| පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට …!! |
|---|
දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික අංශයේ සියලු කාර්ය මණ්ඩල සඳහා අවශ්‍යතාවය අනුව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමවේදය මගින් ලබාගැනීමේ පහසුකම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇත. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති seatreservation.railway.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් මස 01 වන දින සිට මෙම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතී.
මෙතෙක් රාජ්‍ය අංශයට පමණක් ක්‍රියාත්මක වූ මෙම පහසුකම පෞද්ගලික අංශයටත් හිමිකරදීමේ නිල වැඩසටහන දියත් කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ නෙළුම් ශාලාවේ දී අද දින (2026.09.08) සිදුකෙරිණ.
දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී මෙතෙක් පැවති අවිධිමත්භාවය හේතුවෙන් මගී ජනතාව ගැටළු රැසකට මුහුණ දුන් අතර, වාර ප්‍රවේශ පත්‍රය ලබාගැනීමට පෙර දුම්රිය ප්‍රවේශ පත්‍ර හැඳුනුම්පතක් ලබාගැනීමට සිදුවිය. ඒ සඳහා අයදුම්පතක්, ඡායාරූපයක්, පදිංචිය සහතික කිරීමක්, ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉදිරිපත් කිරීමට සිදුවිය. දින දහයක් තුල පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුල පමණක් මෙම සේවාව ලබා ගැනීමට මගීන්ට සිදුවිය. මේ සියලු දුෂ්කරතා සැලකිල්ලට ගෙන හඳුන්වා දුන් නව ක්‍රමවේදය යටතේ වාර ප්‍රවේශ පත්‍රය නිවසේ සිටම මාර්ගගතව ලබාගැනීමට හැකිය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ SLT Mobitel ආයතනය ඒකාබද්ධව සේවා සහ උපදේශන සැපයීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මගී අනන්‍යතාව තහවුරු කිරීමෙන් සහ පරිශීලක ගිණුම් සත්‍යාපනය කිරීමෙන් අනතුරුව දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර මාර්ගගතව ලබාගැනීමේ පහසුකම ලබාගත හැකි අතර, ආසන වෙන්කිරීමේ පහසුකම් ලබාදෙන ඕනෑම දුම්රිය ස්ථානයකින් මගීන්ට සිය පරිශීලක ගිණුම් සත්‍යාපනය කිරීම් සිදුකර ගත හැකිය. රාජ්‍ය නිලධාරීන් වෙත ලබාදෙන අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප්‍රවේශ මාර්ගගත පද්ධතිය ඔස්සේ සිදුකෙරේ. ආයතන සංග්‍රහයේ xvii පරිච්ඡේදය අනුව රජයේ නිලධාරීන්ට අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම 2026.06.09 වන දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණ.
දුම්රිය සේවය ඩිජිටල්කරණය කිරීමේ පුළුල් ජාතික වැඩසටහන යටතේ, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධව වඩාත් තාර්යක්ෂම සහ සුවපහසු සේවාවක් මගී ජනතාවට ලබාදීමේ තවත් එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත.
දුම්රිය සේවය ඩිජිටල්කරණ වැඩසටහන මගින් මේවනවිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාව වෙත සුහුරු ටිකට්පතක් හඳුන්වා දී එය නියමු ව්‍යාපෘතියක් ලෙස මේවනවිට බේස්ලයින් මාවත, කොටා පාර, කිරුළපන සහ නාරාහේන්පිට යන දුම්රිය ස්ථානයන් මූලික කරගනිමින් ක්‍රියාත්මකව පවතී. මීට අමතරව කොළඹ තදාසන්න දුම්රිය විදුලිකරණය කිරීමේ ව්‍යාපෘතිය (CSRP) මගින් පෙරසිටම පැවති මාර්ගගත ක්‍රමවේදය (Online) හරහා ටිකට්පත් ලබාගැනීමේ පහසුකම් තවදුරටත් නවීකරණය කර ඇත.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ SLT Mobitel ආයතනය ඒකාබද්ධව ආසන වෙන්කිරීමේ පහසුකම පද්ධති ගත කර ක්‍රියාත්මක කිරීම කොළඹ කොටුව – නුවර නගරාන්තර දුම්රිය සේවාව තුලින් ආරම්භ කර ඇත. එමෙන්ම මාර්ගගත ක්‍රමය මගින් මුදලට ආසන වෙන්කිරීමේ පහසුකම ද හඳුන්වා දී ඇති අතර, වර්තමානය වනවිට එය රාජ්‍ය හා විශ්‍රාමික නිලධාරීන් සඳහා ද ක්‍රියාත්මක කර ඇත.
මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය, එහි අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) පී.ඩී.එස්. බණ්ඩාර චන්ද්‍රසේන, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක, SLT Mobitel සමූහයේ සභාපති ආචාර්ය මෝතිලාල් ද සිල්වා, එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සුදර්ශන ගීගනගේ, ප්‍රධාන නිලධාරි (සැපයුම් දාම කළමනාකරණ) ජීවපත්ම සඳගෝමි, ප්‍රධාන ව්‍යාපාර නිලධාරි ලක්මාල් ජයසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
මාධ්‍ය අංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය






















