“ඇෆ්ලටොක්සින්“ නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයක් අන්තර්ගත බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් 06ක් ප්‍රතිඅපනයනය සඳහා රේගුව විසින් අද (06) කොළඹ වරාය වෙත ගෙනවිත් තිබේ.
කටාන රිෆයිනරීස් සමාගමට අයත් බහලුම් 06ක් නැව්ගත කිරීම සඳහා මෙලෙස ගෙනවිත් ඇති බව වාර්තා වේ.
කටාන බටපත්තල පිහිටි සමාගමට අයත් අංගනයේ තිබි අදාළ බහලුම් පසුගියදා රේගු නිවාරණ අංශය වෙත ගෙනවිත් තිබුණි.
මීට අමතරව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම බහලුම් 04ක් ගෙන්වා තිබු අතර ඒවායේ පොල් තෙල් මෙට්‍රික් ටොන් 1513.7ක ප්‍රමාණයක් ආනයනය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම තවත් බහලුම් 03ක් ගෙන්වා ඇත්තේ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් සමගින්ය.
එම සමාගම්වල බහලුම් ද ඉදිරි දිනවල ප්‍රතිඅපනයනය කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර පාම් තෙල් ආනයනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් ලංකා බේකරි හිමියන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ, පාම් තෙල් ආනයනය නතර කළහොත් බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවය.






















