වර්තමානයේ දී මේ රටේ ගොවි ජනතාව ඉතාම අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් කන්න දෙකක වී ඔවුන්ගේ නිවාස වල ගබඩා කර ගැනීමට සිදුවී තිබෙන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජේ.සී. අලවතුවල මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
අලවතුවල මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී පැවති කල් තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
කල්තැබීමේ අවස්ථාවේ විවාදය සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් අවධාරණය කළේ ගොවියාට සහතික මිලකට වී විකුණා ගැනීමට නොහැකි වී අසරණ වී ඇති බවයි බවයි.
මෙම විවාදයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ අලවතුවල මන්ත්රීවරයා මෙසේද පැවසීය.
ගොවියාගේ වී කිලෝ එකකට රුපියල් 150ක මිලක් දෙනවයි කියලා මේ ආණ්ඩුව කලින් කිව්වා.
නමුත් ඔවුන් ඊට පස්සේ නියම කළ මිල සහතික මිලක් ලෙස නම් කලේ වී කිලෝ එකකට රුපියල් 120ක්. නමුත් වී මිලදී ගන්නේ වි කිලෝ එකක් රුපියල් සීයටත් වඩා අඩුවෙන්. මේකයි ඇත්ත තත්ත්වය. ආණ්ඩුව කොච්චර කිව්වත් වී මිලදී ගැනීම සාර්ථකයි කියලා රුපියල් සියයට අඩුවෙන් තමයි ගොවි ජනතාවට වී විකුණන්න වෙලා තියෙන්නේ. මේකෙන්ම පේනවා ගොවි ජනතාවගේ අසරණ තත්ත්වය. මේ ගොවි ජනතාව මාලිමා ආණ්ඩුව විසින් රැවට්ටුවා. හැබැයි තවත් මේ ගොවි ජනතාව රවට්ටන්න බැරි බවත් ආණ්ඩුව හොඳින් මතක තියාගන්න ඕන. මේ ගොවි ජනතාවට රවට්ටලා ඔවුන්ව පත්කරපු මේ අසරණ තත්ත්වය නිසා අනිවාර්යයෙන්ම ඒක ආණ්ඩුවට ළඟදීම සාපයක් වෙනවාමයි.






















