එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය සහ උඩුදුම්බර මැතිවරණ කොට්ඨාශවල බලමණ්ඩල රැස්වීම් අමතා සිදුකළ කතාව.
තම පුද්ගලික දේශාපලන අභිලාශයන් වෙනුවෙන් කිසිම විටක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනතාව අමාරුවේ නොදමා ඇති බවත්, කෙතරම් දුෂ්කර වුවත් සෑම විටම එතුමා නිවැරදි දේ මහජනතාව වෙනුවෙන් සිදුකරන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වැටුණු රට ගොඩගෙන නිවැරදි මාර්ගයේ රට ගමන් කරවන විට එය බලා සිටිය නොහැකි අය විසින් එතුමාගේ වැඩපිළිවෙල විවේචනය කර කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත් ඒ ගැන රටේ සමස්ථ මහජනතාව හොඳ කල්පනාවෙන් සිටිය යුතු බවත් අබේවර්ධන මහතා අවධාරණය කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (17) දින මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය සහ උඩුදුම්බර මැතිවරණ කොට්ඨාශවල පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම් අමතමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
එක්සත් ජාතික පක්ෂය විසින් මේ වනවිට දිවයින පුරාම නව ආසන බලමණ්ඩල පිහිටුවීම සිදුකරමින් තිබෙනවා. මේ අනුව මේ මාසය අවසන් වනවිට අලුත් බලමණ්ඩල 150 ක් පමණ පිහිටුවන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ බලමණ්ඩල අපි පිහිටුවන්නේ තාවකාලිකවයි. ඉන් අනතුරුව අගෝස්තු මාසයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයේ ව්‍යවස්ථාව නව ලෝකයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට නියමිතව තිබෙනවා.
අද වනවිට අපේ රටේ සිටින මහජනතාවට පක්ෂ දේශපාලනය එපා වී තිබෙනවා. ඒ නිසයි අපි ලෝකයට ගැළපෙන පරිදි අපේ පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට යන්නේ. එක්සත් ජාතික පක්ෂය සෑම විටම සිතුවේ රටේ අනාගතය ගැනයි. අපේ පක්ෂයේ නායකතුමත් සෑම විටම සිතන්නේ මේ රටේ ජනතාවගේ අනාගතය ගැනයි. එතුමා ලෝකයත් සමඟ ඉදිරියෙන් සිටින නායකයෙක්. එතුමාට ඉදිරිය ගැන ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.
ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් තවමත් වේදිකා උඩට නැග ජනතාවට බොරු ප්‍රකාශ කරනවා, ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන්. එය ඉක්මනින්ම නැවත්විය යුතුව තිබෙනවා. අපි කිසිම විටක බොරු ප්‍රකාශ ඉදිරිපත් කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්ද ලබාගන්න ජනතාවට බොරු කිව්වේ නැහැ. ඒ නිසාම ජනතාව අපිව ප්‍රතික්ෂේප කළා.
කොහොම උනත් 2020 මහමැතිවරණය වෙනුවෙන් අපි රටේ ජනතාවට ප්‍රතිපත්ති ප්රකාශයනයක් ඉදිරිපත් කළා. ඒ ලියවිල්ල ජනතාව කියවන්නේවත් නැතිව කුණු බක්කියට විසිකළා. අද ඇතැම් අය අහනවා අපි ක්‍රියාත්මක කරන්නේ මොනවද කියලා. අපි අද ක්‍රියාත්මක කරන්නේ එදා ඔබ ප්‍රතික්ෂේප කළ ලියවිල්ලයි. එහි පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඉදිරි වසර සඳහා අපි ක්‍රියා කළ යුත්තේ කෙසේද කියලා. අපි යන ගමන් මාර්ගය වෙනස් කරන්න එපා, එහෙම කළොත් රට විශාල අර්බුධයකට ලක්වේවී කියලා. නමුත් කිසි කෙනෙක් එය තේරුම් ගත්තේ නැහැ. එහි ප්‍රතිඵල අවසානයේදී භුක්ති විඳින්නට සිදුවුණේ අපේ රටේ සමස්ථ මහජනතාවටයි.
මීට වසරකට කලින් ඔබ සිටියේ පෝලිම්වලයි. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. එවැනි කණගාටුක දායක තත්ත්වයක් මේ තරම් ඉක්මනින් වෙනස් කිරීමට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසයි. එතුමා ලෝකයටද ආදර්ශයක් දෙමින් වැටුණු රට ඉතා ඉක්මනින් යළි ඔසවා තැබුවා. මෙය දරාගත නොහැකි විවිධ දේශපාලන කණ්ඩායම් අද විවිධ සඨන් පාඨ ඉදිරිපත් කරනවා.
ඔවුන් අස්වැසුම ගැන විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ගත කරමින් සිටිනවා. මේවා සම්බන්ධයෙන් ඔබ කිසිවිටකත් කලබල විය යුතු නැහැ. මොකද අද රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමාට ඔබේ ප්‍රශ්න හොඳින් අවබෝධ වෙනවා. ඔබ අස්වැසුම හිමිවිය යුත්තෙක්නම් එය ඔබට අනිවාර්යයෙන්ම හිමි වේවී. ඒ ගැන කතා දෙකක් නැහැ.
මේ ආකාරයට 70 -77 කාලයේදීත් රට දැවැන්ත ලෙස කඩා වැටුණා. නමුත් 77 න් පසුව JR ජයවර්ධන ජනාධිපතිතුමා රට බාරගනිමින් රට පැවැති තත්ත්වය මුළුමනින්ම වෙනස් කළා. ඉන් පසුව එතුමා රටේ ජනතාවගේන් ඇසුවා මම තව වසර 6 ක් රට පාලනය කරන්නද කියලා. එවිට ජනතාව ඔහුට මේ සඳහා ඉඩ ලබාදුන්නා.
එකම ප්‍රතිපත්තියක් වසර 12 ක කාලයක් තුළ ක්‍රියාත්මක කළ නිසා අපිට වික්ටෝරියා, රන්ටැඹේ, රණ්දෙනිගල, ඉගිනිමිටිය වැනි දැවැන්ත ව්‍යාපාර රට තුළ ක්‍රියාත්මක කරවීමට හැකිවුණා. ඒ හරහා කුඹුරු අක්කර ගණනින් නගුලට යට කරමින් රටේ කෘෂි කර්මාන්තය ඉහළ තැනකට ගෙන එන්නට පුළුවන් වුණා.
අපිට වෙන්වෙලා මේ රට ගොඩගන්න බැහැ. ඒ නිසයි ජනාධිපතිතුමා හැම වෙලාවකම සඳහන් කරන්නේ රට ගොඩගන්න අපි සියලුදෙනාම එකතු වෙමු කියලා. අපි බෙදී වෙන් වුණොත් පරාදයි. ඒ වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව තුළ ජාතික සභාව පිහිටුවලා තිබෙන්නේ. ඒ සඳහා සියලුදෙනාටම යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් රට ගොඩනැගීම වෙනුවෙන්. කවුරුහරි කෙනෙක් එය මග හරිනවා නම් ජනතාව ඒ ගැන විමසිල්ලෙන් සොයා බැලිය යුතුයි.
පැරදුණු ජාතියක් ගොඩගන්න තමයි මීට වසරකට කලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගත්තේ. එතුමා එය නිසියාකාරයෙන් මේ වනවිට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. රටට අවශ්‍ය කරන අලුත් ව්‍යාපාර රට තුළ ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. 1948 දී අපි නිදහස ලබාගත්තේ සියලුදෙනාවම එකතු කරගෙනයි. අද අපේ රටට ආර්ථික නිදහස අවශ්‍ය කර තිබෙනවා. ඒ සඳහාත් අපි සියලුදෙනාම එකට එකතු විය යුතුයි. ජනාධිපතිතුමා සැප්තැම්බර් මාසය වනවිට රටේ බංකොලෝත් ලේබල් එක ඉවත් කිරීමට පියවර ගන්නවා. එවිට ලෝකයේ සියලු රටවල් අපිත් එක්ක හිට ගනීවී.
අපේ රට ආසියාවේ බලවත් රටක් බවට පත් කළ හැකියි. නමුත් අපේ රටේ ජනතාව අසමගියි. බෙදුණු ජාතියක් විදිහට අපිට ඉදිරියට යන්න බැහැ. ඒ නිසයි අද අපේ රට මෙවැනි තත්ත්වයකට පත්වුණේ.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරම් රාජ්‍ය තාන්ත්‍රිකව ලෝකයත් සමඟ ගණුදෙනු කළ හැකි තවත් නායකයෙක් අපේ රටේ නැහැ. එතුමාට අවුරුදු 50 ක දේශපාලන පළපුරුද්දත්, අත්දැකීමුත් අපේ රට ලෝකය හමුවේ ඔසවා තැබීමට උදව් වෙනවා.
මීට වසරකට පෙර රනිල් වික්‍රමසිංහ මැතිතුමා තැබුවේ ලෝක වාර්තාවක්. ඒ තමයි තනි ආසනයකින් ලොව ජනාධිපති වූ එකම පුද්ගලයා වීම. ලෝකයේ වෙනත් කිසිම රටක මෙවැනි ක්‍රියාවක් සිදුවී නැහැ. ඒකයි මම කියන්නේ එතුමා තරම් ලෝකයේ උසස් නායකයෙක් වෙන නැහැ කියලා. ලෝකයේ කිසිම නායකයෙක් එතුමාගේ හඬට ඉහළින් කතා කරන්නේ නැහැ.
දැන් පහුගිය සතියේ ස්වීඩනයේ ආගම් පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ වෙනුවෙන් හඬක් නගන්න ඉදිරිපත් වුණේ අපේ රටේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. ලෝකයේ වෙනත් ප්‍රබල රටවල් මොන තරම් තිබුණත් ඒවායේ නායකයින් මෙය ගැන කතා කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒකයි අපේ රටේ නායකයාගේ තිබෙන විශේෂත්වය. ඉතින් මේ ගැන අපි සියලුදෙනාම ලාංකිකයින් විදිහට සතුටු විය යුතුයි. අපේ වාසනාවට අපිට ජාතික නායකයෙක් ඉතුරු වෙලා හිටියා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා අපි සියලුදෙනාවම ලෝකය හමුවේ ඔසවා තබන බව මට විශ්වාසයි.
එක්සත් ජාතික පක්ෂ සභාපති, පා.ම.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන
මාධ්‍ය ඒකකය






















