මහ බැංකු බැදුම්කර වංචාවකට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ජුනි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.
එම නඩුව අද (11) දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.
එහෙත් මේ දිනවල පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව නඩු විභාග කල්දැමීමට තීරණය කර ඇති හෙයින් එම නඩුවේ විභාගය ද ලබන ජුනි මස 16 වනදා දක්වා කල්තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 36කට අධික භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර තිබේ.






















