උන්වහන්සේගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්ය හුනුපිටියේ චන්ද්රසිරි හිමියන් අද පස්වරුවේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළහ.
මෙවන් පසුබිමක ආචාර්ය පූජ්ය ඕමල්පේ සෝභිත හිමියන් අපේ ජන බල පක්ෂයට හිමි ආසනය අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියි.






















