දිගු කලක් තිස්සේ මෙරටට තෙල් ආනයනය කරනු ලබන ආයතන 4ක තෙල් සාම්පල පරීක්ෂාවට ලක්වෙමින් පවතින අතර දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරීස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරීස් යන සමාගම්වල සාම්පල එලෙස පරීක්ෂා කරමින් පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසීය.
පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය (ආහාර පරීක්ෂණ ඒකකය) සමග එක්ව තත්ත්වය සුදුසු නම් පමණක් ඉහත ආනයන තෙල් තොග නිදහස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ලබාදෙන බවද ප්‍රමිති ආයතනය සඳහන් කරයි.
ආනයනකරුවන් 4 දෙනෙකු විසින් රටට ආනයනය කරන සෞඛ්‍යට අහිතකර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා අසත්‍ය බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර, පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කිරීමෙන් පසු දැනට සමාගම්වල ගුදම්වල රඳවා ඇති තෙල් තොග මිනිස් පරිභෝජනයට සුදුසුදැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ද විමර්ශනය කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඒ අනුව සාම්පල පරීක්ෂාව කාර්මික තාක්ෂණ ආයතනය මගින් සිදුකෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ අදාළ තෙල්තොග පිරිපහදු කළද ඇෆලටොක්සින් නමැති පිළිකා කාරකය සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි බව විශේෂඥ වාර්තා මගින් පෙන්වා දී ඇති බවය.
ඇෆලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළ පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් 183,000ක ප්‍රමාණයක් අඩංගු බහාලුම් 13 ක ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් වී ඇති බවට පාර්ශ්ව කිහිපයක් හෙළිදරව්කර තිබුණි.
එම තෙල්තොග වහාම ප්‍රතිඅපනයන කරන්නැයි දැනුම් දී තිබියදී මේ දක්වාම එම තෙල්තොග පෞද්ගලික සමාගම්වල ගුදම්වල රඳවා තිබීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වූ අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැත්වුණි.
ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආහාර ආරක්ෂණ ඒකකය, රේගුව හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.
එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ, “ආනයනකරුවන් කියන්නේ මේ ඇෆලටොක්සින් රසායනික ද්‍රව්‍ය තියෙන්නේ පිරිපහදු නොකළ තෙල්වල කියලා. මෙරටදී පිරිපහදු කළාට පස්සේ ඒ ඇෆලටොක්සින් රසායනික ද්‍රව්‍ය ඉවත් වෙනවා කියන එකයි සඳහන් කරන්නේ. නමුත් අපි ඉල්ලීමක් කළා තෙල්වල මෙවැනි දේ තිබෙනවා නම් ගෙන එන්න එපා කියලා,”යනුවෙනි.























